කේක් ගෙඩියේ අතීත කතාව (751)

post-title

කේක් කියන්නේ හැම කෙනෙක්ම කන්න කැමති පැණි රස කෑමක්. ප්ලෙන්ටියක් එක්ක, කෝපි එකක් එක්ක විතරක් නෙවෙයි පැණි බීම එකක් එක්ක වුණත් කන්න පුලුවන් රසවත් කෑමක් නිසාම කේක් ගෙඩියේ ඉතිහාසය ගැන කියන්න අපි අද හිතුවා. ඔයාලා හිතනවාට වඩා ඈත අතීතයක් කේක්වලට තියෙනවා. හරියටම කියනවා නම් ඒ ඉතිහාසය ග්‍රීක යුගය දක්වාම පැරණියි.

පළමු කේක් එක

ලෝකයේ පළමු කේක් එකේ නම “කාකා” කියලා තමයි සඳහන් වෙන්නේ. නමුත් ඒ කේක් එක අද අපි කන කේක් වලට වඩා නම් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒ වගේම ඒ සඳහා යොදාගෙන තියෙන අමුද්‍රව්‍යයත් වෙනස් බව තමයි සඳහන් වෙන්නේ. මෙහි වඩාත් සිත් ඇදගන්නා සුළු කතාව වෙන්නේ ඒ කාලේ කේක් පුච්චන්න පුළුවන් තරම් ආහාර පිළිස්සීමේ තාක්‍ෂණයක් ග්‍රීක ජාතිකයන් සතුව තිබීමයි. ඔවුන් මේ සඳහා වැඩියෙන් පැණි රස යොදාගෙන තිබෙනවා. බහුලවම භාවිත කර ඇත්තේ මී පැණී වීම විශේෂත්වයක්. ඒ වගේම ඔවුන් චීස් කේක් කලාවේ ද ආරම්භකයන් වනවා. නමුත් පළතුරු හා නට් වර්ග අඩංගු කේක් නිෂ්පාදනය ආරම්භ කර ඇත්තේ රෝමන්වරු බවත් සඳහන් වනවා. 

ඒ අතරම 17 වන සියවසේ දී යුරෝපය අංග සම්පූර්ණ කේක් එකක් නිර්මාණය කරන්නට සමත් වුණා. බේක් කිරීම සඳහා අවශ්‍ය නියම උශ්ණත්වය හා වඩාත් සුදුසු අමුද්‍රව්‍ය යොදා රසවත් ලෙස සැකසීමේ කලාව සොයාගැනීමේ ගෞරවය හිමිවන්නේ යුරෝපීය ජාතිකයන්ටයි. එසේම කේක්වල විවිධ හැඩයන් නිර්මාණය හා අයිසින් කිරීමේ කලාව සොයාගන්නේ ද ඔවුන් විසින්. ඔවුන් වියළි මිදි හා වියළන ලද පළතුරු මිශ්‍ර කල කේක් වර්ග ද ලෝකයට දායාද කරන්නට සමත් වුණා. 

අද වෙද්දි කේක් කියන්නේ බොහෝම ජනප්‍රිය ආහාරයක් බව ඔබ දන්නවා. නමුත් කේක් අතිශය ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ 19 වන සියවසෙන් පස්සේ. චොක්ලට් සහ වැනිලා හැරුණු විට තවත් බොහෝ අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිපදවන කේක් ඉතා අඩුම මිල සිට අධික මිළ ගණන් දක්වා වෙළඳපලේ දකින්නට ලැබෙනවා. මුල්ම කාලයේ කේක් නිෂ්පාදනය සඳහා අමුද්‍රව්‍ය සොයා ගැනීම වඩාත් අපහසු වුණු නමුත් කාර්මික විප්ලවයෙන් පස්සේ කේක් වෙළදාමක් බවට පත්වුණු නිසා කේක් අමුද්‍රව්‍ය සඳහා ද පහසු වෙළඳපලක් නිර්මාණය වුණා. ඒ නිසාම ඒවායේ මිල ද අවම මට්ටමකට පත්වුණු බැවින් හැමකෙනෙක්ම වගේ වෙළඳපලෙන් මිල දී ගන්නවාට වඩා කේක් නිවසේ දීම සකස් කරගන්නට යොමු ව තිබෙනවා. 

උපන් දින කේක්

දැන් කාලේ විවාහයේ දී, සාදවලදී , විවාහ ගිවිස ගනිද්දි වගේ ඕනම අවස්ථාවක දී කේක් කැපීම සිරිතක් වුණත් මුල්ම කාලේ කේක් යොදාගත්තේ උපන්දින සාද සමරන්න විතරයි. නමුත් ග්‍රීක වැසියන් ඔවුන්ගේ දෙවියන්ගේ උපන්දින සැමරීම සඳහා කේක් කැපීම සිරිතක් කරගෙන තිබෙනවා. ආර්ටිමස් දෙවඟනගේ උපන්දිනය සැමරීම සඳහා යොදාගත් කේක් රවුම් හැඩයට සකසා තිබුණේ සඳ සංකේතවත් කිරීමටයි. ඔවුන් එහි ඉටිපන්දම් දැල්වීම සිදු කලේ සඳ මෙන් එළිය දෙන බව සංකේතවත් කිරීමටයි. 

13 වන ශතවර්ෂයේ දී ජර්මන් දරුවන් සිය උපන්දින සැමරීම සඳහා කේක් කැපීම ආරම්භ කළා. ඔවුන් ඉටිපන්දම් භාවිත කළේ ජීවිතය ආලෝකමත් වන බව ඇගවීමටයි. එහිදි ඉටි පන්දම නිවන මොහොතේ ඔවුන් සිය ජීවිතය වෙනුවෙන් යම් ප්‍රාර්ථනාවක් සිතෙහි තබාගත යුතු අතර එය සැබෑවක් බවට පත්වන තුරු කිසිවෙකුටත් පැවසුවේ නැහැ. මේ සිරිත බොහෝ රටවලත් ලංකාවේ සමහර පවුල්වලත් තවමත් ක්‍රියාත්මක වනවා. 

කේක් රවුම් වුණේ ඇයි

පිළිස්සීමට එහෙමත් නැත්නම් බේක් කිරීමට පහසු වීම, සමාන කැබලිවලට කැපීමේ පහසුව, රවුම් බඳුනක් සොයා ගැනීම පහසු වීම, එසේම එය සාම්ප්‍රධායික හැඩයක් වීමත් හේතුවක් වුණා. නමුත් මේ සඳහා බලපාන තවත් හේතුවක් තිබෙනවා. එනම් ග්‍රීක යුගයේ දී කේක් නිර්මාණය වුණේ දෙවියන් සඳහා වන අතර රවුම් හැඩයෙන් නිරූපණය වුණේ ජීවන චක්‍රයයි. එය ජීවිතයේ යථා ස්වභාවය චක්‍රයක් ලෙස පෙන්වන බව ඔවුන් විශ්වාස කර තිබුණා. 

Top