මරාදැමුවත් මිනිස් හදවත්වල ජීවත්වෙන විජය (187 වන ලිපිය)

post-title

ලංකාවෙ සිනමාවෙ විතරක් නෙවෙයි... ලංකාවෙ දේශපාලනයෙත් තීරණාත්මක පුද්ගලයෙක්ගේ අනුස්මරණ දිනය යෙදිලා තිබුණෙ ඊයෙ. ඒ හැන්දෑවෙ කල්ලි ගැහෙන අපේ මිත්‍ර නඩය එදා වැඩියෙන් කතාකරේ මේ අසහාය රංගන ශිල්පියා ගැන වගේම මානුෂීය දේශපාලනඥයා ගැනයි. ඒ අනෙකෙක් නොව විජය කුමාරතුංග නම් වූ අප්‍රමාණ මිනිසාය. විජය කලාකරුවෙක් වගේ ම දේශපාලනඥයෙක් ලෙසිනුත් ලංකාව ඇතුළෙ තමන්ගේ ම සුවිශේෂී අනන්‍යතාවයක් නිර්මාණය කරා. ඒ නිසාම වෙන්න ඇති අදටත් විජය ගැන කරන ඕනෑම තැනක දි පූර්ව හැඳින්වීමක් ඇතුළෙ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග කියන නම ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවෙන්නෙ. මොකද ඇය රටේ හිටපු මුල් පුරවැසිනියක්. ජනාධිපතිවරියක්. ඉතින් ඇගේ සැමියා ලෙසින් විජයව හඳුන්වා දෙන්න පුලුවන් කම තිබිලත් මම දැකලා නැහැ කිසිම කෙනෙක් විජයව එහෙම හඳුන්වා දෙනවා. සමහරවිට චන්ද්‍රිකා මැතිණිට වඩා විජය කුමාරතුංග තමන්ගේ අනන්‍යතාවය බොහොම තද බල විදියට ලංකාවෙ මිනිස්සු තුළට ඇතුළත් කරලා තියෙන එක ඊට හේතුව වෙන්න ඇති. 

විජය කුමාරතුංග ලංකාවෙ මිනිස්සුන්ට ඉස් ඉස්සරෝම දකින්න ලැබෙන්නෙ ‘මනමාලයෝ’ චිත්‍රපටයේ සාමුහික දර්ශනයකට රංගන දායකත්වය සැපයීම මගිනුයි. ඊට පස්සෙ සුගතපාල සෙනරත් යාපා ගේ හන්තානේ කතාව චිත්‍රපටයට විජයගේ රංගන දායකත්වය ලැබෙන්නෙ ඔහු ප්‍රථම වතාවට ප්‍රධාන නළුවෙක් විදියට සිනමාරංගනයට එක් වෙමින්. අදටත් ටෝනි, ස්වර්ණා එක්ක විජය හන්තානේ කතාව ඇතුලෙ කළ රංගනය ප්‍රේක්ෂකයන්ගේ මනස්වලින් මැකිලා නොගිය සුන්දර මතකයක් කියලා අපි හැමෝම දන්නවා. ඊට පස්සෙ විජය නලුවෙක් විදියට ගොඩක් දුර ආවා. “එයා දැන් ලොකු ළමයෙක්, බඹරු ඇවිත්, ගඟ අද්දර, පොන්මනි, බැද්දේගම, පාරදිගේ, මහගෙදර, කැඩපතක ඡායා, ක්‍රිස්තු චරිතය” වගේ චිත්‍රපට ගණනාවක් හරහා විජය ලංකාවෙ මිනිස්සුන්ගෙ හදවත්වලට සමීප වෙනවා. ඒ වගේ සිනමා නිර්මාණ 114ක පමණ විජය ප්‍රධාන චරිත රඟපාලා තිබීම ම විජයගේ රංගනයේ ඇති විශිෂ්ටත්වයට ඉහළම සාක්ෂිය වෙනවා. විජය නළුවෙක් විදියට වගේම ගායකයෙක් විදියටත් තමන්ගේ හඬ පෞරුෂය මිනිස්සු අතරට අරන්ගිය අයෙක්. ගීත සියයකටත් වැඩි ප්‍රමානයක් ගායනාකළ විජය, “ ගඟ අද්දර, කවුලුව අතරින්, වේදනා, දිනකර පායා,” ගීත කැසට් දහයක් පමණ නිකුත්කර තියෙනවා. අදටත් විජයේ බොහෝමයක් ගීත ලාංකේය ගීත ශ්‍රාවකයන් ආදරයෙන් වැළඳගන්නෙ කිසිදු භේදයකින් තොරවයි. 

විජයගේ කලාව ගැන ඇතිවෙන සංවාද වගේම විජයගේ දේශපාලනය ගැන ඇතිවෙන කතිකාව උනත් බොහොම ප්‍රභලයි. ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නිර්මාතෘ වුණ විජය හැමවෙලාවෙම ආදරය කළේත් ගෞරව කලේත් මනුෂ්‍යත්වයට. ඔහු හැම මොහොතකම තමන්ට ඇති හැකි අයුරින් අසරණ මිනිසුන්ට උදව් උපකාර කළ අයෙක්. මගේ වයෝවෘද්ධ මිත්‍රයෙක් විජය ගැන අපි කතාකරපු ඒ හැන්දෑවෙ කියපු කතාවක් මගේ හිත ඇතුලෙ තදින් රැව් දෙනවා. 

“ඒ කාලෙ මචං අපි විජය ඉන්න චිත්‍රපටියක් බලන්න ගිහින් බස් නැතුව කිලෝමීටර් ගණන් පයින් ඇවිත් තියෙනවා. ඒත් ඒ මහන්සිය අපට දැනෙන්නෙ නැහැ. මං හිතන්නෙ ලංකාවෙ එදා ඉඳන් අද වෙනකල් බිහිවෙච්ච කිසිම නළුවෙක්ට විජය වගේ ලස්සනට හිනාවෙන්න බැහැ බං. විජයගේ හිනාවට අපි හැමෝම ආදරය කරා. කැමරාව ඉස්සරහා බොරුවට හිනාවෙලා රඟපාන කෘතිම ගතියක් ඒ හිනාවෙ තිබුණෙ නැහැ. ඒක හදවතින් ම එන හිනාවක්.”

මම මොහොතකට අදටත් මේ කියමනේ ඇත්ත නැත්ත ගැන හිතුවා. විජයගේ සිනමා රංගනයන් වගේම වරින් වර ඔහුගේ වෙනත් දේශපාලනික අදහස් දැක්වීම් හැම එකක් ඇතුළෙම මම ඒ හිනාව දැක්ක බව මටත් මොහොතකට හිතුණා. ඒ අතරෙ මගේ මිත්‍රයා ආයෙමත් හඬ අවදි කරනවා. 

“ කාලකන්නි රටක් බං මේක. අපිට විජයගේ දේශපාලන මොකද්ද කියලා වැදගත් නෑ. මොකද විජය කියන්නේ මානව හිතවාදියෙක්. මානව හිතවාදියෙක් ගේ දේශපාලනය කවමදාවත් රටකට විණ කරන්නෙ නැහැ. අපි විජයට ඡන්දෙ දුන්නත් නැතත් අපේ දේශපාලන දර්ශන නොපෑහුණත් ඒ වගේ රත්තරං මිනිහෙක් මරන්න තරම් කාලකන්නි හෘද සාක්ෂි තියෙන එවුන් මේ රටේ හිටියා.” 

මගේ මිත්‍රයා ප්‍රසිද්ධ දේශපාලන පක්ෂයකටත් දේශපාලනඥයන් කිහිපදෙනෙක්ටත් නම් කියමින් බැණ වැදෙන්නේ විජය සම්බන්ධව ඔහු තුළ පැවැති අප්‍රමාණ හැඟීම නිසාය. ඒ සමහර විට විජය ඔහුගේ සිතබැඳි රංගන ශිල්පියා හෝ ගායකයා හෝ නිසා නොව විජය සතුව පැවැති අප්‍රමාණ මනුෂ්‍යත්වය නිසාවෙන් විය යුතුය. 

“උඹ දන්නවා ද බං, විජයට වෙඩි තියලා තිබුණෙ පපුවටයි මූණටයි. ඒක තමා ලංකා ඉතිහාසෙ ඇතුළෙ මං දැක්ක අමානුෂිකම පළිගැනීම. පපුවට වෙඩි තියුවාම මැරුණ වග දැන දැනත් වෙඩි තියපු එකා මූණටත් වෙඩි තියනවා. ඒ ලංකාවෙ මිනිස්සු විජයගේ සුන්දර හිනාවට ආදරය කරපු එක ගැන තිවුණ ඉරිසියාව නිසා වෙන්න ඇති. හරියට අර ප්‍රේමකීර්ති ද අල්විස්ට වෙඩි තියුවා වගේ...”

සැබැවින්ම එවන් වූ සුන්දර මිනිසෙකුගේ මතකය සැබැවින්ම මගේ මිතුරාගේත් මගේත් පමණක් නොව සකළ ලක්වැසි ජනයාගේත් හදවත් තුළ තවමත් සැමරුමක් ලෙසින් රැඳී තියෙනවා. ගොඩක් වෙලාවට විජය ගැන සිහිවෙන අවස්ථාවල මම මගෙන්ම අහගන්න ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි විජය මරා දැමුවාට ඔහු ගේ මතකය මරා දමන්නට තරම් ඒ ඝාතකයන් ශක්තිමත් නැහැ නේද? කියන එක.

Top