හොඳම දේ දරුවන්ට? (832)

post-title

මගේම මානසික සුභසිද්ධිය තකා Controversial එහෙමත් නැත්නම් පවතින සමාජ සම්මතයට පිටින් යන මාතෘකා ගැන ප්‍රසිද්ධියේ අදහස් දක්වන එක සෑහෙන්න අඩු කරල තිබුණත් මේ දවස් වල ආපහු කරළියට ඇවිත් තියෙන මගේ හදවතට තරමක් සමීප මාතෘකාවක් ගැන අදහස් ලියල තියන්න හිතුව.

ළමා මහණ කිරීම්.

මුල්ම disclaimer එක - මහණකිරීම් කියල මම අදහස් කරන්නෙ 'පූජක දිවියට ඇතුළත් කිරීම්'. ඒ කියන්නෙ නිසි වයසට එළඹුනේ නැති දරුවෙක් තමන්ගෙ පවුලෙන් වෙන් කරල එක්තරා ආගමක් හෝ දෘශ්ටියක් වෙනුවෙන් මුලු ජීවිත කාලයක් කැප කරන්න බඳවා ගැනීම.

ඊළඟ disclaimer එක - මේ වගේ මාතෘකා වලට ෆිසික්ස් mcq පේපර් එකේ වගේ 'හරියටම හරි' උත්තරයක් ඇතියි කියල මම හිතන්නෙ නෑ. බුදු හාමුදුරුවන්ගෙ කාලෙ ළමා මහණ කිරීම් වුණාය.. ඒ නිසා ඒක අදත් ඒ විදිහටම වෙන්න ඕනෙය කියන අය වගේම ළමයින්ට ශාසනේට ඇතුළත් වෙන්න දෙන එක තහනම් කරලම දාන්න ඕනෙය කියන දෙගොල්ලොම අන්ත දෙකක හිර වෙලා ඉන්නව කියල මට නම් හිතෙන්නෙ.

මුලින්ම ළමයෙක් මහණ කරන එකේ වැඩදායක පැත්ත කතා කරමුකො. අපි කොච්චර නොදැක්ක වගේ ඉන්න හැදුවත් අපේ සමාජ පද්ධතියෙ මහා ලොකු හිල් ගොඩක් තියෙනව. අම්මල තාත්තලට ලොකුමහත් කරන්න තරම් ආර්ථික හයියක් නැති, එහෙමත් නැත්නම් අම්ම තාත්ත ලෙඩ ගානෙ වැටුණ, හරිහමන් බාරකාරයෙක් නැති අකාලෙට පරවෙලා යන්න හිටපු ළමයි සිය දාස් ගාණක් මහණ කම නිසා ලෝකෙට වැඩදායක මිනිස්සු වෙලා ඉන්නව ඇති. බෞද්ධ හෝ කතෝලික හෝ ඉස්ලාම් හෝ හින්දු හෝ පූජකයො විදිහට ඒ දරුවො මේ කර්කශ ලෝකෙ කොනක් කරුණාවෙන් ලස්සන කරනව ඇති. සමහරක් සිවුරෙන්/පූජකත්වයෙන් අයින් වෙලා ගියත් ඒ යනකොට එතැනට නාවනම් කිසි දවසක නොලැබෙන දැනුම, හැකියාවන් අරගෙන යනව ඇති. පූජකත්වයේ කැමැත්තෙන් රැඳෙන දරුවො වැඩිහිටියො වෙලා තමන්ගෙ ආගමේ ආධ්‍යාත්මික ඉලක්ක වලට ළංවෙනව ඇති.

ඒක එහෙම වුණත්... මගේ දරුවෙක් කවදහරි මගෙ ළඟට ඇවිත් 'අම්මෙ, මට මහණ වෙන්න ඕනෙ' කිව්වොත් දෙන්න ඕනෙ උත්තරය මොකක්ද කියල මම හිතන්නෙ දැන් අවුරුදු ගාණක් තිස්සෙ. මේක සම්පූර්ණ hypothetical situation එකක් නිසාත් ඇත්ත ජීවිතේ ගොඩක් වෙලාවට අපි උපකල්පනය කරන විදිහට සිද්ධ වෙන්නෙ නැති නිසාත් මේ දේ මෙහෙමම වෙයි කියල මට කියන්න බෑ.. ඒත් මේ මොහොතේ මට හිතෙන විසඳුමේ justification එක මේකයි.

දරුවෙක්ගෙ මොළයෙ පූර්ව මස්තිෂ්ක ප්‍රදේශය වැඩිහිටියෙකුගේ මට්ටමට වැඩෙන්න නම් අවුරුදු විස්සක් විතරවත් අවම වශයෙන් ගත වෙනව කියල විද්‍යාත්මක පර්‍යේෂණ වලින් හොයාගෙන තියෙනව. ඔය කියන මොළයේ ප්‍රදේශයෙන් තමයි මනුස්සයෙකුට logical thinking හෙවත් තාර්කික විදිහට හොඳ සහ නරක ගලපල තීරණයක් ගන්න හැකියාවක් ලැබෙන්නෙ.

ඒ වගේම හෝමෝන වෙනස් වීම් නිසා ශරීරයේ ද්විතීයික ලිංගික ලක්ෂණ ඇතිවෙලා සම්පූර්ණ නැති දරුවකුගේ මානසිකත්වය හා අවශ්‍යතා තව අවුරුදු කිහිපයකින් ඒ හෝමෝන ක්‍රියාකාරීත්වය සම්පූර්ණ වූ වැඩිහිටියකුට ඇති අවශ්‍යතා හා බලාපොරොත්තු වලට සෑහෙන්න වෙනස් වෙන්න ඉඩ කඩක් තියෙනව.

දරුවෙකුට තියෙන ආරක්ෂිතම තැන තමන්ගේ නිවස, තමන්ගේ දෙමව්පිය ඇසුර. ගෙදරින් පිට, හරි හමන් නියාමනයක් නැති ආයතනයක වැඩිහිටියෝ ගොඩක් අතර තමන් ආදරෙන් රැකබලාගත්‍ත දරුව දාල දරුවගෙ වගකීම ඒ වැඩිහිටියන්ට හා දෛවයට බාර දෙන එක risky gamble එකක් මගේ මතයෙ හැටියට නම්.

ඉතින් මම මගේ මහණ වෙන්න අහන හයිපොතිටිකල් පුතාට හෝ දුවට දෙන උත්තරය මේකයි.

"පුතේ.. පුතාට මහණ වෙන්න හිතෙන එක ඔයාගෙ කැමැත්ත. මම දවසක ඔයාට ඒකට සම්පූර්ණ සහයෝගය දෙනව. හැබැයි ඒ ඔයා වැඩිහිටියෙක් විදිහට තනියම තීරණ ගන්න පුලුවන් තරම් බුද්ධියෙන් හා අත්දැකීමෙන් වැඩුණ දවසක. ඒ දවස එනකල් අපිත් එක්ක ඉඳගෙන ඒ විෂය ගැන වැඩිදුර හදාරන්න මම උදව් කරන්නම්. ඒ අතරෙ ලෝකේ තියෙන අනෙක් ආගම්, සංස්කෘති, විද්‍යාවන් ගැනත් පුතා හදාරන්න.. ඒ ඔක්කොම අන්තිමේ ස්වාධීන වැඩිහිටියෙක් වෙලත් පුතාට මේ විදිහටම හිතෙනව නම් පුතාට මහණ වෙන්න මගෙන් කිසිම බාධාවක් නෑ."

තවත් ඩිස්ක්ලේමර්.. පූජකයෙක් වෙන්න ආසනම් යන්න දීල අකමැතිනම් ආපහු එන්න දෙන්න පුලුවන්නෙ කියල දැන් කෙනෙක්ට තර්ක කරන්න පුලුවන්. ඒත් අවාසනාවට අපි ඉන්න අර පෙනේරයක් වගේ මහා හිල් ගොඩක් තියෙන සමාජය දරුවෙකුට සිවුරු අතෑරල ඇවිත් ආපහු සාමාන්‍ය ජීවිතයක් ලේසියෙන් ගතකරන්න පුලුවන් සමාජයක් නෙවෙයි. ළමා කාලෙත් traumatize වෙලා වැඩිහිටියෙක් වෙලත් හීරලුවෙක් කියල ලේබල් වද්දගන්න තියෙන ඉඩකඩ ගොඩක් වැඩියි.. ඒ වගේම එහෙම ආපහු ගිහි ජීවිතයට එළඹෙන්න ඇත්තටම ඕනෙ කම තිබිලත් දෙමව්පියන්ගෙ බලපෑමට සහ දෙමව්පියන්ට ලැජ්ජාවක් වෙයි කියල හිතල සිවුරෙ ඉන්න පූජ්‍ය පක්ෂයේ අය මට ජීවිතය ඇතුලෙ හම්බවෙලා තියෙනව.

මහායානිකයන් කරනව වගේ තාවකාලික පැවිද්ද කියන සංකල්පය කවද හරි ලංකාවෙ establish වුණොත් මේ කතාවට වෙන outcome එකක් හම්බ වෙන්න ඉඩ තියෙනව.

මේ කතාව කියනකොට මට මම නේවාසික පුහුණුව ලබන කාලෙ හම්බුණ පවුලක් මතක් වෙනව. ඒ දෙමව්පියො අවුරුදු හයක විතර දරුව අරන් හදිසි ප්‍රතිකාර ඒකකයට ඇවිල්ල තිබුණෙ දරුව මෝටර් සයිකලේ ඉස්සරහ ඉඳගෙන යන වෙලාවක ට්‍රැෆික් එකේ බ්‍රේක් කරන කොට ඉස්සරහ ගිය කන්ටේනරේ යට බාර් එකේ ඔලුව වැදිල.. 

"බබා හෙල්මට් එකක් දාල හිටියෙ නැත්ද?" තරුණ අම්මගෙන් තාත්තගෙන් අහනකොට තාත්ත බිම බලාගෙන කිව්වෙ "මෙයා හෙල්මට් දාන්න කැමති නෑනෙ" කියල. 

"දෙමව්පියො විදිහට ඔයාල කරන්න ඕනෙ ළමය කැමති දේ නෙවෙයි.. ළමයට සුදුසු දේ.. එයාට සුදුසු දේ තෝරගන්න එයාට තේරුමක් එනකල් ඒ දේවල් තෝරල එයාව ආරක්ෂා කරන එක ඔයාලගෙ වගකීම" මගේ senior ඒ වෙලාවෙ ටිකක් තදින් දෙමව්පියන්ට දුන්න ඒ අවවාදෙ ජීවිතේ දරුවන් සම්බන්ධ ගොඩක් දේවල් වලට වලංගුයි කියල මට හිතෙනව.

මේ ඔක්කොම ඩිස්ක්ලේමර් දාල ලියලත් 'මේ පවුකාර හැත්ත පල්ලියෙන් සල්ලි අරගෙන ශාසනේ අතුගාල දාන්න කුමන්ත්‍රණ කරනව' කියල අසරණ මට පොල් ගහන්න කතරගම යන කාණ්ඩයක් ඉන්නව කියල මම දන්නව. එහෙම කෙනෙක් හිටියොත් එයාලට මේ ප්‍රශ්නෙ ඉතුරු කරල මම ලියවිල්ල ඉවරකරනව.

"දරුවො විදිහට ශාසනයට එන පිරිස අඩු වුණත් වැඩිහිටියො විදිහට ලෝකය අත්දැකල ඇත්තටම පැවිදි වීමේ උවමනාවෙන් පැවිදි වෙන උගත් තරුණයන්ගෙන්, වැඩිහිටියන්ගෙන් ඒ හිස්තැන් ටික පිරවෙනවනම් ඒක ඇත්තටම ශාසනය පිරිහෙන්න හේතුවක් වෙයිද?"

Top