මමත් නුඹත් එකම නෞකාවේ... (752)

post-title

දිනයක් යන්න අද සමාජයේ කෙතරම් ක්ෂණයකින් ගෙවෙන්නේද යන්න පිළිබඳ අදහසක් ලබාගැනීමම කටුකය. නමුත් එම නොසිතන ලෙස ගෙවෙන දිනයක සමාජය කියවා ගැනීම නම් එතරම් අපහසු නැත. මක්නිසාද එම දිනය හුදෙක්ම දිනයක් වන අතර එය බසයක යන විටද, දුම්‍ රිය නැවතුම්පොළේද, දුම් රිය තුළද, සිගරට්ටුවක් දල්වාගෙන පෙට්ටි කඩයක් ඉදිරියේද, කොළඹ කොන්ක්‍රිට් වනාන්තරයක් මැද වූවද කියවා ගත හැකි බැවිනි. එබැවින්ම මේ ජීවිතය තුළ ලැබීම හා නොලැබීම යන්න සමාජය වෙත වෙනම කෝණයකින් බලන කළ පෙනෙන්නේ එය හිතන තරම් සරල නොමැතිබවද මනාවටම පෙන්වමිනි. කෙසේනමුත් මේ සමාජය නැතිනම් මෙකී බේදය කියවන්න සමාජය වෙත දිනක් හෝ පා තැබිය යුතුය. 

මෙය වෙනස්ම දර්ශනයකි. මෙකී පසුබිම හුදෙක්ම කියවීමකුත් කලකීරීමකුත් අතර මැද තනිවන අවස්ථාවක් වැනිය. තනිවීම යන්න මඟින් ලැබෙන හොඳම හා වටිනාම ප්‍රතිඵලය මෙයයි. එනම් සමාජය දැකීමයි, එය කියවීමයි. කුමක් හේතුකොටගෙන එසේ ප්‍රකාශ කරනුයේද යත්, නුඹ තනියම නුඹේ ලෝකයක, නුඹේ මතයන්, නුඹේ මනෝභාවයන් එක්ක නුඹම හරඹ කිරීමකි මෙය. හැබැහින් දකින්න අවශ්‍ය නැතිනම් මනුෂ්‍යක් ලෙස සියැසින් දැකිය යුත්ත නම් තමාගේම වර්ගයාගේ බෙදීමය, තමාගේම සහෝදරයන්ගේ දුකය, ඔවුන්ගේ වේදනාවය එය නුඹේ මනස තුළ මනුෂ්‍යත්වයක් නොමැති වූවත් තිගැස්මක් වූවද ඇති කරවන සුළුය. මේ විෂම සමාජ ක්‍රමයක විශේෂයෙන්ම අප බොහෝ දුර ඈත පිටිසර ගම් වලටවත්, මුළු දිවයිනම හෝ ආවරණය කිරීම අවශ්‍ය නැත, එය ජනාකීර්ණ එක් නගරයක වූවද හිත කී අත ඇවිදිමින් ලබාගත හැක්කකි හා අත්විදිය හැක්කකි. මෙකී විෂමතාවය, දුක වේදනාව, නොලැබීම, අසරණකම සියල්ල දකිමින් ගමන් කිරීම කෙතරම් අපහසුද යන්න විග්‍රහ කිරීමට වදන් පෙළගැස්වවීම තරම් අපහසු කාර්‍යයක් නොමැති බවද මෙහිඳි සඳහන් කළ යුතුමය. 

පෙර සඳහන් කළ පරිදි එක් ජනාකීර්ණ නගරයක දිනයක් ගත කිරීමෙන් කියවාගත හැකි අර්ථයන් බොහෝය. නමුත් අද එම අර්ථයන් බොහෝමයක් තවත් තීව්‍ර කර ඇත්තේ මුදල මූලික වූ සමාජයක් නිසා හා ඒ ඔස්සේ මනුෂ්‍යත්වය හීනවී යාමත් නිසා බව නිතැතින්ම පෙනී යයි. දිනයක් ගත කිරීම යන්න එතරම් පහසු නැත මේ සාමාජය තුළ, එයටද හේතුවක් විය හැක්කේ මුදලය. විය හැක්කේ නොව වන්නේ මුදලය. නමුත් අප යථාර්ථවාදීව සමාජය දෙස මේ සමාජයේ මනුෂ්‍යන් දෙස බලන කළ ඊට හාත්පසින්ම වෙනස් වූ සමාජ ඛේදවාචක දැකිය හැක. 

පොදු ප්‍රවාහන සේවය නිරන්තරව යොදාගන්නා හෙයින් මෙහිඳී සමාජයේ මනුෂ්‍යන්ගේ ස්වරූපය වෙනස්ම ආකාරයක කියවා ගත හැකිබව හැගී යන්නේ මීට වසර ගණනාවකට පෙරය. ඒ අනුව පොදු ප්‍රවාහන සේවය වෙත ඇල්මක්ද දක්වන්නේ එකී නව අත්දැකීම, සමාජීය කියවීම හා විවිධ තලයන් හඳුනාගැනීමට ඇති කැමැත්ත නිසාවෙනි. මේ අනුව දිනක් මහජන පුස්තකාලයට ගොස් එහි පැය තුනක් හෝ හතරක කාලයක් ගත කරමින් අධ්‍යයන කටයුතු සිඳුකර ඉන් පිටතට ඒමත් සමඟම මේ ජනාකීර්ණ හා තරඟකාරී නාගරික සමාජය දෙස වෙනම කෝණයකින් කියවීමට හිතක් පහළ විය. ඒ ඔස්සේ මෙසේ කියවීම හුදෙක්ම ශ්‍රාස්ත්‍රියව නොව සමාජීය කෝණයකින් දැක්වීමට හා සටහන් කරමින් බෙදා ගැනීමට සිත් පහළ වෙන්නෙ නිතැතිනි.

“පුස්තකාලය තුළ පැවති නිදහස, නිහඬබව හරහා ලෝකය මැද තනිකරමින් නිහඬවම විශ්වය ගවේෂණයට අවස්ථාවක් උදාකර දෙන්නක් වැනිය. නමුත් අවාසනාවට කරුණ නම් නැවත නගරය දෙසට පිය නගන කළ එම නිස්කලංකබව කොහෙන්දෝ ගියා සේ දැන්නේ පෙර කී සමාජීය බෙදීම නැතිනම් ඒ සමාජ සන්දර්භයන්හී වෙනස පෙන්වමිනි. එක් අතකින් ජංගම වෙළදුන්ය, අනෙක් අතින් කාර්‍යබහුල ‍රථවාහනය. එක් ඇහිපිල්ලක් ගහන මොහොතකට රථවාහන කීපයක්ම පසුකර යන්නේ පිහාටුවක් කෙතරම් සැහැල්ලුද සේ මහා මාර්ගය මත රථවාහන කෙතරම් සැහැල්ලුවෙන් ධාවනය වේද යන්න ප්‍රත්‍යක්ෂ කරමිනි. නමුත්...... එකී රථවාහනයන්ට වඩා මාර්ගය දෙපස සිටි දෛනික වෙළදාම් සිඳුකරන්නන්ගේ මුහුණු එතරම් සියුමැළි හෝ පිහාටුවක් සේ සිනිඳු හෝ සැහැල්ලු නොවන බව දැකිය හැකි විය.”

දෛනික වෙළදාම් සිඳුකරන්නන්ගේ ජීවිකාව කරගෙන යාමට විශාල බාධකයක් ලෙස වසංගත තත්ත්වය පෙන්වාදීම වැරදි සහඟත නොවේ. ඒ හරහා ඔවුන්ගේ ජීවිතය කෙතරම් අපහසුතාවයන්ට ලක්වූවාද යන්න පිළිබඳව මෙහිඳී පූර්ව නිගමනය පවා අසීරුය. මක්නිසාදයත් පෙර කී මුදල මෙරට පමණක් නොව මුළු ලෝකයේම සමාජීය ගැටළු වලට හේතුවක් වන බැවින්ය. කෙසේනමුත් මෙමදෛනික වෙළදාම් කරන්නන් විවිධ භාණ්ඩ, ආහාරපාන විකුණමින් සිය ජීවිකාව සිඳුකරගෙන යයි. ඇත්ත වශයෙන්ම මොවුන්ගේ ඒ ජීවිතය කටුකද යන්න වෙනම ආ‍ර්ථික කියවීමක් හා අර්ථ ගන්වා ගත යුතුය. නමුත් ඔවුන්ගේ මුහුණේ, හම, කටහඬ සියල්ලම පාරටම වෙන් වූවක් යැයි දැක්වීම නිවැරදිය. එක් මහා මාර්ගයක් ඒ මත යන සුඛෝපබෝගි රථවාහන සමූහයක් එමෙන්ම එම මහා මාර්ගයේම තමන්ගේ එදිනෙදා ජීවිකාව කරගෙන යන්නන්ගේ ඇතුළාන්ත විරහවද මේ මොහොතේ දැනෙනුයේ ඉහත කී විෂමතාවය මනාවට පැහැදිලි කරමිනි.

“ගැඹිණි මවක් ඇගේ දියණිය ලෙස සැළකිය හැකි ආසන්න වශයෙන් වයස අවුරුදු පහක් හෝ හයක් වැනි කුඩා දැරියක් සමඟ බස් නැවතුම් පොළේ නැවතී සිටින විට ගැඹිණි මව කල්පනාවක ඈත මාවත දෙස බලාගෙන සිටි. නමුත් ඇගේ දියණිය සිනහ වෙමින් සිතේ කිසිදු අදහසක් හෝ බැරෑරුමක් නොමැතිව සැහැල්ලුවෙන් සිටියී”. මෙහිදී මතුකරන කරුණ නම් කිසිවක් නොව දරුවන් යනු දරුවන්ය. ඔවුන්ගේ ඔවුන්ටම වෙන්වූ ආදරණීය හා සැහැල්ලු සුන්දර ලෝකයක් ඇත. නමුත් එය ඇගේ මවට නැත, විටෙක ඇය ආර්ථික අපහසුතාවයන්ට ලක්වන්නියක් විය හැක, විටෙක ඇයගේ සැමියාගේ බීමත්කම නිසා පීඩා විදින්නියක් විය හැක, විටෙක ඇයගේ නූපන් බිළිඳාගේ හෙට දවස ඇගේ ආර්ථික අපහසුතාවයන් සමඟ ගොඩනගන්නේ කෙසේද කියා කල්පනා කරනවා විය හැක. නමුත් දියණිය ඇය සතුටෙනි. ඇය සිනහ වේ

ඇගේ ඒ සිනහව එදිනට පමණක් නොව ඇගේ ඒ සිනහව මතු අනාගතයටත් පවතීවා ලෙස පාර්ථනා කරමි. එමෙන්ම ඒ දැරියගේ සැහැල්ලුබව නැති කරන, දරුවන් කෙළෙසමින්, දරුවන්ගේ ජිවිතයන් සමඟ විටෙක කාමාශීතවද, විටෙක සිය කේන්තිය තරහ හා සිය ආවේගයන් පිටකරමින්ද දරුවන් හට සිඳුවන පීඩාවන් සමාජය තුළින්ම ඇසීමට ලැබේ. එය කෙතරම් ඛේදජනක කරුණක්ද යන්න හැගීයන්නේ ඉහත දැරියගේ සැහැල්ලු සිනහව දෙස බලන කළය. 

මේ නාගරික වපසරිය තුළ ප්‍රේමවන්තයන් දෙදෙනෙකු බසයේ, සියල්ල අතර ප්‍රසිද්ධ 'පෙම් මුල්ලේ' සිටිමින් ඔවුන්ගේ ලෝකයක සිටී. කුමක් මෙයට මා කියම්ද ? ප්‍රේමය ඔබටද මටද අයිති දෙයක් නොව එය සියල්ලටම අයිති සුන්දර හැඟීමකි. ඒ දෙස හැරී බලමින් ඔවුන්ට අපහසුතාවයක් ඇති කිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බැවින් ඉදිරිය බලා සිටිමි. මක්නිසාදයත් පෙර දිනයක ප්‍රේමවන්තයකු වී සිටියත් අද එම ප්‍රේමය අහිමිව යාමේ සිත්තැවුල නිසාදෝ යන්නත් මනසේ අදටත් සක්මන් කරනු ලබන බැවිණි. කෙසේ නමුත් මෙහි මතු කළ යුතු කරුණ නම් සමාජයක ප්‍රේමය යන්න අද අවශ්‍යය, එම ප්‍රේමය සැහැල්ලු හා මනුෂත්වය රජයන ප්‍රේමයක් විය යුතුය. ඉහත ප්‍රකාශ කළාක් සේම මහා ශ්‍රාස්ත්‍රිය පදනමක් මෙහි නැත, නමුත් ඇත්තේ හුදෙක් සමාජය දෙස මේ අවස්ථාවේ කියවීම පමණි. 

මේ සියල්ල දකිමින් බස් රථය සෙමින් ඉදිරියට යන අතරතුර බස් රථය තුළ සිටින්නන් දෙස දෙනෙත් යොමු වූයේ නිතැතින්මය. ඒ වනවිට බසයේ අධිකව පිරිස නොවූවත් ආසන ගාණටම පාහේ මගීන් සිටිනු දක්නට ලැබිණි. ඔවුන්ගේ සම්පූර්ණ මුහුණු නොපෙනුනත් ඔවුන්ගේ විඩාබර දෑස් හඳුනාගැනීම එතරම් අපහසු කරුණක් නොවේ. සැබැවින්ම මෙහිඳි ඉහත සඳහන් කළ රථ වාහනයක සිටිනා පුද්ගලයකු හා බසය තුළ සිටිනා පුද්ගලයකුගේ මනෝභාවයක් එකහා සමාන විය හැක. නමුත් එහි වෙනසක් ඇත. එනම් තමන්ගේ රථයේ තමන් තනිව යන විට සමාජය කියවිය හැකිද ? මෙම බසයේ මඟීන් එක් අතකට එම වරම ලබාගෙන ඇත. දැරිය හැකි මුදලකට ඔවුන් බසයේ ගමන් කරයි. මෙහිඳී ගෙනන කරුණ නම් ඔහු ශ්‍රී ලාංකීකයකු නම්, ඔහු අනිවාර්‍යයෙන්ම සමාජයේ මනුෂයන් ගැවසෙන තැනක සිටිය යුතුමය. එසේ නොසිටින කළ ඔබට මේ සමාජය කියවා ගත හැකිද යන්න ප්‍රශ්න සහඟතය. 

පෙර සඳහන් කළ පරිදි සමාජය ගතික බැවින් අද සමාජය හෙට නොවූවත් සමාජීය මූලය එකක් විය හැක. එනම් මනුෂයත්වයයි. මනුෂ්‍යත්වය දැකීමට හෝ එක ක්‍රියාවට නැංවීමට අප මේ සමාජයේ මහ පොළොවට ගොඩබැසිය යුතුය. මෙහිදි කිසිදු ආකාරයකට වරප්‍රසාද හිමි සිය උත්සහයෙන්, මහන්සියෙන් දියුණු වූ ප්‍රජාවට පහර ගැසීමක් නොව හුදෙක්ම සමාජය යන්න කියවා ගැනීම විවිධ කෝණයන්ගෙන් කියවීම අවශ්‍යය යන්න තහවුරු කිරීමකටය. ජනාකීර්ණ සමාජ ක්‍රමයක නාගරික ක්‍රමයක, තරඟකාරී ජීවිතයක් ගත කිරීම සැබැවින්ම කටුකය. එය හුදෙක්ම අවශ්‍ය නැත ශ්‍රී ලාංකීකයන්ට, අප ඉන් මිදීමට නම් ඇත්ත වශයෙන්ම මෙම සමාජීය ක්‍රමය කියවා ගත යුතුය. පෙර දැක්වූ කළ දරුවාගේ සිට වැඩිහිටියා වනතෙක් සිටින්නේ අවධාණමකය. එය සමාජ, ආර්ථීක හෝ පෞද්ගලික ආරක්ෂාව සම්බන්ධවද විය හැක. විශේෂයෙන්ම දරුවන්හා තරුණ ප්‍රජාව

කෙසේවෙතත් ජනාකීර්ණ නාගරික ප්‍රදේශයක එකී සමාජ සන්දර්භය කියවීම තරමක් අපහසුය. එයට හේතුව පෙර කී සමාජ ගතිකත්වයය. මෙහිඳී කිසිඳු සමාජ විද්‍යාත්මක ශාස්ත්‍රිය අධ්‍යයනයක් සිඳු නොවිණි. එය කිසිඳු අවස්ථාවකදී මෙවැනි නිරීක්ෂණය මත පමණක් පැමිණීමද ප්‍රමාණවත් නොවේ. කෙසේ නමුත් අවශ්‍ය වන්නේ සමාජය දෙස නව කෝණයකින් කියවීමය. අප සමාජය එහි මිනිසුන් දෙස බලන නමුත් එය විවිද කෝණයන්ගෙන් විවිධ රසයන්ගෙන් කියවාගන්නෙද යන්න මත මෙකී සමාජයේ විවිධත්වය තීරණය වේ. එබැවින් සමාජය හඳාරන්න. මනුෂ්‍යත්වය හඹායන්න, නුඹ නුඹම වෙන්න, තරඟකාරී මෙන්ම කටුක සමාජයක වූවද විෂමතාවය, වේදනාව, ප්‍රේමය නුඹත් අත්විදින්න එය ඔස්සේ හරවත් හෙටක් වෙනුවෙන් ක්‍රියා කරන්න.

Top