ජන මතය වෙනස් කිරීමේ ප්‍රබල අවිය ජනමාධ්‍යය ද? (684)

post-title

අද්‍යතන මිනිසා ජීවත් වනුයේ මානව සබඳතා අතික්‍රමණය කරන ලද තාක්ෂණික සබඳතාවයන්වලින් සමන්විත වූ ලෝකයක ය. අද, වර්තමානය වන විට මිනිසාගේ සෑම ක්‍රියාකාරකමක් පාහේ ම මිනිසා විසින් තාක්ෂණය මූලික කර ගනිමින් සිදුකරනු ලබයි. එසේ වුවත් අතීත සමාජයේ දී මානව සබඳතා වර්ධනය කර ගැනීමට උපකාරී වූ මෙම තාක්ෂණය, වර්තමානයේ දී එකී මානව සබඳතා වියුක්ත කිරීම සඳහා ම හේතු වී ඇත. එහිදී මානව හැඟීම් සහ සිතිවිලි කෙරෙහි ද තාක්ෂණය මඟින් සිදුකරනු ලබන බලපෑම තුළ මිනිසා විසින් තාක්ෂණය පාලනය කරනවාද එසේත් නොමැති නම් තාක්ෂණය විසින් මිනිසා පාලනය කරනවාද යන උභතෝකෝටිකයට 21 වන සියවසෙන් පසු ලෝක ප්‍රජාවට මුහුණ දීමට සිදුවන අති දැවැන්තම අභියෝගයකි. කෙසේ වෙතත් වර්තමානය වන විට එකී තාක්ෂණයේ ම දිගුවක් වන ජනමාධ්‍යය ද නූතන මිනිසාගේ ජීවිත ඉරණම විසඳනුයේ ඉතා සූක්ෂම ලෙස ඔවුන්ටත් නොදැනීමය. ඒ ජනමාධ්‍යය, පුද්ගල ජන මතය වෙනස් කිරීම සඳහා ප්‍රබල වූ බලපෑමක් සිදුකිරීම මඟිනි. 

ජනමාධ්‍යය යනු, අද වන විට මිනිසාගේ තොරතුරු හිඩැස පුරවන අති ප්‍රබල මාධ්‍යයක් බවට පත් වී ඇත. එසේම උදෑසන අවදි වන මිනිසාගේ දවස තීරණය කිරීමේ කාර්යය ද වර්තමානය වන විට ජනමාධ්‍ය භාර ගෙන ඇත. මෙසේ ජනමාධ්‍යය හරහා ග්‍රාහකගත කරනු ලබන තොරතුරු වෙත ජනමතය කේන්ද්‍රගත කිරීමේ බලයක් ජනමාධ්‍යය සතුව පවතී. එබැවින් මෙහිදී සමාජයීය, සංස්කෘතිකමය, ව්‍යාපාරික වශයෙන් මෙන්ම දේශපාලනික වශයෙන් ද මිනිසා කේන්ද්‍රගත කිරීම ජනමාධ්‍යය මඟින් සිදුකරනු ලබයි. එසේම විවිධ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ ජනතා අභිලාශයන් හඳුනා ගනිමින් ඒ පිළිබඳ ව සැබෑ උත්තේජනයක් ලබා දිය හැකි බලය ජනමාධ්‍යය සතු වේ. මෙසේ ජනමාධ්‍යය මඟින් තොරතුරු වෙත ග්‍රාහක අවධානය යොමු කරවමින් උත්තේජනාත්මක ලෙස ප්‍රචාරණය තුළින් පොදු ජන මතයක් ගොඩනැඟීම සිදුකරනු ලබයි.

මෙම ජනමාධ්‍යය හරහා ඕනෑම දෙයක් බෙදා ගැනීමට මිනිසුන්ට නිදහස පැවතිය ද ඇතැම් විට එහිදී එය, තොරතුරුවල සත්‍යතාවයේ වැරදි මඟ පෙන්වීමකට ද තුඩුදෙනු ලබයි. ඇතැම් සංවිධාන විසින් කිසියම් වූ ආකාරයක අන්තර්ගතයක් ප්‍රදර්ශනය කිරීම සඳහා මුදල් ගෙවා ඒවා ජනමාධ්‍යය ඔස්සේ ප්‍රචාරණයන් සිදුකරනු ලබන අතර එහිදී එම ඇතැම් අන්තර්ගතයන් සමාජයට හානිකර විය හැකිය. එසේ වුවද අද්‍යතනයේ මුදල් කෙරෙහි පවත්නා වූ ආශාව නිසාවෙන් එවැනි අන්තර්ගතයන් ග්‍රාහකගත කිරීම අද වන විට වත්මන් සමාජය තුළ බහුල වශයෙන් සිදු වේ. විශේෂයෙන්ම මෙහිදී ජනමාධ්‍යය හරහා ප්‍රචාරණය වන වෙළෙඳ දැන්වීම් ඔස්සේ ජනමතය වෙනස් කිරීමට ප්‍රබල වූ හැකියාවක් පවතී. නිදර්ශනයක් වශයෙන්  “EGB නැතිව කෑම එපා ” නැමැති වෙළඳ දැන්වීම ගත් විට, එම වෙළෙඳ දැන්වීමත් සමඟ ලාංකිකයාගේ පෙර පැවති ආහාර සංස්කෘතිය කිසියම් වූ වෙනසකට ලක් කරමින් නව ආහාර සංස්කෘතියක් දක්වා ලාංකිකයා පරිවර්තනයකට ලක් කිරීමට පවා අද වන විට ජනමාධ්‍යය සමත් වී ඇත. තවද ලයිෆ්බෝයි සබන් කැටය වෙළෙඳ පොළෙහි පවතින අනෙකුත් සබන් කැටවලට සාපේක්ෂව විෂබීජවලින් ආරක්ෂා කරන සබන් කැටයක් වන බවත්, කෝවිඩ්-19 වෛරසයෙන් ආරක්ෂා වීමට හැකි ලෙස නිෂ්පාදනය කර ඇති බවත් පවසමින් එම ලයිෆ්බෝයි වෙළෙඳ දැන්වීම ඔස්සේ ද වර්තමානයේ පොදු ජනමතය වෙනස් කිරීමට කටයුතු කර ඇත. මේ අයුරින් වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය ඔස්සේ ජනමතය වෙනසකට ලක් කිරීමට අද වන විට ජනමාධ්‍යය හරහා කිසියම් වූ ප්‍රයත්නයක් දරනු ලබයි.

එමෙන්ම ඕනෑම රටක් ස්ථාවර වීමට නම් ජනමාධ්‍යය යන්න අත්‍යවශ්‍ය වේ. මන්ද මහජනයා සහ රජය අතර බැඳීම පවත්වා ගනු ලබනුයේ ද ජනමාධ්‍යය වන නිසාවෙනි. පුද්ගලයාට රජයට ඍජුව ම තම අදහස් ප්‍රකාශ කළ නොහැකි වන හෙයින් එය කළ යුත්තේ ද ඔවුන් ජනමාධ්‍යය හරහාය. මෙහිදී සියලුම නව නීතීන් සහ තීන්දු තීරණයන් ජනමාධ්‍යය භාවිතයෙන් පොදු ජනතාව වෙත දැනුම් දෙනු ලබයි. එසේ ග්‍රාහකගත වන දේශපාලනික තොරතුරු ඔස්සේ ද පොදු ජනමතය වෙනස් කිරීමට ජනමාධ්‍යයට හැකිවනු ඇත. එමෙන්ම වර්තමානයේ දී මැතිවරණ ව්‍යාපාරයන්හිදී ද ජනමාධ්‍යය සැලකිය යුතු ම කොටස්කරුවෙකු වී ඇත. එමෙන්ම අද්‍යතනයේ ජනමාධ්‍යය හරහා ග්‍රාහකගත වන විවිධ වූ වැඩසටහන් මෙන්ම මාලා නාට්‍යයන් ද පුද්ගල ජනමතය වෙනස් කිරීමට ප්‍රබල වූ පිටිවහලක් සපයනු ඇත.

මෙසේ ජනමතය වෙනස් කරමින් පුද්ගල අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ජනමාධ්‍යය අනිසි ලෙස භාවිත කිරීම සිදු කළ හැකි අතර ඒ ඔස්සේ ග්‍රාහකයා අසත්‍ය තොරතුරුවලින් ද පෝෂණය කිරීමට මෙන්ම පුද්ගලයා නොමඟ යැවීමට ද ජනමාධ්‍යයට හැකි වනු ඇත. එහෙයින් ජනමාධ්‍යය නිසිලෙස භාවිත නොකළහොත් පුද්ගලයාට එමඟින් සිදුකරනු ලබන බලපෑම අති විශාලය.

මේ අයුරින් බලන කල වර්තමානයේ දී අද වන විට ජනමාධ්‍යය යන්න උමතුවක් බවට පත්ව ඇති අතර එය ඇබ්බැහි වීමක් බවට ද පත් ව ඇත. ඒ තුළින් සිදුවනුයේ මිනිසා විසින් තමාටත් නොදැනීම තම මතය ජනමාධ්‍යයට අනුව හැඩගසා ගැනීමට පෙළඹීමයි. නමුත් එය එසේ සිදු වී, ජනමාධ්‍යය විසින් පුද්ගලයාව පාලනය කිරීමට පටන් ගන්නේ නම් එය පුද්ගල ජීවිතයේ විනාශයට මංපෙත් විවර කර ගැනීමක් ම වනු ඇත. අප ජීවත් වන වර්තමාන ලෝකය ඇඟිලි තුඩකට සීමා වුවත් එහිදී ජනමාධ්‍යයට පමණක් පොදු ජනමතය වෙනස් කිරීමට ඉඩ නොදී තම විචාරශීලී බුද්ධියෙන් ජනමාධ්‍යය හරහා ග්‍රාහකගත වන තොරතුරු පිළිබඳ ව සොයා බලා තීරණ ගැනීමට වගබලා ගැනීම සබුද්ධික මිනිසාගේ යුතුකමක් මෙන්ම වගකීමක් ම වන්නේ ය.

Top