රටක අනාගතය සුරක්ෂිත කරන අයිතිවාසිකම්.

post-title

මහපොළොව මත යහපත් ජීවිතයක් ගත කිරීම උදෙසා මිනිසාට අත්විය යුතු අයිතීන් මානව අයිතිවාසිකම් ලෙසින් සරලව අර්ථකතනය කළ හැකිය. එහෙත් ඒ අයිතීන් මේ ආකාරයෙන් විය යුතුයැයි නිශ්චිත නිර්වචනයක් අද වන විටත් පොදුවේ පිළිගන්නා තත්ත්වයකට පැමිණ නැත. අතීතයේ පටන් අද දක්වා මානව අයිතිවාසිකම් යනු කුමක්ද යන්න පිලිබඳ විවිධ අර්ථ නිර්වචකයන් විසින් නේක විධ අයුරින් නිර්වචනය කරමින් පවතියි. විකිපීඩියා නිදහස් විශ්වකෝෂයට අනුව ගත් කළ “රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මගින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් හෙවත් මානව අයිතිවාසිකම් නම්වේ. කොළොම්බියානු සරසවිය හඳුන්වාදුන් විශ්ව කෝෂයට අනුව මානව හිමිකම් යනු මිනිසුන් වීම නිසා ලැබෙන්නා වු අයිතින් වන අතර ඒවා සිවිල් දේශපාලන සංස්කෘතික හා ආර්ථික අයිතින් වන අතර මේවා මනුෂයාගේ ගෞරවය මත රදාපවතී. මහත්මා ගාන්ධි තුමන් විසින් පවසා ඇති පරිදි මානව අයිතිවාසිකම් යනු යුතුකම්ය. කෙසේ වුවත් මානව අයිතිවාසිකම් යන්න සඳහා යම් පුලුල් ආකාරයක පොදු නිර්චනයක් ලෙසින් අපට මෙලෙස නිර්වචනයක් ඉදිරිපත් කළ හැකි ය. කිසියම් ජනවාර්ගිකත්වයක්, ස්ත්‍රී පුරුෂභේදයක්, ජාතියක්, ආගමක්, සමාජ පන්තියක්, කුලයක් හෝ ප්‍රාදේශිකත්වයක් වැනි විෂමතාවලින් තොරව ලෝකය තුළ සිටින සෑම මිනිසකුටම පොදුවේ තිබිය යුතු බවට පිළිගනු ලබන අයිතිවාසිකම් මානව අයිතිවාසිකම් වේ යන්නය.

මානව අයිතිවාසිකම් බිහිවීම පිළිබඳ තොරතුරු සොයා ඉතිහාසය පිළිබඳ කරන ගවේෂණයක් තුළ අපට වටහා ගත හැකිවෙන මූලික ම කරුණ වන්නේ නූතන රාජ්‍ය ක්‍රමය බිහිවීමට පෙර මානව සමාජය තුළ පොදුවේ පිළිගත් කොන්දේසියක් හෝ අයිතිවාසිකම් පිළිබඳ එකඟතාවක් පැවැතී නොමැති බවය. ඒ සෑම තැනකම දැකිය හැක්කේ වරප්‍රසාදලාභීන් කණ්ඩායමක් විසින් භුක්තිවිඳින වරප්‍රසාද පමණි. ඒවා පොදුවේ සෑම පුද්ගලයෙක්ටම උරුම වූ දෑ නොව බලය, ධනය, කුලය, පුරුෂාධිපත්‍ය වැනි සාදක මගින් සීමාකාරී වූ අතළොස්සක් දෙනා භුක්තිවිඳින ලද දෑ ය. නමුත් මේ තත්ත්වය වෙනස්වන්නේ නූතන රාජ්‍යන් බිහිවීමත් සමඟින්ය. 1948 වර්ෂයේ දෙසැම්බර් 10 දින එක්සත් ජාතීන්ගේ මහ සභාව විසින් ‘මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනය’ පිළිගනු ලැබූ අතර එතැන් පටන් සෑම වර්ෂයකම දෙසැම්බර් 10 වන දිනය ජාත්‍යන්තර මානව හිමිකම් දිනය ලෙසින් නම්කර ඇත. එක්සත් ජාතීන් විසින් සම්මත කරන ලද එම මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ ප්‍රස්තාවනාව තුළ මෙසේ දක්වා ඇත.

“ලෝකයේ නිදහස, යුක්තිය සහ සාමය යන මේවායේ පදනම මිනිස් පවුලේ සියලු දෙනාගේම සහජ ගරුත්ව හා අන්සතු කළ නොහැකි වූ සම අයිතිවාසිකම් පිළිගැනීම වේ.”

එහි සරල අර්ථය නම් මානව අයිතිවාසිකම් කිසිදු කොන්දේසියකින් තොරව ලෝකයේ සෑම මිනිසෙකුටම පොදු බවයි. එය රටින් රටට, ප්‍රදේශයෙන් ප්‍රදේශයට, ආගමික වශයෙන් හෝ ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව පොදුවේ භුක්තිවිඳිය හැකිය. ජනවාර්ගිකත්වය කවරක් ද යන්න හෝ කුලය වැනි සාදක එයට කිසිලෙසකින් බලපෑමක් නොකරයි. ලොව කොතැනක කොයි ලෙසින් ජීවත් වුව ද සෑම මනුෂ්‍යයෙකුගේ ම හැසිරීම් අවශ්‍යතාවයන් සහ ජීවන තත්ත්වයන් එක හා සමාන වන බැවින් පොදුවේ ඔවුන් භුක්තිවිඳිය යුතු අවශ්‍යතා ද එක හා සමාන විය යුතුය යන කරුණ සැලකූ විට ලෝක ජනගහනය සෑම දෙනාටම අයිතිවාසිකම් පොදු විය යුතුය යන කරුණ පිළිගත හැකිය. මෙම තත්ත්වය මෙයට පෙර පැවැති තත්ත්වයට වඩා වෙනස් බැවින් යම්යම් ජන කොටස් රාජ්‍ය වශයෙන් සහ ජාතික වශයෙන් මෙම ප්‍රකාශයට යම් අයුරකින් මතවාදීව එකඟ නොවන තත්ත්වයන් දැකිය හැකි වුවද එය පොදුවේ සමථනයකට ලක්විය.

මානව අයිතිවාසිකම් පිළිබඳ විශ්ව පිළිගැනීමක් බිහිවීමට බලපෑ ප්‍රභලම කරුණව ඇත්තේ දෙවන ලෝක යුද්ධය හේතුවෙන් රාජ්‍යන් අතර සිදුවූ ඛේදජනක තත්ත්වයයි. ඒ රාජ්‍යන් හි ඇතිවූ බිඳ වැටීම් යළි යථා තත්ත්වයට පත් කරමින් රාජ්‍ය තුළ වෙසෙන ජනතාවගේ ජීවන තත්ත්වය යහපත් කරගත යුතු පියවර ගනු ලැබුවා සේ ම යළිත් මෙවැනි විනාශකාරී යුද්ධයක අමිහිරි අත්දැකීම් විඳින්නට ඉඩක් නොලැබෙන පරිදි ලෝක සාමය සුරක්ෂිත කරගනිමින් පවත්වා ගැනීමට අවශ්‍ය ලෝක සංවිධානයක අවශ්‍යතාවය අනුව යමින් 1945 ඔක්තොම්බර් මාසයේ දී එක්සත් ජාතීන් ගේ සංවිධානය පිහිටුවා ගන්නා ලදී. ඉන්පසුව සමස්ථ ලෝක ජනතාවට ම පොදු අයිතිවාසිකම් පෙළක් නිර්මාණය පිළිබඳ කතිකාවක් ගොඩ නැගෙන අතර එය සාර්ථක වෙමින් අයිතිවාසිකම් ප්‍රඥප්තිය බිහිකර සම්මත කරගනු ලැබීය. එම මුල් අවධියේ දී ම වුවද රටවල් විශාල වශයෙන් මෙම අයිතිවාසිකම් ප්‍රඥප්තියට එකඟවූ ආකාරයක් දැක ගත හැකි අතර එයට හේතු වූ මූලික කරුණු ද්විත්වයක් දැකගත හැකි ය. එනම්,

1.ඒ වන විටත් ඇතැම් ජාතික රාජ්‍යයන් විසින් තමන්ගේ නිදහස හෝ මුලික අයිතිවාසිකම් නිදහස ලෙස පිළිගත් එම සිද්ධාන්තය එම රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීම

2.මානුෂික අයිතිවාසිකම් නීතිය ප්‍රවර්ධනයට ජාත්‍යන්තර සංවිධාන හා කලාපීය සංවිධාන වශයෙන් ජාත්‍යන්තර ප්‍රජාව දැක්වු උනන්දුව යන කරුණුය.

මෙම අයිතිවාසිකම් පිළිබඳ පොදු එකඟතාව 1945වන විට ජාතීන් 91ක් පමණ පිළිගෙන තිබුණ අතර නූතනය වන විට රාජ්‍යන් එකසිය අනූවකටත් අධික සංඛ්‍යාවක් විසින් එක්සත් ජාතීන්ගේ අයිතිවාසිකම් ප්‍රඥප්තිය පොදුවේ පිළිගනු ලැබ ඇත. එය සෑම රාජ්‍යක්ම පිළිගත යුතු නෛතික කොන්දේසියක් නොවන අතර එය යම් ආකාරයක සදාචාරාත්මක සම්මුතියක් ලෙසින් පිළිගනු ලැබෙයි. පොදුවේ මෙම ප්‍රඥප්තිය පිළිගන්නා සෑම රටකම පාහේ විශ්වාසය වන්නේ මෙම අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම මගින් රටක අනාගතය සුභවාදීවන බවයි. වර්ෂ 1989 දක්වා ම මානව අයිතිවාසිකම් පිළිබඳ පොදු සම්මුතිය අදාළ වූයේ වැඩිහිටියන් සඳහා පමණක් වූ අතර 1989 වර්ෂයේ දී “ළමා අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර ප්‍රඥප්තිය” ඉදිරිපත් කිරීමත් සමඟ ළමයින්ට අදාළ අයිතිවාසිකම් ද එවක පටන් පිළිගනු ලැබ ඇ

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලබනුයේ 1955 වර්ෂයේ ය. එවක පටන් ශ්‍රී ලංකාව ද එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියට ගරු කරමින් පොදුවේ එම අයිතිවාසිකම් භුක්ති විඳින්නට ස්වකීය ජනතාවට ඉඩ හසර සලසා දී ඇත. නමුත් යම් යම් දේශපාලනික කරුණ කාරණා හේතුවෙන් වරින් වර එම අයිතිවාසිකම් කඩවෙනු ලබන අවස්ථා දැකිය හැකි වුවද පොදුවේ ලංකාව ද අයිතිවාසිකම් ආරක්ෂා කරනු ලබන රටක් ලෙසින් හඳුනාගත හැකි ය. 1996 අංක 21 දරණ පනත මගින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව^HRCSL& ශ්‍රී ලංකාවේ ස්ථාපිත කෙරිණි. රටේ මානව හිමිකම් ප්‍රවර්ධනයට හා ආරක්ෂා කිරීමට පිහිටුවා ඇති ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ස්වාධීන කොමිෂන් සභාවක් වන අතර එම කොමිෂන් සභාව ස්ථාපනය කිරීමට පෙර, නීත්‍යානුකූල නොවන අත්අඩංගුවට ගැනීම් හා රඳවා තබාගැනීම් සම්බන්ධයෙන් මානව හිමිකම් කාර්ය බලකාය ^HRTF& සහ වෙනස්කම් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් පිළිබඳ වෙනස්කම් කිරීම නැවත්වීමේ හා නිරීෂණය කිරීමේ කොමිෂන් සභාව ^CEDMHR& ලෙස හදිසි නීතිය යටතේ වෙනස් ආයතන දෙකක් පිහිටුවන ලදී. එසේම වර්ෂ 1998 දී පමණ ළමා ආරක්ෂණ පනත ශ්‍රී ලංකාව තුළ ඇති කර ඇත. එයට අමතරව මානව හිමිකම් කඩවීම් සම්බන්ධව පැමිණිලි සලකා බැලීම සඳහා අධිකරණ ක්‍රියාමාර්ගත් ඔම්බුඩ්ස්මන් තනතුරත් ස්ථාපිත කිරීම මගින් පැහැදිලි වනුයේ ලාංකේය රාජ්‍ය තුළ ද මානව අයිතිවාසිකම් වැදගත් කොට සලකන වගයි.

Top