බයිලා කපිරිඤ්ඤා තාලේ සොයන් වරෙල්ලා (618)

post-title

බයිලා කපිරිඤ්ඤා එතරම් දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ගීත කලාවක් නොවේ. එය බෙහෙවින් ම ප්‍රචලිතව පැවතුණේ ලක්දිව මුහුදුබඩ කලාපය ආශ්‍රිතව ය. ක්‍රි.ව. 1505 දී පෘතුගීසීන්ගේ ආගමනයත් සමග මෙරට දේශපාලන, සමාජ, ආර්ථික, ආගමික හා සංස්කෘතික යන සෑම ක්ෂේත්‍රයක ම වෙනස්කම් රාශියක් හඳුනාගත හැකි විය. ඒ අතර මෙරට සංස්කෘතියට එක් වූ නවාංගයක් ලෙස බයිලා කපිරිඤ්ඤා ගීත කලාව හැඳින්විය හැකිය.

බයිලා යනුවෙන් හඳුන්වන්නේ සරල රසවින්දන ගීත කලාවකි. බයිලා යන වදනත් සමග යෙදෙන අනෙක් වදන කපිරිඤ්ඤා යන්නයි. ජාත්‍යන්තර ශබ්දකෝෂයන්හි බයිලා යන වදන අර්ථ ගන්වා ඇත්තේ ගීත විශේෂයක් ලෙස නොව නැටුම් හා සම්බන්ධ වදනක් ලෙසය. පෘතුගීසි බසින් බයිලෝ (Bailo) යනුවෙන්ද ස්පාඤ්ඤ බසින් බලාර් (Balar) යනුවෙන්ද ලතින් භාෂාවෙන් බයිලාරේ (Bailare) යනුවෙන් ද මෙය ව්‍යවහාර වේ. කෙසේ වෙතත් මෙම බයිලා කපිරිඤ්ඤා යන ද්විත්වය ම එකම ගීත කලාවක් වන බව සංගීතඥයින්ගේ මතයයි.

ඒ වගේම මෙරට බයිලා කපිරිඤ්ඤා සංගීතය බිහි වූ ආකාරය පිළිබඳව සලකා බැලීමේදී ඒ පිළිබඳව ඉදිරිපත් වන මත කිහිපයක්ම හඳුනාගත හැකිය. ඒ අතර ශ්‍රී ලංකාවේ විසූ අප්‍රිකානු ජාතිකයන් යැයි සැලකෙන 'කාපිරි' ජනයාගෙන් මෙරට තුළ බයිලා කපිරිඤ්ඤා සංගීතය බිහි වූ බවට මතයක් පවතියි. ඒ වගේම පෘතුගීසි සමයේදී සපත්තු මැසීම, ඇඳුම් මැසීම, කම්මල් වැඩ ආදී කර්මාන්ත වල නියුතු වූ 'මිකැනික්වරු' යනුවෙන් හැඳින් වූ පෘතුගීසි ජාතිකයන්ගෙන් මෙය බිහි වූ බවට ද අදහසක් ඉදිරිපත් වී ඇත. කෙසේ වෙතත් මේ අතර වඩාත් ප්‍රසිද්ධියට පත්ව ඇති මතය වන්නේ ශ්‍රී ලංකාවේ විසූ කාපිරි ජන කොටස අතරින් බයිලා කපිරිඤ්ඤා සංගීතය බිහිවූ බවයි. අද වන විට ද ශ්‍රි ලංකාවේ පෘතුගීසි සමයේ විසූ කාපිරි ජනයාගේ පරපුර විසින් මෙම බයිලා කපිරිඤ්ඤා ගීත කලාව පවත්වාගෙන යන බව සැලකේ. ඒ වගේම පෘතුගීසින්ගෙන් පැවත එන බවට සැලකෙන, මෙරට වාසය කරන බර්ගර් ජනයා අතරද බයිලා කපිරිඤ්ඤා සංගීතයේ ආභාෂයන් දැකගත හැකිය. ඔවුන්ගේ අදහස වන්නේ බයිලා කපිරිඤ්ඤා යනු සිය සංස්කෘතියෙහි රැකගත යුතු අංගයක් වන බවයි. බයිලා කපිරිඤ්ඤා ගයමින් නටන ලාන්සර් (Lancer) නම් නර්තනයද ඔවුන් අතර වඩාත් ප්‍රචලිතය.

පෘතුගාලයේ බිහිවූ මෙම බයිලා කපිරිඤ්ඤා සංගීතය සඳහා පාදක වී ඇත්තේ ස්පාඤ්ඤ සංගීතයයි. සරල ස්වර රටාවකින් යුක්ත වන බයිලා ගීත ගායනා කිරීම ද පහසු විය. බයිලා කපිරිඤ්ඤා සඳහා මුල් කාලයේ දී වයලීනය, සිතාරය, රබාන සහ මැන්ඩලීනය යන වාද්‍ය භාණ්ඩ භාවිතයට ගනු ලැබීය. කල් ගත වන විට ලංකාව තුළ බයිලා සංගීතයෙහි බිහිවීම හඳුනාගත හැකි වූයේද මෙම පෘතුගීසීන්ගේ බයිලා කපිරිඤ්ඤා සංගීතයෙහි ආභාෂයෙනි. ඒ අතර වාද බයිලා වඩාත් ප්‍රසිද්ධය. වාද බයිලා සංදර්ශනවලදී විවිධ ප්‍රදේශවලින් පැමිණි බයිලා ගායකයන් බයිලා තරගවලට සහභාගි වෙමින් ගායනය යෙදුනහ. ඇතැම් බයිලා වැඩසටහන්වල තෑගි පවා ලබා දුන් අවස්ථා දක්නට ලැබුණි. එම්.එස් ප්‍රනාන්දු, පැට්‍රික් අබේවර්ධන, පවුලිස් පෙරේරා, එච්.එස්. ප්‍රනාන්දු, තොටලග ඒ. කුසුමපාල, රූබන් පෙරේරා ආදීන් මෙරට ප්‍රකට වාද බයිලා ශිල්පීහු වූහ. ඒ අතර බයිලා කපිරිඤ්ඤා සම්ප්‍රදායේ මෑතකාලීන පුරෝගාමියා ලෙස සැලකෙන්නේ වොලී බැස්ටියන් ය. ඔහුගේ බයිලා ගායනයන් අදටත් මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ ප්‍රසිද්ධය.

 "වියෝලේ මා සනසන වියෝලේ 

වියොලේ ඔබ මගේ අතේ මෙවේලේ 

ඔබේ මිහිරි නදට නිදැල්ලේ 

නැළවේ ළදරුවෝ රන් තොටිල්ලේ

 අයරින් ජොසපින් රොසලින් ඇන්ජලින්

අතරින් පතරින් නටයිද කැතරින්

පියානෝ බැන්ජෝ ටැමරින් මැන්ඩලින් 

වයලින් වයලින් ලොව නොනැසෙන වයලින්"

"බයිලා සාස්තරේ මට උතුම් සුමිතුරේ

මැරිලා ගියත් මම නිරේ නම පවතිනවා මේ පුරේ 

ඇසිලා සුමිතුරේ නුඹලව බලන්න ආමි 

බයිලා සාස්තරේ කියපන් කාටදැයි හිමි

උඹලා යාළුවේ මේ ගැන අදම ද ඇසුවේ

බයිලා කිව්වේ සිංහල වචනයක් නොවේ අහුලගත්ත සතරකි පිටරටක ගීතෙකි 

බයිලා නැටුමකි පුර්තුගීසි නැටුමකි"

මේ වොලී බැස්ටියන් ගායන කළ ප්‍රසිද්ධ බයිලා ගීතයන් ය. ලක්දිව බිහි වූවක් නොවූවද බයිලා කපිරිඤ්ඤා යනු මෙරට සංගීතය හැඩගැන්වූ තවත් එක් ගීත කලාවකි.

Top