මේ ජීවිතය කියවන සාහිත්‍ය මාසයයි (588)

post-title

වසරක් පාසා සැප්තැම්බරය එළෙඹෙනුයේ සාහිත්‍ය නවෝදයක් කර පින්නාගෙනය. එසේ වුවත් සැප්තැම්බරය යනු ද වර්ෂයේ එක් මාසයක් පමණක්ම ය. සාහිත්‍යය සම්බන්ධ කරුණු විමර්ශනය කර බැලූ කල්හි එහි මූලයන් පොත්පත් පමණක් නොවන බව අප කාහටත් වැටහෙනු ඇත. සාහිත්‍ය නිර්මාණයන්ට විවිධාකාර වූ අංශයන් ලඝු වන අතර නාට්‍ය, සිනමාව, චිත්‍ර, නැටුම්, ගීත, ගද්‍ය, පද්‍ය යනාදී වූ නන් වැදෑරුම් දෑ මේ මතින් පෝෂණය වේ. එසේ වුවත් සාහිත්‍ය මාසය තුළ වර්තමානයේ බොහෝදෙනා ලඝු වන්නේ පොත්පත් මත පමණක්ම ය. එහෙයින් සැප්තැම්බර් මාසය හෙවත් සාහිත්‍ය මාසය එළඹීමත් සමඟ ලොකු කුඩා භේදයකින් තොරව පොත්පත් අතර සැරිසරන්නට සෑම පාඨකයෙකු තුළම ඇත්තේ ඉමහත් උනන්දුවකි. ඒ සඳහා සෑම වර්ෂයක් පාසාම පවත්වනු ලබන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය ඔවුන්ට ඉමහත් උත්තේජනයක් සපයනු ඇත. නමුත් ඒ තත්ත්වය අද වන විට හාත්පසින්ම වෙනස් වී ඇත. ඒ ක්‍දඩසා වසංගතය විසින් සමස්ථ මානව සංහතියම නිවෙස්වලට කොටු කරමින් ඔවුන්ගේ එම අවස්ථාව ද අහුරා දැමීමත් සමඟ ය.

මෙසේ සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය ලෙස නම් කිරීම තුළින් සාහිත්‍යය පිළිබඳ ව යම් කතාබහක් හා සංවාදයක් ද සාහිත්‍ය මාසය මුල් කර ගනිමින් සමාජය තුළ ගොඩනැඟෙනු ඇත. එය ශ්‍රී ලංකාවේ සාහිත්‍යයේ දියුණුවට හිතකර තත්ත්වයක් ලෙස ද හැඳින්වීමට පුළුවනි. එහෙත් එසේ වූ පමණින්ම ද එසේ නොවනු ඇත. මන්ද පොත්පත් අතට පත් වූ පමණින්ම ඔවුන් කියවීමට යොමු වූ පිරිසක් ලෙස හෝ ඒ ඇසුරින් සාහිත්‍ය ඥානය ලබා ගන්නා පිරිසක් ලෙස හඳුනා ගැනීම සාවද්‍ය වන්නක් වන නිසාවෙනි. 

මීට වසර ගණනාවකට පෙර මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරත්චන්ද්‍ර, කුමාරතුංග මුනිදාස වැනි සාහිත්‍ය වියතුන් මෙරටට බිහි වූයේ ඔවුන් පොතපත කියවීමෙන් සහ ලාංකේය පැරණි සාහිත්‍යය සහ විදේශීය සාහිත්‍යය ද නොමඳව ඇසුරු කිරීමෙනි. නමුත් එවැනි ප්‍රවේශයක් වර්තමානයේදී අපට දැකගැනීමට නොමැත.

මිනිසා සිටින්නේ ශාස්ත්‍ර නම් තටාකයේ ගිලී මිය යන්නට නොව ශාස්ත්‍ර නම් සයුරේ ගිලී මුතු ගෙන ඒමටයි.

-මහත්මා ගාන්ධි

මේ මඟින් ද වැටහෙනුයේ පොතපත කියවීම ඔස්සේ සහ අනෙකුත් සාහිත්‍යාංග ඔස්සේ සාහිත්‍ය ඥානය ලබා ගැනීම තුළින් මිනිසාට තම ජීවිතයේ පරිපූර්ණත්වයට පත් විය හැකි බවයි. මිනිසාට ආශ්වාස කිරීමට වාතය අවශ්‍ය වනවා සේම ඔවුන්ට නිසිලෙස තම ජීවිතය පවත්වාගෙන යාමට නම් දැනුම අත්‍යවශ්‍යය. එකී දැනුම මිනිසාට වැඩි වශයෙන් ලැබෙනුයේ අන් කිසිවක් නිසා නොව පොතපත කියවීම තුළින් සහ සාහිත්‍යාංග පරිශීලනය කිරීම තුළින් ය. ඒ නොදන්නා බොහෝ දේ සාහිත්‍යය තුළින් තම ජීවිතයට එකතු කර ගැනීමට මිනිසාට හැකිවන නිසාවෙනි. 

මනෝවිද්‍යාඥයින් පවසනුයේ පොතපත කියවීම, සාහිත්‍යාංග පරිශීලනය පුද්ගල පෞරුෂත්වයේ සෑම අදියරයකදී ම අනිවාර්ය ක්‍රියාවලියක් වන බවයි. එසේම මෙමඟින් පුද්ගල චින්තනය අවදි කරමින් සංජානන ක්‍රියාවලීන් වර්ධනය කිරීම පමණක් නොව චිත්තවේගීය වශයෙන් වර්ධනයක් ද පුද්ගලයා තුළ ඇති කිරීමට සමත් වනු ඇත. එහිදී ආදරය කිරීමට, සමාව දීමට, සංවේදනය කිරීමට, ක්‍රියාවන් ඇඟයීමට සහ විශ්ලේෂණයට ද පුද්ගලයාට හැකිවනු ඇත. මෙසේ පුද්ගලයාට තම ජීවිතය කියවා ගැනීමට පොතපත මඟින් මෙන්ම සාහිත්‍යාංග මඟින් ලැබෙන්නා වූ පිටිවහල අතිමහත් ය. 

නමුත් වර්තමානය වන විට පොතපත කියවීම, සාහිත්‍යාංග රසවිඳීම මිනිසා තුළින් ගිලිහී යමින් පවතින නිසාවෙන් සාහිත්‍යය ද මිනිසා තුළින් ගිලිහී යමින් පවතී. සමාජය නිරන්තරයෙන්ම නවීකරණයට භාජනය වීමත් සමඟ සාහිත්‍යාංගය ද වැඩි දියුණු වී, පරිණාමයට පත් වී, වර්තමානයේ පවතින තත්ත්වයට අද වන විට පත්ව ඇත. මෙහිදී මුල් යුගයට වඩා මෑතකාලීන ව දක්නට ලැබෙන වෙනස වන්නේ ද්වි භාෂා උගතුන් බටහිර සාහිත්‍යය ඇසුරු කිරීම යි. එයින් ලබා ගන්නා ලද ආභාසය මත ලෝකය හා මුසු වීමත් සමඟ එම ගණුදෙනුව තරමක් දුරට සංකීර්ණ වී අද වන විට එය සාහිත්‍යාංගවලට ද එකතු කරගෙන ඇත. මේ තත්ත්වය මත දියුණු යැයි පැවසිය හැකි සාහිත්‍යාංගවලට සමීප වන්නට වත්මන් ග්‍රාහකයාට නොහැකි වී ඇත. එමෙන් ම ලෝකයේ බිහි වන නව නිර්මාණයන් සමාජගත නොවීම සහ ඒ සඳහා සමාජය තුළ පවතින්නා වූ උනන්දුව ප්‍රමාණවත් නොවීම ද වක්‍රාකාරයෙන් මේ සඳහා හේතු වී ඇත. නමුත් සාහිත්‍යය පරිශීලනය කිරීමේ හුරුව ඇතිවිය යුත්තේ කෙනෙකුගේ කුඩා අවධියේ සිටම ය. එහෙත් වත්මන තුළ එය ලැබේද යන්න පිළිබඳ ව ඇත්තේ ගැටලුවකි. 

තාක්ෂණීකරණය වූ ලෝකය තුළ දැනුමෙන් පෝෂණය වීමට අවශ්‍ය නම් පොතපත ඇසුරු කරමින්, සාහිත්‍යාංග පරිශීලනය කරමින් තම දැනුමට නව පණක් එකතු කළ යුතුම ය. මෙසේ අති දැවැන්ත වශයෙන් දියුණුව කරා ළඟා වන ලෝකය තුළ මිනිසා පොතපත ඇසුරු කිරීම ද, සාහිත්‍යාංග පරිශීලනය කිරීම ද ඒ ආකාරයෙන් ම පවත්වාගෙන ගියහොත් තමාට සාර්ථක, යහපත් ජීවිතයක් උරුම කර ගැනීමට හැකිවනු ඇත. ඒ තුළින් ජීවිතය කියවා ගැනීමට පුද්ගලයාට හැකිවනු ඇත.

එසේම සාහිත්‍ය මාසය තුළ පොත් අස්සෙහි මෙන්ම සාහිත්‍යාංග තුළ පවතින මනුෂ්‍යත්වය ද අති විශාල ය. ඒවා එකිනෙකාට දැනෙන හා එකිනෙකාගේ ගුණයන් මත හැඩගැන්වීම සිදුවේ. මේ අයුරින් සාහිත්‍ය මාසය යන්න සාහිත්‍යයේ සියලු අංශයන් නියෝජනය වන මාසයක් වන්නේ නම්, සාහිත්‍ය මාසය හුදු මාසයක් ම පමණක් වුවත්, ඒ තුළින් ශ්‍රී ලංකාව මත ගොඩනැඟෙන සමාජ ප්‍රගමනය, දැනුමෙන් පෝෂණය වූ මානව සංහතියක් නිර්මාණය වීමට ඉවහල් වනු ඇත. එවිට එය මිනිසාගේ ජීවිතය කියවන වර්ෂයේ එක් අර්ථවත් මාසයක් ම වනු ඇත.

#BBD0E0 »

Top