වර්තමාන සමාජ සංකීර්ණත්වයත් සමඟම අද වන විට සෑම පුද්ගලයෙකු පාහේම ඉතාමත් ආවේගශීලීය. ඇතැම්විට හය හතර නොදන්නා දරුවා පවාද ඉතාමත් ආවේගශීලී වී ඇත. අවවාද ඔවුන් රුස්සන්නේම නැති තරම් ය. කවරෙකු හෝ සිදුකරන පුංචි අවවාදයකින් පවා දරුවන් සියදිවි නසා ගන්නා තත්ත්වයට පත්වීමේ අවදානමක් දක්වා අද සමාජය වර්ධනය වී ඇත්තේ ද ඒ නිසාවෙන්ම ය. එහෙයින් කිසියම් වූ දඬුවමක් ලබාදීමට පෙර එය විමර්ශනයට ලක්කිරීම ද, දඬුවමකින් අනතුරුව ඔවුන් පිළිබඳව අවධානයෙන් සිටීම ඉතාමත්ම වැදගත් වේ.
දරුවන්ට දඬුවම් කිරීම සමාජයෙහි කොයි කවුරුත් සිදුකරනු ලබන්නකි. එසේ දරුවන්ට දඬුවම් නොකළ යුතු යැයි කිසිවෙකුටත් කිව නොහැකිය. දරුවන් හික්මවා ගැනීමට නම් දඬුවම් සිදුකිරීම අවශ්‍යය. නමුත් දඬුවම යනු, වෛරයෙන් හෝ ද්වේෂයෙන් සිදුකරනු ලබන්නක් නොව හදාවඩා ගෙන යහමඟ යැවීම සඳහා සද්භාවයෙන් ම සිදුකරනු ලබන කටයුත්තක්ම පමණක් වන බව තේරුම් ගැනීම ඉතාමත් වැදගත් වේ. මෙහිදී වැදගත් වනුයේ දෙමව්පියන් වශයෙන් හෝ, ගුරුවරුන් වශයෙන් හෝ ඔවුන් විසින් දරුවා වෙත දඬුවම ක්‍රියාත්මක කරනු ලබන ආකාරය යි. එයින් අදහස් වනුයේ දඬුවම වුවත් හිංසාවක් ලෙස නොව ධනාත්මකව සිදුකිරීම වැදගත් වන බවයි. හැඳි නොගා සාදනු ලබන හොද්දයි, ගුටි නොගහා සාදනු ලබන දරුවයි දෙදෙනාම එතරම් ගුණාත්මක නොවන බව ජනවහරේ පැවසුවද පමණට වඩා හොද්ද හැඳි ගෑ විට එය නරක් වන බවත් දෙමව්පියන් මෙන්ම ගුරුවරුන් ද අමතක කළ යුතු නොවේ. මෙය දරුවන්ට අදාළ වන්නේ ද එසේමය.
දරුවෙකුට දඬුවම් ලබාදිය යුත්තේ එම දරුවා යහමඟ යැවීමට ය. නමුත් බොහෝ දෙමව්පියන් දරුවන්ට දඬුවම් කරනුයේ තම ආවේගයන් පිටකර ගැනීමේ මාර්ගයක් ලෙසය. ඇතැම්විට සැමියා සහ බිරිඳ අතර ඇතිවන ඇතැම් නොහොඳ නෝක්කාඩුවලදී අතරමැදියා වන්නේ ද දරුවාය. ඇතැම් ගුරුවරුන් ද දරුවන්ට දඬුවම් කිරීම තුළ දරුවන්ගේ කිසිඳු වරදක් නොමැතිව ඔවුන්ට දඩුවම් කරනු ලබයි. නමුත් දඩුවම් කිරීමේදී වරදෙහි ස්වභාවයට අනුව දරුවන්ට දඩුවම් කිරීමට වගබලා ගත යුතුය. ඇතැම් අවස්ථාවන්වලදී ඉතාම සුළු වරදකට පවා දරුණු අන්දමින් දඩුවම් ලබාදෙන අවස්ථාවන් අද සමාජයේ නැතුවාම නොවේ. ඇතැමුන් දඬුවම ලබාදී අවසානයේදී එය අවසන් කරන්නේ ද නැත. එහිදී කායික ලෙසින් දඬුවම් කොට නැවත නැවතත් දොස් නගමින් දරුවා දැඩි සේ හෙළා දැකීම ද සිදුකරනු ලබයි. නමුත් විය යුත්තේ එය නොවේ. කිසියම් වූ වරදකට දඬුවමක් ලබාදුන් පසුව විටින් විට දරුවාට පීඩාකාරී ලෙස නොහැසිරෙමින් එම අවස්ථාවට නැවතීමේ තිතක් තැබීමයි. එමෙන්ම නිතරම දඬුවම් ලබාදීමත් සිදුනොකළ යුතුය. අතීතයේදී දෙමව්පියන් පවසන පරිදි කෝටුවට තිබෙන බිය පවත්වා ගත යුතුය. ඇතැම් දරුවන් දඬුවමෙන් යහමඟට පමුණුවා ගැනීමට හැකි වුවත් තවත් පිරිසක් දඬුවමට වඩා ආදරයෙන් කරුණු වටහා දී යහමඟට පමුණුවා ගත හැකිය. එය එකිනෙකා සතුව පවත්නා චරිත ස්වභාවය අනුව වෙනස්වීම සිදුවේ. මේ නිසා මුලින්ම දරුවාගේ චරිතය තේරුම් ගත යුතුය. ඉන් පසුව දරුවාට යහමඟ කියාදීමට ගැළපෙන භාෂාව තෝරාගත යුතුය. එමඟින් දඬුවම හෝ වෙනත් අන්දමින් යහමඟ කියාදී දරුවාව සුමඟට ගැනීම අසීරු කටයුත්තක් නොවනු ඇත.
මේ කවර ආකාරයකට දරුවාට දඬුවම ලබාදුන්නද එම දඬුවම සෑමවිටම විමර්ශනයට දෙවැනි විය යුතුමය. සිදුවූ වරද කුමක්දැයි යන්න හරියාකාරව විමර්ශනයකට ලක්නොකොට කිසිවිටෙකත් දරුවෙකුගේ බාහිරින් දකිනු ලබන වරදකට පමණක් දඬුවම් ලබාදීමට කටයුතු නොකළ යුතුය. මන්ද ඔබ, එම දරුවාගේ බාහිරින් දකිනු ලබන වරද පිටුපස එම දරුවාට කිසිවෙකුටත් කිවනොහැකි, අප නොසිතන තරම් වූ දුක්ඛිත කතාවක් ඒ තුළ තිබෙන්නට පුළුවනි. එසේ ඔබ දඬුවමට පෙර විමර්ශනයක් සිදු නොකළහොත් ඇතැම්විට ඔබට පසුව එයින් පසුතැවීමට ද සිදුවනු ඇත. මෑත කාලයේදී සමාජ මාධ්‍ය හරහා සහ ශදමඑමඉැ හරහා, කිසිවක් කරගත නොහැකිව එක්තැන් වූ තම පියාට සැලකීමෙන් අනතුරුව, පාසැලට දිනපතාම ප්‍රමාද වී පැමිණෙන, එසේ ප්‍රමාද වී පැමිණීම නිසා දිනපතාම පාසැලේ ගුරුවරයාගේ දඬුවමට ලක්වන විදේශීය කුඩා දරුවෙකු පිළිබඳ වීඩියෝ පටයක් සංසරණය විය. ගුරුවරයා දිනපතාම එම දරුවාට දඬුවම් කිරීම සිදුකරන ලද්දේ පාසලට දිනපතාම ප්‍රමාද වී පැමිණීමේ වරද විමර්ශනයකට ලක් නො කොටය. දිනක් මෙම කුඩා දරුවා තම පියාව රෝද පුටුවක තබාගෙන ගමන් කරන සංවේදී දසුන ගුරුවරයාගේ නෙත ගැටීමත් සමඟ වරද විමර්ශනයට ලක්නොකොට දරුවාට දඬුවම් කිරීම සම්බන්ධයෙන් ඔහුට සැමදා පසුතැවීමට සිදුවිය. මෙම වීඩියෝ පටයේ පවතින සත්‍යය, අසත්‍යතාවය කුමක් වුවත් දඬුවම සැමවිටම විමර්ශනයට දෙවැනි විය යුතු බව නම් අප කොයිකාහටත් වැටහෙන සත්‍යයකි.
එහෙයින් දරුවන් යනු ඔවුන් සියල්ලම එකම ආකාරයේ නොවේ. එකිනෙකා සිටින පරිසරය අනුව ඔවුන් එකිනෙකාගෙන් එකිනෙකාට වෙනස් වේ. එම නිසා දඬුවම සෑමවිටම විමර්ශනයට දෙවැනි විය යුතුය. ඒ නිසාවෙන්ම දඬුවම යනු ජීවිතය සමඟ කරන ගණුදෙනුවක් මිස එය කෝටු පහරක්ම නොවන බව අප තරයේම මතක තබාගත යුතු කරුණක්ම වන්නේ ය.
ජීවිතේ කවියක් - ආදරේ සොදුරුතම වදනක්
කදුලැලි බිඳක් - හසරැලි පොදක්
එකට එක්වූ විට දැනේ - පෙර නොවිඳි රසයක්......