වැරදුණු අතීතය නොව ගොඩනැගෙන අනාගතය දෙස බලන්න! (273 වන ලිපිය)

post-title

සමාජයේ ජීවත්වන මිනිසුන් විවිධාකාරයි. මිනිසුන් සිතන පතන ආකාරය, ක්‍රියාකරන ආකාරය කිසිසේත් සමාන වන්නේ නම් නැහැ. එකිනෙකාට පවතින්නේ ඒ ඒ අයට විශේෂ වූ විලාශයන්. සමාජයේ සියයට සියයක් හොඳ පුද්ගලයින්, නරක පුද්ගලයින් ලෙස විශේෂ වූ කණ්ඩායමක් නොමැති බවයි මගේ නම් අදහස. ඇත්තටම බැලුවොත් මේ ලෝකේ බහුලවම ඉන්නේ හොඳ නරක දෙකම තිබෙන මිනිස්සු. ඒ කියන්නේ අළු මිනිස්සු. 

සම්පුර්ණයෙන් සුදු යි, කළු යි කියලා වෙන් කරලා කියන්න පුළුවන් මිනිස්සු සමාජයේ නැහැ. එහෙම කියන්න පුළුවන් සියයට සියයක් සර්ව සම්පුර්ණ මිනිස්සු කොහෙද ඉන්නේ? එහෙම ජීවිත ගොඩක් අඩුයි. හැමෝගෙම ජීවිතවල එක්තරා අඳුරු පැතිකඩක් තිබෙනවා. නැතිනම් දුර්වලතාවයක් තිබෙනවා. ඇතැම් විට එය එම පුද්ගලයින් කතා කරන්නවත් අකමැති අමිහිරි දුක්ඛිත දෙයක් වෙන්න පුළුවන්. 

අපි බොහෝ විට තවත් මිනිසෙකුගේ ජීවිත කතාවෙන් දන්නේ සියයට එකක් පමණයි. ඉතුරු සියයට අනූ නවයම අප නොදන්නවා විය හැකියි. ඉතින් කොහොමද ඔබ තවත් මනුෂ්‍යයෙක් විනිශ්චය කරන්නේ? ඔහුගේ හෝ ඇයගේ සම්පුර්ණ ජීවිත කතාව නොදැන ඔබට ඔහු විනිශ්චය කිරීමට කිසිම අයිතියක් නැත්තේ ඒකයි. ඔබට කෙනෙක් දෙස පිටතින් බලා ඔහු කුමන අයෙක්දැයි තීරණයක් ගත නොහැකියි. පිටතින් පෙනෙනවාට වඩා බොහෝ වෙනස් පුද්ගලයකු ඇතුළාන්තයේ ජීවත් වෙනවා විය හැකියි.

පිටතින් බොහෝ සතුටු සැපදායී ජීවිතයක් ගත කරන පුද්ගලයකු අතීතයේ අනන්ත බිඳ වැටීම් පරාජයන් තුළින් නැඟී සිටි අයෙක් වන්නට පුළුවන්. එය ඔහුගේ වර්තමාන ජිවිතයෙන් නොපෙනෙනවා විය හැකියි. බොහෝ කැපකිරීම්, දරාගැනීම් තුළින් වෙහෙසවී ගොඩනඟා ගත් ඔහුගේ ජයග්‍රහණය ඇතැම් විට සමාජය විසින් එය පහසුවෙන් දිනාගත්තක් ලෙස විවේචනය කළ හැකියි. නින්දා කළ හැකියි. සිනහා විය හැකියි. නමුත් ඔහු පැමිණි ගමන් මඟ දන්නේ ඔහුම පමණයි. එමනිසාම ඔබ යමෙකුගේ ජයග්‍රහණයකට හෝ දුර්වලතාවයකට සිනාසෙන්නේ නම් එය සැබැවින්ම ඔබේ දුර්වලතාවයකි.

පුද්ගලයකුගේ සම්පුර්ණ ජීවිත කතාව නොදැන ඔහු විවේචනය කිරීම, ඔහුව නැවත බිඳ වැටීමකට ලක් කිරීම එම පුද්ගලයාට කරන අසාධාරණයක් බව ඔබ දන්නවද? කෙතරම් යහපත් ලෙස ජිවත් වෙන පුද්ගලයකු වුවත් ඔහුගෙන් යම් වරදක් හෝ අතපසු වීමක් සිදු වූ විට හෝ එවැනි යමක් දැනගත් විට මිනිසුන්ට එම පුදගලයා කළ කී හොඳ සියල්ල අමතක වන්නට යන්නේ සුළු වේලාවයි. 

ඇතැම් පුද්ගලයකු සමාජයට කෙතරම් හොඳ කළත් එම පුදගලයාගේ වැරදි සෙවීමට ඊට වඩා වෙහෙස වන අමුතු ජීවින් බහුලයි. තමාගේ කුණු සෝදා ගන්නවාට වඩා අනුන්ගේ කුණු සේදීමට ඇතැම් පුද්ගලයින් දරන උත්සාහය ඇත්තටම විහිළුවක්. බොහෝ විට තවත් අයෙකුගේ ඇද සෙවීමට උනන්දුවක් දක්වන්නේ තම ජීවිතවල බොහෝ අඩුපාඩු, වැරදි ඇති මිනිසුන් ය. ඔවුන් තමාගේ ජීවිතවල ඇති වැරදි, අඩුපාඩු වසාගන්නේ තවත් පුද්ගලයෙකුට අපහාස කිරීමෙනි.

කෙදිනකවත් ඔබ පුදගලයකුගේ අතීතයෙන් ඔහුගේ වර්තමානය හෝ අනාගතය මනින්න එපා!

වැරදීම්, පරාජයන්, වැටීම් විඳ නැති ජීවිතයක් තුළින් කිසිසේත් සාර්ථක මිනිසෙක් බිහි වන්නේ නැහැ. ඔබත් එය අත් විඳ ඇති. ඔබ අනන්ත අඳුරු වකවානු පසු කර ඇති. නමුත් ඔබ නොවැටී කෙසේ හෝ පෙරට වඩා ශක්තිමත්ව ජීවත්වෙනවා ඇති. අනෙක් මිනිසුන්ද එසේමයි. ඔබට කිසිලෙසකත් සිතා ගැනීමටවත් නොහැකි අඳුරු වකවානු එම ජීවිත පසුකර තිබෙන්නට පුළුවන්. ඉතාමත් අපහසුවෙන් කැපවීමෙන් බිඳෙන් බිඳ යළි ගොඩනඟාගත් එවැනි ජීවිතවල අනාගතය කෙදිනකවත් ඔවුන්ගේ අතීතයෙන් මනින්න එපා. ඔවුන්ගේ වර්තමානයට.. අනාගතයට ඉඩ දෙන්න.. ඔබ බුද්ධිමත් අයෙක් නම්, එම ජීවිතවලට ශක්තියක් වනවා මිස අතීතය මෙනෙහි කරමින් එම පුද්ගලයින් විනිශ්චය කරන්න යන්නේ නැහැ.

බොහෝවිට අද සාර්ථක වී සිටින්නේ සිය දහස් වාරයක් අතීතයේ වරද්දා ගත මිනිසුන් ය. සාර්ථක මිනිසුන් කිසිදා පරාජය නොවූ මිනිසුන් නම් නොවේ. ඔවුන් සැමවිටම තම සාර්ථකත්වය ගොඩ නඟාගෙන ඇත්තේ තමා මුහුණ දුන් අභියෝගවලින් ශක්තිමත් පදනමක් සකස් කර ගැනීම තුළින් ය. එවැනි පුද්ගලයින් වර්තමානයේ තම වැරදි අඩුපාඩු සකස් කොටගෙන ඉතාමත් යහපත් ජීවිත ගතකරනවා විය හැකියි. එමනිසාම ඔබ කිසිවිටෙකත් වැරදුණු අතීතයෙන් මිනිසුන් විනිශ්චය කරන්න එපා. අසීමිත කැපකිරීම් උත්සාහයන් තුළින් ගොඩනඟා ගත් එම ජිවිත වලට තව තවත් ශක්තියක් වන්න!

අවසාන වශයෙන් ඔබට කීමට තවත් යමක් තිබෙනවා. ඒ තමයි ලෝකය ඔබ ගැන කොතෙක් විවේචන සිදු කළත් ඔබේ ගමන යහපත් නම්, කිසිම විටෙක අන් අයගේ විවේචන හමුවේ ඔබේ ගමන නවත්තන්න එපා. සමාජය ඔබට කුමන ආකාරයකින් සැළකුවත්, ඔබ ඔවුන්ට සමාව දෙන්න. ඔබ ඉදිරියටම යන්න. හැකිතරම් හොඳම කරන්න. නමුත් සමාජයෙන් කිසිවිටෙක ඊට ප්‍රතිඋපකාර බලාපොරොත්තු වන්න එපා.

“මිනිසුන් බොහෝ විට අසාධාරණ තමන් ගැන පමණක් සිතන පිරිසකි. ඔවුන්ට සමාව දෙන්න. ඔබ කරුණාවන්ත වුවහොත් මිනිසුන් ඔබට සැඟවුණු යටි අරමුණු ඇතැයි චෝදනා කරනු ඇත. නමුත් දිගටම කරුණාවන්ත වන්න. ඔබ අවංක වුවහොත්, මිනිසුන් ඔබට වංචා කරනු ඇත. නමුත් දිගටම අවංක වන්න. ඔබ ප්‍රීතිමත්ව කාලය ගත කළහොත්, මිනිසුන් ඔබට ඊර්ෂ්‍යා කරනු ඇත. නමුත් දිගටම ප්‍රීතිමත්ව කාලය ගත කරන්න. ඔබ අද දිනයේ කරන හොඳ හෙට දිනය වන විට ඔවුන් අමතක කරනු ඇත. නමුත් දිගටම හොඳ කරන්න. ලෝකයට ඔබ සතු උපරිමය දුන්නද ඔවුනට එය ප්‍රමාණවත් නොවනු ඇත. නමුත් දිගටම ඔබ සතු උපරිමය ලෝකයට ලබා දෙන්න!”

තෙරේසා මවුතුමිය 

Top