කුප්පි ලාම්පුවක මැසිවිල්ලෙන් හෙළිවන මිනිස් දිවියේ යථාර්ථය (497)

post-title

සරල හා සුමට ලෙස බස හසුරවමින් ප්‍රබල සමාජ සංසිද්ධීන් සහ පුද්ගලානුබද්ධ අත්දැකීම් සජීවී අත්දැකීම් බවට පත්කර ගනිමින් සාර්ථක නිර්මාණ රැසක් පාඨකයන් හමුවට ගෙන ඒමෙහිලා සුනන්දා රණසිංහ කිවිඳිය දැක්වූ සමත්කම අගනේය. " බුදු නොවන බෝසත්වරු " නම් කව්‍ය නිර්මාණය හරහා කව්‍යකරණයට පිවිසි ඇය පහන් දොර, කටු යහන, ගිම්හාන සන්ද්‍යාව, ළා සඳ පාමුල, නිල් තුරු යට, තැනි බිමක සිහින ඉම ආදී කාව්‍ය නිර්මාණ රාශියක් පාඨකයා හමුවට ගෙන එනු ලැබීය. මේ ඇයගේ " ගිම්හාන සන්ද්‍යාව " කාව්‍ය සංග්‍රහයෙහි ඇතුළත් " කුප්පි ලාම්පුවක මැසිවිල්ල " නම් පද්‍ය පංතිය පිළිබඳ කරන විමසුමකි.

රෑනි හඬින් ගම නැළවෙන රෑ යාමේ අඳුරේ 

ලැබූ ශිල්ප නැණ විමසන නුඹ පසෙකට  වෙමිනේ

විසඳන නෙක ගණිත ගැටලුවලට එළිය දෙමිනේ 

මතකද මන්දා නුඹ ළඟ මා උන් ඒ දවසේ 

කවි පෙළ ආරම්භ වන්නේ මේ කවියෙනි. පද්‍ය පංතිය ආරම්භයේදීම මැසිවිල්ලක ඇති ශෝකාකූල රිද්මය පාඨක හදවත්වලට දැනෙන්නට ඉඩ හරී. මෙහි එන දරුවා රෑ යාමයේදීත් කුප්පි ලාම්පු එළියේ පිහිටෙන් තම ඉගෙනීම් කටයුතුවල නිරත වේ.

මගේ සහන් එළිය වැටී අවිඳු අඳුර නැසී

විදු නැණ සිප් කිරි ඉතිරී දිවි මග ඔප වැටී

සරසවියේ සෙවන ලැබී නුඹ ගිය බව ඇසී

මගේ පහන් සිල නැටුවා සතුටු සුළඟ වැදී

මෙහි එන දරුවා පොත පත කියවා නැණ නුවණ ලබා සරසවියට යන තෙක්ම එළිය ලබා දුන්නේ කුප්පි ලාම්පුවයි. දිනෙන් දින නැණ නුවණ වඩවා ගන්නා දරුවා දෙස කුප්පි ලාම්පුව මහත් ප්‍රීතියෙන් බලා සිටියි. " මගේ පහන් සිල නැටුවා " යැයි කීමෙන් ඒ සතුටේ මිහිරියාව පාඨකයාගේ හදවතටද සමීප වේ. ඒ වගේම දරුවා වෙනුවෙන් තමා කළ මෙහෙය පිළිබඳ කුප්පි ලාම්පුවට ඇත්තේ මහත් අභිමානයකි. එහෙත් ඒ අභිමානය සෑම කල්හිම රඳවා තබා ගැනීමට නොහැකි වූවා සේය. කුප්පි ලාම්පුවේ මැසිවිල්ල එයයි.

සිප් සයුරේ සැඩ සුළගේ නුඹ ආ මේ මගේ

උන් මා ගණඳුර බිඳ හැර තුන්යම නුඹ වෙතේ

පන්නා දැමුවද කළගුණ අමතක වූ ලෙසේ

ගෙන්නා ගත්තේ ඇයි යළි කියන්න  මහතුනේ

 

අධ්‍යාපනය ලැබීම කෙතරම් දුෂ්කර කර්තව්‍යයක් ද යන්න " සිප් සයුරේ සැඩ සුළගේ " යන යෙදුමෙන් අර්ථවත් වේ. එවන් දුෂ්කර, අවදානම් සහිත ගමනේ දී පිහිටට සිටියේ කුප්පි ලාම්පුවයි. එහෙත් සිප් සතර දිනා නව මන්දිරයක වාසයට ගිය පසු දරුවාට දුෂ්කර ගමනේදී පිහිටට සිටි කුප්පි ලාම්පුව අමතකව යයි. මෙහිදී මිනිසාගේ කුහක බව මෙන්ම කළගුණ සැළකීමේ ගුණය සැණින් අමතකව යන අයුරු හැඟවීමට කිවිඳිය සමත් වේ. මිනිසා තරම් මුල අමතක කර දමන සත්ත්වයෙකු මිහිපිට තවත් නැති බව කිවහොත් සියල්ලන්ම එයට එකඟ වනු ඇත. මිනිසුන් සෑම කල්හිම එක හා සමාන ආකාරයෙන් සිටින්නේ නැත. එලෙස සිටීමට ද නොහැකිය. කලෙක අන්ත දුගියෙකුව සිටි අයෙක් තවත් කලෙක ධනවතෙකු විය හැකිය. එය පුද්ගලයාගේ හැකියාව, උත්සාහය මත තීරණය වන බව වෙසෙසින්ම කිව හැකිය. ඇතැම්විට තමා අමතක කොට දැමූ අතීත සබඳතාවයන් කවදා හෝ නැවතත් වුවමනා විය හැකිය. කිවිඳිය ඒ බව ඉතා සරලව කවියෙන් ඒත්තු ගන්වයි. කළගුණ අමතකව කුප්පි ලාම්පුව ඉවතට විසි කළද නව මන්දිරයේ විදුලිය නොමැති වූ දිනක පෙර සේම කුප්පි ලාම්පු එළිය ලබා ගැනීමට සිදු වේ. 

නිවුණු විදුලි පහන් කිරා වැටෙන තත්පරේ

කණා මැදිරි එළියකි මා ඔබේ මන්දිරේ

ධවල පැහැති බිතු මත කළු දුම්වලා නැගේ 

මගේ සුසුම් සුවඳ ගෙනේ හෙට අරුණෝදේ

එදා අවිදු අඳුර දුරලන්නට සහන් එළියක් දුන් කුප්පි ලාම්පු එළිය අද ඒ විශාල මන්දිරයට කණාමැදිරි එළියකි. විදුලි පහන් එළිය බිඳී ගියදා කණාමැදිරි එළිය මන්දිරයේ සුදු පැහැ බිත්ති මත කළු පැහැ දුම් විසුරුවයි. ඒ නිකන්ම විසුරුණු දුම් නොවේ. ඒ කුප්පි ලාම්පුව හෙළන සුසුම්ය. 

හෙට මහ වැසි වැටී විදුලි එළි දිලෙනා පැයේ

අල්ලා මා බොටුවෙන් අගුවට ලන මිනිසුනේ

ඒ ගිරි දුදුලේ වන වදුලේ මං එදවසේ

පෑ සෙනෙහස දුන් මදහස ඇයි අමතක වුණේ 


කුප්පි ලාම්පුව සුසුම් හෙළීමට හේතුව එයයි. එහි මැසිවිල්ල එයයි. මෙය කිවිඳිය සමස්ත මිනිස් ප්‍රජාවටම කරන ආමන්ත්‍රණයකි. කුප්පි ලාම්පුවේ එළිය ලබා ඒ පිහිටෙන් නැඟී සිටින මිනිසා ඉන්පසු ඒ එළිය අමතක කර දමයි. එය මිනිස් ජීවිතයේ යථාර්ථයයි. බොහෝ මිනිසුන් දුෂ්කර කාලවලදී තමන්ට මග කියා දෙන, ශක්තියක් වන, පිහිටවන මිනිසුන්ව සැඩ සුළඟ තුරල් වූ පසුව එනම් දුෂ්කර කාල අවසන් වූ පසුව අමතක කර දමයි. කිවිඳිය හඬ නඟා ප්‍රශ්න කරනුයේ ඒ සමාජ යථාර්ථයයි. එය සමස්ත මිනිස් ප්‍රජාවටම කරන ආමන්ත්‍රණයක් වන්නේ එහෙයිනි. මෙය මිනිසා තම හෘද සාක්ෂියට අවංකව සිතා බැලිය යුත්තකි. එසේ කළ යුත්තේ කළගුණ සැළකීම නම් උතුම් ගුණයෙන් මිනිසා පරිපූර්ණ විය යුතු නිසාය. සුනන්දා රණසිංහ කිවිඳිය මෙන් මෙලෙස සමාජ යථාර්ථය අවධි කිරීම, ප්‍රශ්න කිරීම කවියෙකුගේ, ලේඛකයෙකුගේ, කලාකරුවෙකුගේ කාර්ය භාරය වන්නා සේම එම ජීවන යථාර්ථය හදවතට එකඟව අවබෝධයෙන් තේරුම් ගැනීම පාඨකයන් වන අපට භාරය.

Top