නව මාධ්‍ය භාවිතය හා ළමා පෞරුෂය (474)

post-title

දරුවෙකු ඉපදුණු දා පටන් අවුරුදු තුනක් සම්පූර්ණ වනවිට මොළය වර්ධනයෙන් 80%ක් පමණ වර්ධනය වේ. ඒ අනුව දරුවාගේ බුද්ධිය වර්ධනය වීමේදී කතාවට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එමෙන්ම දරුවෙකුගේ සමස්ත පෞරුෂ වර්ධනයම සිදුවනුයේ භාෂාව කේන්ද්‍ර කරගෙනය. එබැවින් දරුවා යම්තම් බහ තෝරන අවධිය වන විට ඔවුන්ට කතා කිරීමට , ඇහුන්කන් දීමට අවස්තාව ලබාදීම ඉතාමත් වැදගත් ය. අතීතයේ දරුවන් බහ තෝරන අවධියේ දෙමාපියන් දරුවන් සමීප කොටගෙන කතාන්දර කියාදීම, කැසට්පට ආශ්‍රයෙන් ළමාගීත වලට සවන්දීමට ඉඩ සලසා දීම සිදු කරනු දක්නට ලැබිණි . නමුත් අද වන විට කාර්‍ය බහුල සමාජය තුළ දෙමාපිය දූ දරු සබදතාව බිද වැටී ඇත්තේ දරුවන් බහ තෝරන වියේ පටන්ම ය. ඇතැම් දෙමාපියන් දරුවන් නළවා ගැනීමටත් , තමන්ට අවශ්‍ය විවේකය ලබා ගැනීමටත් පමණ ඉක්මවා විද්‍යුත් හා නව මාධ්‍ය සමග දරුවන්ට රැදෙන්නට අවස්තාව ලබා දී ඇත. මේ හේතුවෙන් දරුවන්ට ඇති වන අහිතකර ප්‍රතිඵල රාශියකි. 

දරුවන්ට අධික ලෙස ඩිජිටල් උපකරණ හා සෙල්ලම් බඩු සුලබ වීමත් අනිසි ලෙස දරුවන්ට ඒවායෙහි රැදී සිටීමට ඉඩ ලබාදීමත් නිසාවෙන් දරුවන්ගේ මොළය අවිධික ලෙස වර්ධනය වේ. මෙලෙස මොළය අවිධික ලෙස වර්ධනය වන ප්‍රධාන ක්‍රම තුනක් දැක ගත හැකිය. ඉන් පළමු වැන්න වන්නේ අසමසම ලෙස හා අධික ලෙස මොළයේ ඇතැම් ක්‍රියාකාරී ඛණ්ඩාංකවලින් නියුරෝන අග්‍ර බහුල ලෙස හා අවධිතර ලෙස සම්බන්ධ වීම . දෙවැන්න මොළයේ ඇතැම් ඛණ්ඩාංකවල ප්‍රතිග්‍රාහක හා ඒ මත ක්‍රියාකරන ස්නායු රසායන සම්ප්‍රේෂක අණු අක්‍රමික හා අවධිතාව අඩු වැඩි වීම . තෙවැන්න යම් ක්‍රියාකාරකමක් අවධානය නිෂේදනය වීම හා ක්‍රියාකාරකම් අධික වීම. මීට අමතරව දරුවන්ගේ රුධිර සංසරණයේ අන්ත්‍රාවට මුහුණදීමට හේතුකාරක වන පෝටිසොල් හා ඇඩ්‍රිනලින් හෝමෝන සාන්ද්‍රනය වැඩිවීමද දක්නට ලැබේ. එසේම නව මාධ්‍ය භාවිතයත් සමග දරුවන් ගොදුරු වන තවත් ව්‍යාධියක් දක්නට ලැබේ. ADHD නමින් හදුන්වන මෙහි සිංහල නාමය වනුයේ අවධාන ඌණතා අධික්‍රීය ව්‍යාධියයි. මෙහි වර්ග තුනක් දක්නට ඇත. ඉන් එකක් වනුයේ අවධාන ඌණතාව, අනෙක අධි ක්‍රියාකාරීත්වය තෙවැන්න අවේගශීලීත්වය. මෙම වර්ග තුනම ඇතැම් දරුවන් තුළ එකවර දක්නට ලැබීම නිසා මෙයට ADHD යන නම ලබා දී ඇත. 

සත්‍ය වශයෙන්ම වර්තමානයේ දරුවන් වයසට වඩා අධි ක්‍රියාකාරිත්වයන් පෙන්වීම සුලබ කාරණයක් බවට පත්ව ඇත. එයට හේතුව වී ඇත්තේ දරුවන්ට ඩිජිටල් මාධ්‍ය වැඩි වශයෙන් ඉඩ සලසා දී තිබීමයි . 11 ,12 ශ්‍රේණි වල දරුවන්වත් නොකරන ඇතැම් දෑ 2, 3 වසර ඇතැම් දරුවන් කරන තත්වයට පත්ව ඇත්තේ ඔවුන්ගේ මොළය සහ මනස අධි ක්‍රියාකාරීවීමේ ප්‍රතිඵලයක් වශයෙනි. එසේම අද දරුවන් බොහෝ විට ආවේගශීලී ගති ලක්ෂණ පෙන්වයි. එයට හේතුව වී ඇත්තේ බහුතරයක් දරුවන් වීඩියෝ ගේම් වලට හුරුවීමයි. එම ගේම් වල බහුල අඩංගු වන්නේ වෙඩි තියන ගහන දර්ශනය. එබැවින් ඒවා නිරන්තර පරිශීලනයේ දරුවාගේ මනසද එලෙස හැඩගැසීමේ හැකියාව වැඩිය. එසේම දරුවන්ට කුඩා කාලයේ බත් කවාගනු පිණිස ජංගම දුරකථනයෙන් යූ ටියුබ් වැනි සමාජජාල හරහා විවිධ වීඩියෝපට , කාටුන්, ක්‍රියාදාම චිත්‍රපට බැලීමට අවකාශය ලබා දේ. එවායෙහි ප්‍රතිඵල ලෙස දරුවාගේ මනස අධි ක්‍රියාකාරී වීම හේතුවෙන් ආවේගශීලීව හැසීරීමට මග පාදනු ලබයි. එය නිරායාසික ක්‍රියාවලියකි. 

මොළයේ කෘත්‍යාංගිකපථ කිහිපයක් පවතී.පෙර පූර්ව මස්තිෂ්ක ඛණ්ඩාංකයේ විධායක මධ්‍යස්ථානය මූලිකව පූර්ව ඛණ්ඩාංකය හරහා ක්‍රියාත්මක වන අන්තඃපුද්ගල කෘත්‍යාංගිකපථය දරුවන් තුළ සැළසුම් ඇතිකිරීමට ක්‍රියාත්මක වන්නකි. එබැවින් දරුවන් නිතර ඩිජිටල් වර්ණ හා ශබ්ද මගින් ආක්‍රමණය වුවහොත් මෙම පථය ගැටලු සහගතවීම වලකාලිය නොහැකි වේ. එසේම අන්තර් පුද්ගල කෘත්‍යාංගිකපථය නිර්මාණය වන්නේ දරුවන් අන් අය සමග ප්‍රිය සම්භාෂණයේ යෙදීමෙනි. නමුත් එවැනි ප්‍රිය සම්භාෂණයේ නොයෙදී ඩිජිටල් ආදානය තුළ සිරගත වන්නේ නම් දරුවන්ගේ මොළයේ මෙම පථයද අකර්මණ්‍ය වේ. ජීවිතයේ දෛනික කාලසටහනට අනුව ජීවත්වීමට දරුවා හුරු කරවන්නේ තාර්කික ගණිතමය පථය වේ. නමුත් ඩිජිටල්කරණය තුළ දරුවා නිරන්තර නිරතවීමෙන් දරුවාගේ තාර්කිකමය බුද්ධිමය හැකියාව හීන වී යයි. භාෂා හැදෑරීම, මතක තබා ගැනීම , ලිවීම යනාදිය මොළයේ මැද කොටස හරහා දිවයන භාෂාමය පථය හරහා සිදුවේ. නමුත් නව මාධ්‍ය පරිහරණය හුරු වූ දරුවන් තුළ මෙම භාෂාමය පරිවර්තනමය හැකියාව හීන වී යන අතරම මතකමය හැකියාව ද ගිලිහී යයි. ඩිජිටල් ආදානය තුළ හිර වූ දරුවන්ගේ රිද්මාවේගීපථය අති උත්තේජනය වූ විට ආවේගශීලී අධි ගාමකත්වයක් දරුවන් තුළින් පෙන්නුම් කරනු ලබයි. උදාහරණයක් ලෙස කාටූන් අනුගමනය කරන දරුවන් ටික කාලයකදී යන්ත්‍රානුසාරී පාලන බලයක් ලෙස ක්‍රියාත්මක වන අයුරු දක්නට ලැබේ. දෘෂ්ටික හා නාථ පථය, මෙහිදී නාථ යනු අවකාශය පිළිබඳ වූ හැගීමයි. ගෘහ නිර්මාණ සැලසුමේ දී මෙම පථය ප්‍රබල වූ අය දස්කම් දක්වන අතර ඩිජිටල් ක්‍රීඩා , කාටූන් වර්ණ, ශබ්ද සංයෝජනය අධි තීව්‍ර වීම හේතුවෙන් මෙම පථය අධිවේගී වී දරුවන් තමන්ට ළගා කර ගැනීමට නොහැකි අත්භූත මනෝලෝක වලට පිවිසීමට ඇති ඉඩකඩ වැඩිය. 

ඒ අනුව බලන කල නව මාධ්‍ය භාවිතය තුළ දරුවන්ගේ පෞරුෂය වර්ධනය වෙනු දක්නට ලැබෙන්නේ විකෘති ආකාරයට ය. එබැවින් ඔබේ දරුවාට යහපත් පෞරුෂ වර්ධනයක් ළගා කරදීමට අවශ්‍ය නම් වයසට සුදුසු ක්‍රියාකාරකම්වල දරුවන් නිරත කරවීමට උනන්දු වන්න. කුඩා කාලයේදී දරුවන්ට ඇගිලි , මොළය, මනස ක්‍රියාකාරී වීමට හා සැහැල්ලු වීමට මැටි, වැලි, ක්ලේ වැනි දෑ අනන්නට දෙන්න . ජංගම දුරකථනය, වීඩියෝ ගේම්, පරිගණක දරුවාගේ අතට ලබා දීමෙන් වලකින්න . එවැනි නුසුදුසු දෑ ලබාදීමෙන් ඔබේ දරුවා විකෘති අධි ක්‍රියාකාරී දරුවෙකු බවට පත් කිරීමේ හැකියාව වැඩිවන බව සිහි තබාගන්න . ඔබේ දරුවාගේ නැතිනම් සමස්ත දරුවන්ගේ මාරයා වැඩිහිටි ඔබ බවට පත් නොවන්නට වග බලා ගන්න. 

Top