කාලසරන්නී - 04 කොටස

post-title

මායා කෙමෙන් කෙමෙන් පියවි සිහිය ලබමින් උන්නාය. දිගු අඳුරු ආගාධයක පතුළේ සිට උඩට එන්නාක් මෙන් හැඟීමක් ඇගේ මනසට දැනෙමින් තිබිණි. අඳුරු කොළ පැහැ බිත්ති සහිත තරමක් විශාල කාමරයක මැදට වන්නට තිබූ ඇඳක් මත ඇය සැතපී උන්නාය. ඝණකම් තිර රෙදි වලින් ආවරණය කර ඇති පුළුල් ජනේල සහිත ඒ කාමරයෙහි මුල්ලකට වන්නට තවත් අබලන් ගිලන් ඇඳන් කිහිපයක් ගොඩ ගසා තිබුණි.

ඇගේ ඇඳ සමීපයේ වූ කාමරයට ම තිබූ එකම මේසය මත බ්‍රැන්ඩි ඩිකැන්ටරයක් වීදුරු කිහිපයක් හා ඉතා දීප්තිමත් ආලෝකයක් නිකුත් කරන මේස ලාම්පුවක් පමණක් විය.

" she is fine sir.."

සුදු දිග කබායකින් සැරසුණු වෛද්‍යවරයා මායා පරීක්ෂා කරමින් සිට අවසන එලෙස පැවසුවේ එහි සිටි උසස් නිලධාරීන් දෙදෙනා දෙස බලමිනි. මොවුන් සියල්ලෝම සුදු ජාතිකයන් වේ. උසස් නිලධාරීන් කීවාට ඔවුන්ගෙන් එක් අයෙක් යම් හමුදාවකට අයත් නිල ඇඳුමකින් සැරසී සිටියේ ය. තේජාන්විත පෙනුමකින් යුත් ආරෝහ පරිණාහ දේහයකින් යුත් ඔහු මැදිවියේ පසුවූවෙකි. අනෙකා කලු කලිසමකින් නිල් පැහැ කමිසයකින් කලු ටයි පටියකින් හා කලු කබායකින් සැරසී දිලිසෙන මිලාදික සපත්තු පයලා සිටි අතර ඇඳුමෙන් පැලඳුමෙන් මෙන්ම හැසිරීමෙන් ද ඉතා ඉහළ වැදගත් තනතුරක් දරණ නිළධාරියෙකු බව පැහැදිලිවම පෙණුනි.

 

වෛද්‍යවරයා කාමරයෙන් පිට වූයේ නැවතත් මායා පරීක්ෂා කිරීමෙන් අනතුරුවය..

මායා දෑස් අපහසුවෙන් මෙන් විවර කළාය. ඇගේ දෑස්වලට ඉහළින් ඉතා වේගයෙන් කැරකෙන විදුලි පංකාව දුටු ඈ නැවතත් දෙනෙත් පියාගත්තේ තමාද කැරකෙන හැඟීමක් දැනුණු හෙයිනි. පෙරකී හමුදා නිළ ඇඳුමෙන් ම සැරසුණු තවත් හමුදා භටයෙකු කාමරයට පිවිසුණේය. තම උසස් නිළධාරියාට ආචාර කළ ඔහු නැවතත් නික්ම ගියේ ඔහුගෙන් ලද යම්කිසි අණක්ද රැගෙනය.

ඊළඟ මොහොතේ එහි පිවිසුණේ තරමක් මිටි තරබාරු සිරුරක් හා තට්ට හිසක් තිබූ උපැස් යුවළක්ද පැළඳ සිටි තැනැත්තෙකි. ඔහු සුදු ජාතිකයෙකු නොවන බව පැහැදිලිව පෙණුන අතර තළෙලු සමක් තිබිණි.

" Good morning Mr.Gajanayake. Now, its time for your duty .." 

"Okay sir.." අමුත්තා පිළිතුරු දුන්නේ මඳක් සෙමිනි.

                                                                        # # #

මායා දෙනෙත් හැරියේය. කලබලෙන් මෙන් ඇඳේ හිඳගත් ඈ වටපිට බැලුවේ කිසිවක් සිතාගත නොහැකිවය ...

"ගුඩ් මෝර්නින් මායා... ඔයාට කොහොමද දැන්.."

"ගුඩ්.මෝනින් .. කවුද ඔයා ? මං මේ කොහෙද ඉන්නෙ? ..මට මොකක්ද වුණේ..? ""

මායා ප්‍රශ්න වැලක්ම එකපිට අසාගෙන ගියේ කලබලයෙනි.

" මායා ..අංක එක , ඔයා කලබල වෙන්න එපා.. සංසුන් වෙලා ඉන්න.. අංක දෙක , ඔයාට නරකක් නපුරක් කරන්න නෙමෙයි ඔයාව ගෙනාවෙ.. ඔයා ඉන්නෙ ලංකාවෙන් ගොඩක් දුරකට ඇවිත් දැන්... ඒක වුණේ ඔයා දැනුවත්ව නෙමෙයි කියල මං දන්නවා.. මේ USA.. අපි ඉන්නෙ නෙවාඩා වල මේ..."

" මේ ඇමෙරිකාව නම් ඔයා මොනවද මෙහේ කරන්නෙ.. අනික මං මේ මොකුත් දන්නෙ නෑ..කෝ මගේ යාලුවො ? මං මෙහෙම ගෙනාව බව එයාල දන්නවද..? මේක හරිම අසාධාරණයි වගේම නීති විරෝධියි ...පැහැදිලිවම මගේ අයිතිවාසිකම් කඩල දාල කරපු පැහැරගැනීමක්..? "

" මායා, ඔයා අහපු ප්‍රශ්නවලට උත්තර මං ලඟ නෑ.. අනික ඔයාව මෙහාට ගෙනාවෙ කවුද කොහොමද කියල මං කොහෙත්ම දන්නෙ නෑ...මං ඔයා ගැන දන්නෙ පැය කීපෙකට කලින් ඉඳල විතරයි .. මාත් ලංකාවෙ කෙනෙක්.. මං ගජනායක ...මගේ ෆීල්ඩ් එක Astrophysics .. මෙහෙට ඇවිත් දැන් අවුරුදු කීපයක් වෙනවා...හමුවුණ වෙලාව එච්චර හොඳ නැතත් අඳුනගන්න ලැබීම ලොකු සතුටක්.."

" මොකක්ද මෙතන වෙන්නෙ එතකොට...මොකක්ද මේ තැන..ඇයි මාව ගෙනාවෙ එතකොට..

#   #    # ...................

ලබන සතියට

Top