කර්ම 3 කොටස අඬන්නෙපා මැණික මම ඉන්නවා ඕන දේකට (533)

post-title

"මොකක්.. හූනියමක් කරලා..? එහෙම වෙන්නෙ කොහොමද..?"

අමායා කියූ කතාවෙන් මට දැනුනේ බියකි. එය සත්‍යයක් විය හැකිද.. 

" උඹලගෙ ගෙදර කොයි තරම් සතුටින් ඉන්න ගෙයක්ද.. අක්කත් බැන්දා.. අම්මා තනියම ඒ දේවල් කලේ.. උඹටත් හොඳට ඉගැන්නුවා.. මිනිස්සු ඒවට ඉරිසියයි හස්නා.."

"ඒත්.. හූනියමක් කරලා කියලම හිතන්නෙ කොහොමද බං.. අනික අපිට කවුද එහෙම කරන්න ඉන්නෙ.. අපි කාටවත් වරදක් කරන්නෙ නෑනෙ .."

"ඔයයි අම්මයි කොච්චර ආදරෙන්ද හිටියෙ.. ළඟදි ඉඳන් දෙන්නම වෙනස් වෙන්න හේතුවක් වෙන තියනවද.. ඔහොම වෙන්නෙ හූනියම් කොඩිවින වගේ දේවල් නිසා තමයි බං.."

මගේ හිත තවත් බිය ගත්තේ අමායාගෙ වචන වලටය. ජීවිතයේ වේදනාවම වැඩියෙන් විඳි මගේ අම්මාත් තාත්තා අත් ඇර දැමූ දරුවන් වූ අපිත් ජීවිතයේ ඉතිරි කාලයත් දුක් විඳිය යුතුද.. මට දැනුනේ ආත්මානුකම්පාවකි.. අමායා කියන්නේ ඇත්ත නම් එය කොයි තරම් අපරාධයක්ද.. 

" මම දැන් මොකද කරන්නෙ අමායා.. මට හිතාගන්න බෑ.."

හිර කරගෙන සිටි කඳුලු කම්මුල් දිගේ ගලා හැලුණි. මෙහෙම දේවල් වලට මුහුණ දී මට පුරුද්දක් තිබුණේ නැත. මට දැනුණේ මහත් අසරණ කමකි. 

" අනේ හස්නා.. උඹ අඬනවද.. අඬන්නෙපා මැණික මම ඉන්නවා ඕන දේකට.. අපේ ගෙදරත් ඔය වගේ ප්‍රශ්නයක් උනා.. හොඳ කෙනෙක්ට කියලා ඒක අයින් කරගත්තා.. දැන් කිසිම ප්‍රශ්නයක් නෑ..'

" එහෙම අයින් කරන්න පුලුවන්ද.. ඒත් අයින් කරන්නත් ඇත්තටම එහෙම දෙයක් තියනවද නැද්ද කියලා අපි දන්නෙ නෑ නෙ.."

" දැනගන්නෙ නැතුව අයින් කරන්න බෑ තමයි.. ඒ නිසා මුලින්ම අපි සාස්තරයක් බලමු.. ඒ දේවාලෙ හරියටම සාස්තර කියනවා.. මමයි අපේ අම්මයි ගියා.. හරියටම කිව්වා හස්නා.."

"ඒත් ඔය වගේ දේවල් කරන ගොඩක් අය කරන්නෙ අපිව රවට්ටන එක බං.."

අම්මා ජ්‍යෝතිශ්‍ය තරමක් විශ්වාස කළත් මම එයද ප්‍රතික්ෂේප කළෙමි. ඒ නිසා අමායාට එක වරම එකඟ වන්නට මට සිතුනේ නැත. 

" ගොඩක් තැන් වල නම් මිනිස්සුන්ව රවට්ටනවා තමයි බං.. අපේ ගෙදර ප්‍රශ්නෙ විසඳුවෙ මෙතනින් නිසා මට ඒ ගැන ශුවර්.. ඒකයි මම කිව්වෙ.. උඹ මගේ හොඳම යාලුවා.. උඹගෙ ප්‍රශ්නයක් කියන්නෙ මගෙත් ප්‍රශ්නයක් නෙ හස්නා.."

අමායා මගේ දෑතින් අල්ලා කීවාය. 

" කොහෙද ඔය තැන තියෙන්නෙ.. මට ඔය දේවල් ගැන කිසි තේරුමක් නෑ බං.."

" අපේ ගේ පහුකරලා ටික දුරයි.. අද හවස ඕෆ් වෙලා අපි දෙන්නා යමුද.. පන්සීයක් ද කොහෙද ගත්තෙ සාස්තර බලන්න.."

" කල්ප මොනා කියයිද දන්නෙ නෑ.. අම්මයි අක්කයි දැනගත්තොත් එයාලා පිළිගනීද කියන්න බෑ අමායා..මට බය ඒකයි.."

මම ඇයට ඇත්තම කීවෙමි. මේ ප්‍රශ්නය විසඳෙනවා නම් ඕනම දෙයක් කරන්නට මට බැරි නොවේ. ඒත් පවුලේ අනිත් අයගේ අකමැත්තෙන් එවැනි දෙයක් කරන්නට හැකි වේවිදැයි මට තිබුණේ සැකයකි. 

" හස්නා.. මේ වෙලාවෙ එයාලට කිව්වත් තේරුම් නොගන්න ඉඩ තියනවා.. මම කියන නිසා මාව විශ්වාස කරලා එන්න.. සාස්තරේ බලලා බොරු කියනවා කියලා තේරුනොත් අපි ඒක අත් අරිමු.. වෙන විදිහකින් විසඳගමු එහෙම උනොත්.. "

" කල්ප මාව එක්කන් යන්න එනවනෙ.. එතකොට මොකද කරන්නෙ.. එයා කැමති වෙන එකක් නෑ යන්න.."

" ඒක තමයි.. අපි හෙට නිවාඩුවක් දාමු.. කල්පටයි ගෙදරටයි කියමු යාලුවෙක්ගෙ ගෙදර යනවා කියලා.. පවුලෙ හැමෝම ගැන හිතලා කරන දෙයක් නිසා බොරුවක් කිව්වට අවුලක් වෙන්නෙ නෑ.. විසඳුමක් ලැබෙයි කියලා හිතුනොත් කොහොමටත් ගෙදර අයට කියන්න ඕනෙ නෙ.. ඒ නිසා හෙටට විතරක් එහෙම කරමු.."

අමායා කියන දේ ගැන තවත් හිතන්නට යමක් වූයේ නැත. බොරුවක් කියා සිතුනොත් එය අත් හැර වෙනත් යමක් කරන්නට හැකිය. ඒත් අමායාගේ නිවසේ ප්‍රශ්න විසඳුන සේ අපේ ප්‍රශ්නත් විසඳුනොත්.. ඒ ගැන සිතා මම තීරණයක් ගත්තෙමි..

Top