කර්ම - 1 කොටස : මට සැනසීමෙන් නිදාගන්න නම් මේ ගෙදර සුදු කොඩි දකින්න ඕනෙ..(491)

post-title

"මට සැනසීමෙන් නිදාගන්න නම් මේ ගෙදර සුදු කොඩි දකින්න ඕනෙ.."

රතු , නිල් , කහ, කොළ විදුලි බුබුළු නිවි නිවී පත්තු වෙන සූනියම් දෙවියන්ගේ විශාල පින්තූරය දෙස බලාගෙන මම මිමිණුවෙමි. මගේ නෙත් කෝපයෙන් වෛරයෙන් හෝ ආත්මානුකම්පාවෙන් පිරී තියෙන්නට ඇත. යමෙකුගේ මරණය පැතීමම පාපයකි. ඒත් මට ඒ සිතුවිල්ල නවතන්නට හැකි වූයේ නැත. 'මරණය' යනු ඔහුට ඉතා සුලු දඬුවමක් බව පමණක් මම දනිමි. 

"ඇයි මේ දෙවියන්ගෙ ෆොටෝ එක බිම වැටිලා කුඩු වෙලා යන්නෙ නැත්තෙ.. "

ඒ නිවසේ උඩු මහලේ තිබූ දේව පින්තූරය දෙස බලාගෙන කොපමණ වාරයක් කොපමණ දවසක් මා එසේ සිතුවාදැයි මට මතක නැත. අසාධාරණය ඉදිරියේ වසර දෙකකට වඩා නිහඬව ඔහේ බලා උන් හැම දෙවියෙක් ගැනම මට ඇත්තේ කලකිරීමකි. වරදක් නොකර වැරදිකාරයෙක් වීමේදී දැනෙණ ආත්මානුකම්පාව ඉතා තද රිදුමකි. ඒ හැඟීම කොයි තරම් දැයි දන්නේ එයට මුහුණ දුන් කෙනෙක් විතරය. 

" අපි යමු මැණික.."

ඒ මගේ පෙම්වතා, සැමියා, මිතුරා, තාත්තා යන සියලු චරිත වල හිමිකරු කල්ප නිර්වාන් ය. රිදුම් දෙන දෙපා ගැන නොතකා කැඩුණු බයික් එක තල්ලු කරගෙන බොහෝ දුර පැමිණි ඔහු දිහා බලද්දී ඇස් වලට කඳුලු පිරුණි. පිට පිට පාඩු ලබන ව්‍යාපාරයත් ගෙවීමට ඇති ණය කන්දරාවත් සිහි වී මට ඉකිගැසුනි. 

" අඬන්නෙපා.. මං ඉන්නවනෙ.."

මා ළඟට පැමිණි කල්ප මගේ හිස පපුවට තද කරගත්තේය. මැදියම් රැයට ආසන්නව තිබූ නිසා කලාතුරකින් යන වාහනයක් හැරුණු කොට පාරේ මිනිසුන් වූයේ නැත. 

" ඌ මගෙ අහිංසක පවුල කඩලා දැම්මා කල්ප.."

පාර කියාවත් නොබලා මම හැඬුවෙමි. විටෙක ඉන්ද්‍රඛීලයක් සේ නොසැලී ඉන්නා මම ඇතැම් විටෙක වෙඬරු පිඬක් සේ දිය වී යයි. දරාගැනීමේ සීමාවේ අන්තයටම ඇවිත් තිබූ මට ඇතැම් වෙලාවට මේ වෙහෙසකර ගමනට තිත තියන්නට සිතුණි. 'මගෙ මිනිය දැක්කමවත් උඹලගෙ ගල් හිත් උණු වේවිදැයි ' කෑ ගසා අහන්නට සිතුණි. 

ඒත් ඒ මුහුණේ කලකිරීමක් මම කවදාවත් දුටුවේ නැත. මොහොතකටවත් දුරස් නොකර මා පරිස්සම් කල ආදරවන්තයා ඔහු ය. ප්‍රශ්න කරදර එක පිට එද්දී මගේ හිස පපුවට තද කරගෙන 'කොහොමහරි ජීවත් වෙමු' කීවා විනා ඔහු මේ ජීවිතය ගැන කලකිරුනේ නැත. කරදරයක් වදයක් සේ නොසිතා ඕනෑම තත්ත්වයකදී මගේ ආදරණීය පෙම්වතා වීමට ඔහුට අපූරු හැකියාවක් තිබුණි. ඔහු තැවුනේ දුක් වුනේ මා සිනා නොවී සිටියොත් විතරය. 

"අපි යමු..."

මගේ කඳුලු වලින් රිදෙන්නේ ඔහුට බව දන්නා නිසා මම කඳුලු පිසදාගෙන ඉස්සර වුනෙමි. 

" අපි ආයෙ මේ පාරෙන් යන්නැතුව ඉමු.."

" ඒ ඇයි..?"

" ඔයාගෙ හිත රිදෙනවා හස්නා..."

" මගෙ හිතේ තව මොනවා රිදෙන්නද කල්ප.."

හිතේ තෙරපෙන සියලු දුක්ඛ දෝමනස්සයන් සුසුමකට පෙරලා මම සැහැල්ලු වුනෙමි. හැමදාම වගේ අදත් මම හිත හදාගත්තේ මොන දේ නැති වුනත් ආදරණීය සංවේදී සුන්දර පිරිමියෙකුගේ හිමිකම ලැබුණු බව මතක් කරගෙනය. ඒ ආදරය හමුවේ ජීවිතය අත් හැරීමේ සිතුවිල්ලෙන් මිදීම මට පහසුය. මහ රැයේ කැඩුනු බයික් එකක් තල්ලු කරගෙන විටෙක එකිනෙකාට පෙනෙන්නට සිනාසෙමින් විටෙක එකිනෙකාට නොපෙනෙන්නට සුසුම්ලමින් ගමන් කරන යුවළක් ගැන සැලකිලිමත් වෙන්නට කිසිවෙක් උනන්දු වූයේ නැත. 

අපිට උරුම වූ අසාධාරණ ඉරණමට වගකිව යුත්තෙක් අදටත් සොයන්නට නැත. ඒත් එක දෙයක් දනිමි. වගකිව යුතු සියල්ලෝම මේ වනවිට රාත්‍රී ආහාරයත් ගෙන සුව සේ සැතපී ඉන්නවාට සැක නැත. මේ චාරිකාවෙන් වෙහෙස වී සිටියේ අපි විතරය. ඒ කටුක සත්‍ය හමුවේ මට දෙවියන් බුදුන් අත් හැරුණි.

වසර තුනකට පෙර

"හස්නා.. මොකෝ බර කල්පනාවක.. "

අතිශය නිහඬ පුස්තකාලයේ අමායාගේ හඬට මම කල්පාවෙන් මිදුනෙමි. 

" මුකුත් නෑ අමායා.."

මුකුත් නෑ කීවත් හිතේ තියන සියලු දේවල් කවුරුන් හෝ සමග බෙදා ගැනීමට මට වුවමනා විය. ඒත් එක්වර ඒ දේවල් අමායාට කියන්නට හිත දුන්නේ නැත. 

පුස්තකාලයක රැකියාව කිරීම පාසැල් සමයේ සිටම මගේ ආශාව විය. විශ්වවිද්‍යාල වරම් ලබාගෙන වෛද්‍යවරුන් ඉන්ජිනේරුවන් වෙන්නට සිහින දුටු ළමයින් අතරේ මගේ සිහින රැකියාව වූයේ මෙයයි. පැය ගණනක් පොත් සමග රැඳීමට හැකිවීමත් පුස්තකාලයේ ඇති නිහඬබවත් මම ඉතා ප්‍රිය කලෙමි. 

අම්මා ප්‍රධානියා වූ මගේ පවුලේ මාද ඇතුලුව දරුවන් තිදෙනෙකි. මට වඩා වසර තුනකින් වැඩිමහල් වූ අක්කා විවාහ වී සිටියාය. සාමාන්‍ය පෙළ පන්තියේ සිටි මල්ලී මට වසර පහකින් බාලය. ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය තනි කාන්තාවක ලෙස අම්මා වසර ගණනාවක මහන්සියෙන් සාර්ථකත්වයට පැමිණ සිටියාය. පුංචි සිල්ලර කඩයකින් පටන් ගත් ව්‍යාපාරය අද වන විට සුපිරි වෙළඳසැලක් දක්වා දියුණු කරගැනීමට අම්මා සමත් විය. එය බොහෝ දෙනෙකුගේ ඊර්ෂ්‍යාවට හේතු වුණත් ඒ ඇසුරින් ඇති වූ ප්‍රශ්න ගැටලු අම්මා සම සිතින් දරාගත්තා මට මතකය. 

මල්ලීට වයස අවුරුදු පහේදී තාත්තා අප අත් හැර ගියේය. වසර දහයකට වැඩියෙන් පවුල් කෑ බිරිඳ දරුවන් තිදෙනෙක් සමග තනි කරන්නට තරම් හිතක් ඔහුට පහළ වූයේ කොහොමදැයි මම නිතර සිතුවෙමි. අම්මාගේ නොගැලපීමක් හෝ වරදක් දකින්නට ඔහුට මේ තරම් කල් ගත වූ හැටි.. යමක් තේරෙන වයසේදී සිදු වූ තාත්තාගේ හැර යාම නිසා විවාහය යන විෂය ගැන මා තුල වූයේ බියකුත් සැකයකුත් ය. 

දරුවන් තිදෙනෙක් සමග තනිවූ බවත් තම නීත්‍යානුකූල ස්වාමිපුරුෂයා වෙනත් කාන්තාවකගේ පහස සොයා ගිය බවත් මුලින්ම දැනගත් දවසේ අම්මා පොළවේ හැපෙමින් හැඬූ බව යාන්තමට මට මතකය. ඒ කාරණා දෙකෙන් වඩාත් වේදනාත්මකම දේ කුමක් දැයි මා දන්නේ නැත.. ඇතැම් විට අහිමි වීමත් තනි වීමත් යන දෙකම එක හා සමාන වේදනාවන් විය හැකිය. ඒත් ඒ තනිකමට ඇය අභියෝග කළේ දරුවන්ගේ අනාගතය දීප්තිමත් කළ යුතුය යන සිතුවිල්ලේ පිහිටාය. අප තිදෙනා දෙස බලා ඇය ජීවිතය සමග හැපෙන්නට දිරි ගත්තාය. 

විවාහක කාන්තාවක් ලෙස ලැබිය හැකි දරුණුම දඬුවම ඇය වින්දත් මවක් ලෙස ඇය තෘප්තිමත් කාන්තාවක් වූවාය. ඒ බව මම හොඳින්ම දුටුවේ අක්කාගේ විවාහය දවසේ ය. අනේකවිධ දුක් ගැහැට මැද්දේ ඇති දැඩි කළ වැඩිමහල් දියණිය වැදගත් ලෙස විවාහ කර දීමට ලැබීමේ සතුට සැනසුම මම එදා අම්මාගෙ මුහුණින් දුටුවෙමි. 

අක්කා විවාහ වී ගිය පසු අම්මා දවසින් වැඩි වෙලාවක් ගත කලේ මා සමගය. 'දෝණිත් දවසක යනවනෙ' කියමින් ඇය වෙනදාට වඩා මා ගැන සොයා බලමින් මා අසලම රැඳුනාය. ඒත් මෑතක සිට මට අම්මාවත් අම්මාට මාවත් රුස්සන්නේ නැත. ඉතා සුළු දේවල් වලටත් දෙදෙනාටම අසාමාන්‍ය ලෙස කේන්ති යන්නේ ඇයි දැයි මට ප්‍රෙහෙලිකාවකි. 

දවසින් වැඩි වෙලාවක් පොත් පත් සමග ගත කරන මට ඉවසීම අමුතුවෙන් පුරුදු කළ යුතු දෙයක් නොවේ. ඒත් ගෙදර ගිය පසු ඒ ඉවසීම කොහෙන් පැන යනවාදැයි මට නොතේරේ.. ඉතා සැහැල්ලුවෙන් සතුටින් ජීවත් වූ නිවස මට දැන් අපායක් සේ දැනෙයි. කේන්තියකින් නොසන්සුන් කමකින් තොරව හුස්මක් ගන්නට මට දැන් හැකි වුනේ නිවසින් පිටතදී විතරය. 

"ඕෆ් වෙන්න අදහසක් නැද්ද.."

කෙටි පණිවිඩයක් ආවේ කල්ප ගෙනි. මම ජනේලයෙන් ඉස්සී පාර දෙස බැලුවේ ඔහු ඇවිත් දැයි දැනගන්නටය. නොසන්සුන්ව පුස්තකාලය දෙසත් දුරකතනය දෙසත් මාරුවෙන් මාරුවට බලන කල්පත් අත පය දිගු කරමින් කතා කරන අමායාත් ගේට්ටුව ළඟ ඉන්නවා මම කවුලුවෙන් දුටුවෙමි.

Top