අතිශය සරළ රීතියකින් ඉහළ සිනමා නිමාවක් - Close (820)

අතිශය සරළ රීතියකින් ඉහළ සිනමා නිමාවක් - Close (820)

නව යොවුන් වියේ දරුවො ඉන්න හැමෝම වගේම ඒ වයසෙ දරුවො එක්ක වැඩ කරන ගුරුවර ගුරුවරියො ඇතුළු හැමෝමත් බලන්න ඕන, වටින ෆිල්ම් එකක් Close. බෙල්ජියානු ජාතික Lukas Dhont මීට පෙර කරපු Girl (2018) සිනමා කෘතියත් නව යොවුන්විය තේමා කරගත් එකක් වූවා වගේම ඉහළ ප්‍රේක්ෂක හා විචාරක අවධානයක් නතුකර ගත්තා.

Close ඇත්ත වශයෙන්ම පැය එකයි මිනිත්තු හතලිස් පහක ෆිල්ම් එකක් කරන්න පුළුවන්ද කියලා හිතෙන තරම් සරළ හා කුඩා ප්ලොට් එකක්. ඒත් මෙහි ඉහළ සිනමාත්මක ගුණය හා කැමරාකරණය, සංස්කරණය, රංඟනය හා සංගීතය විසින් ප්‍රේක්ෂකයා කෘතිය වෙත සම්පූර්ණයෙන්ම ඇද බැඳ ගන්නවා පමණක් නොව චිත්‍රපටය අවසානයේ වාඩි වී සිටින තැනින් නැගිට ගැනීමට අපහසු තරමට ෂොක් කරනවා.

නව යොවුන් වියේ දරුවන් තුළ ගොඩ නැගෙන සමීප මිත්‍රත්වය විරුද්ධ ලිංගික වීම සමාජය අනුමත කළත් සම ලිංගික වීම අනුමත කරන්නෙ නැති පැත්තට ඉඩ වැඩියි. ඒක සංස්කෘතිකව දියුණුයැයි සැළකෙන රට වලදීත් එහෙම බවයි පේන්නෙ.

දහතුන් වියැති පාසල් දරුවන් දෙදෙනෙකු වන ලියෝ හා රෙමී තුළ ඇතිවන සමීප මිත්‍රත්වය සමාජය වැරදියට කියවා ගනීයැයි ඇතිවන බිය හා නොකැමැත්ත, මේකට homophobia කියලා කියන්නත් පුළුවන්, විසින් අනෙක් මිතුරා තුළ ඇති කරන අර්බුධය හමුවේ ගොඩ නැගෙන සංකීර්ණත්වය තමයි චිත්‍රපටය තුළ තියෙන්නෙ. (කතාව Spoil වුණොත් කියල බයට වටේ ගිහිං ඒ කොටස ලිව්වෙ.)

ෆිල්ම් එක තනිකරම කියවගන්න ඕනෙ ලියෝගෙ කෝණයෙන් බවයි මගේ අදහස. මෙහි ඇතැම් දෙබස්වල ඇති ලිංගිකමය මානය ලියෝ තුළ ගොඩ නැගෙන මනෝ සංකීර්ණත්වය ප්‍රකාශ කිරීමක්.

නිදසුනකට ෆිල්ම් එකේ අවසන් හරියෙදි ලියෝ රෙමීගේ බල්ලාව බැලීමට යාමේදී රෙමීගේ මව හා ලියෝ අතර ගොඩ නැගෙන දෙබස් බල්ලා ගැන නොව රෙමීගේ මව කෙරෙහි ලියෝ තුළ ගොඩ නැගෙන ප්‍රේමණීය හැඟුම නිරූපනය වන්නක්.

"He's happy to see you"

"I' m happy to see him too"

"He really missed you"

මෙතැන you කියන්නෙ ඇත්තටම බල්ලාට වගේ වුණාට ඇත්තටම රෙමීගේ මවට වගේම He කියල කිව්වට ඒක ලියෝ තුළ කියවෙන්නෙ I ලෙස.

ඒ වගේම ඒ සිදුවීමෙන් පසු රෙමීගේ නිවසට ගොස් වතුර වීදුරුවක් බොන අතර රෙමීගේ මව තම වතුර වීදුරුව අතෙහි හසුරුවන අයුර විසින් හා ඇගේ දෑස් විසින් මවන හැඟුම් ඇත්තටම ලියෝ තුළ ඈ ගැන මතුවන හැඟීම්.

මේ වගේ තැන් ගොඩක් ෆිල්ම් එක තුළ තියෙනවා.

නිර්මාණයක තාක්ෂණික සරළත්වය කියන්නෙ එක්තරා විදියකට විෂයය සුරුව භාවිතා කිරීම තුළින්ම ගොඩ නැගෙන්නක්. Close හී තේමාව, කැමරාකරණය, සංස්කරණය ඉහත කරුණට දෙස් දෙනවා. අතිශය සරළ රීතියකින් ඉහළ සිනමා නිමාවක් එය රැගෙන එනවා. (අපේ ගොඩක් අයගේ නිර්මාණ රළු, දළ වගේම නොගැලපෙන සංකීර්ණතා වලින් යුතු වන්නේ විෂය භාවිතයේ හුරු කමට වඩා බක පණ්ඩිතකම ආලෝක වර්ෂ බිලියන දොළහක් විතර දුරට තියෙන නිසා.)

පාසලේ සංගීත ඉදිරිපත් කිරීමේදී රෙමී කෙරෙහි ලියෝ තුළ මතුවන හැඟීමත්, පසුව යළි එම ප්‍රසංග අවස්ථාවකදීම රෙමීගේ මව කෙරෙහි ලියෝ තුළ ඇතිවන හැඟීමත් සිනමාකරුවා කෘතිය තුළ ඉදිරිපත් කරන්නෙ ඉහළ සිනමා ගුණයකින් යුතුවයි.

මුළු ෆිල්ම් එකම ඇත්තටම මනෝවිශ්ලේෂණීය ප්‍රකාශනයක්.

අතාරින්නෙ නැතුව බලන්න වටින ෆිල්ම් එකක්. ඉහළ සිනමාමය ගුණයක් විඳින්න පුළුවන් ෆිල්ම් එකක්.

Top