විසංයෝජනවාදී ලෙස "වික්‍රම් වේදා" කියවමු ද? (624)

විසංයෝජනවාදී ලෙස "වික්‍රම් වේදා" කියවමු ද? (624)

ආසියානු සිනමාවේ ඇති සිනමා ධාරාවන් අතුරින් ඉන්දියානු සිනමාව යන ප්‍රධාන සිනමා ධාරාවේ උප කුලකයක් වන දමිළ සිනමාව යනු එම දහරාවේ එක් අතු කැබැල්ලක් පමණයි. මෙම අතු කැබැල්ලේ වසරකට නිර්මාණය වන දමිළ චිත්‍රපට බොහෝමයක් වට්ටෝරුගත සිනමා ආරකට නිර්මාණය වන චිත්‍රපටයි. නමුත් දමිළ සිනමාවේ වට්ටෝරුගත සිනමාවට වඩා යම් පමණකට උඩුගං බලා යන චිත්‍රපටයක් විදියටයි 'වික්‍රම් වේදා' චිත්‍රපටය හඳුන්වන්නට පුලුවන් වනුයේ. දමිළ සිනමා සම්ප්‍රදායේ චිත්‍රපටවල පොදු වු ලක්ෂණයක් වන වීරයා සහ දුෂ්ටයාගේ ගැටුම 'වික්‍රම් වේදා' චිත්‍රපටයේ ප්‍රධාන තේමාව බවට පත් වෙනවා. වික්‍රම් (පොලිස් නිලධාරියෙක්) සහ වේධා (පාතාල නායකයෙක්) යන චරිත දෙක ඔස්සේ යි මෙම කතාව ගලා යන්නේ. 

වික්‍රම් වේදා අනෙකුත් දමිළ චිත්‍රපටවලට වඩා සුවිශේෂි වන්නේ විසංයෝජනවාදී කියවීමකට ප්‍රේක්ෂකයා හසු කරන බැවින් කිවහොත් එහි වරදක් නෑ. මන්ද බැලූ බැල්මට ප්‍රේක්ෂකයාගේ දෘෂ්ටි කෝණයෙන් බැලු කල දුෂ්ටයා කළු චරිතයක් ලෙසත්, වීරයා සුදු චරිතයක් ලෙසිනුයි අප නිරන්තරයෙන්ම දකින්නේ. නමුත් මේ බෙදුම් රේඛාව යම් පමණකට බොඳ කර දමන්නට වික්‍රම් වේදා චිත්‍රපටය සමත් වෙනවා. චිත්‍රපටය ඇතුළේම ප්‍රශ්න කරන හොඳ-නරක සහ වීරයා සහ දුෂ්ටයා යන යුගල පද දෙකට නව අර්ථ කතනයක් සපයන්නට වික්‍රම් වේදා සමත් වෙනවා. ඊට ආදේශ වන පොලිස්කාරයා සහ අපරාධකරුවාගේ ලක්ෂණ පොදු සමාජය පාරභෞතිකව නිර්මාණය කිරීම නිසාම මේ ද්විත්වයේ ඇති පොදු ලක්ෂණ අපට මඟහැරී තිබෙනවා.

පොලිසියට ඇති අධිකාරිමය බලය නිසාම ඔවුන්ට නිරායාසයෙන්ම ලැබී තිබෙන මනුෂ්‍ය ඝාතනය කිරීමේ බලය නිසාම ඔවුන් ජාතියේ පොලිස් නිලදරුවන් බවට පත්වෙනවා. අනෙක් පසින් අපරාධකරුවන්ගේ නොමිනිස් ගති නිසාම ඔවුන් සමාජයේ ගැරහුමට ලක් වෙනවා. මේ දෙකොටස ම කරන්නේ බලය හඹා යෑමයි. බලය හඹා යෑම හමුවෙහි අවසානයේ සිදු වන ප්‍රතිඵලය නම් නොනවත්වා සිදුවන මනුෂ්‍ය ඝාතන රැල්ලයි. නමුත් අපට චිත්‍රපටය විසින් සිතන්නට බල කරන කාරණාව නම් මනුෂ්‍යකුගේ බාහිරින් සහ ඔහු කරන කියන දේවල් අනුව ඔහු හොඳ පුද්ගලයෙක්ද, නරක පුද්ගලයෙක් ද සිතන්නට කෙසේවත් නොහැකි බවයි. මෙහිදි බොහෝ මිනිසුන් 'වික්‍රම්ගේ' චරිතය සදාචාරවූත්, ධාර්මිෂ්ඨවූත් චරිතයක් ලෙස දකිවි. එහෙත් 'වික්‍රම් වේදා ' විසංයෝජනීය ලෙස කියවීමේදී 'වේදා ' දුෂ්ට, පාපිෂ්ඨ, අධම චරිතයක් නොවන බව අවබෝධ කර ගත හැකිය. වේදා කළු චරිතයක් ලෙස සමාජයේ හංවඩු ගැසුව ද එහි සැබෑ අඳුරු බව ඇත්තේ ප්‍රතිපක්ෂ වු වික්‍රම්ගේ පාර්ශවයයි.

පාරභෞතික ලෙස මිනිසාම සමාජයේ ඇතැම් කාරණා දෙස ඇතැම් පුද්ගලයන් දෙස ස්භාවිකරණීය (මිනිසා සිතා සිටින ආකාරය) ලෙස සිතා සිටියි. එය මිනිසා විසින් තබා ගන්නා නිර්ණයකි. මෙම කාරණය නිසාවෙන් සත්‍ය සැගවී යයි. මන්ද යත්, බාහිර ස්වරූපය පදනම් කරගෙන මිනිසා නිර්ණයවලට එළඹීමයි. එය වරදවා වටහා ගැනීමකි. එම වරදවා වටහා ගැනීම තුළ වෙනත් පිරිසක් අධිකාරියක් දරන අතර වරදවා වටහා ගැනීමකට ලක්වන පිරිස පීඩනයට, හෙළා දැකීමට, හිංසනයට, විහිළුවට ලක් වෙයි. 

මෙබඳු අරුත් පසිදලීමට හැකි වන්නේ 'වික්‍රම් වේදා' චිත්‍රපටය තුළ තිබෙන විසංයෝජනීය ක්‍රමය ඔස්සේ එය කියවීමට යෑමෙනි. සන්දර්භ විෂයීක තත්ත්වය යටතේ සාකච්ඡා කරන විට සමස්ත නිර්මාණයේ අර්ථය මතු කර ගත හැකිය. හොද චරිතයක තිබිය යුතු යැයි සමාජ සම්ම්තයේ නොපවත්නා ලක්ෂණ මෙහිදී සිනමාකරුවා ඉදිරිපත් කරයි. එය සමාජ සම්මතය බිද දමා නව අරුත් ජනිත කරවීමකි. නිර්මාණය කියවන ප්‍රේක්ෂක සිතෙහි එක්වරම ජනිතවන නපුරු මිනිසෙකු පිළිබද හැගීම සමුදාය යටින් දිවෙන යහපත් මිනිසෙකුගේ සේයාවක් සිනමාකරුවා ජනිත කරවන්නේ එබැවිනි. මනුෂ්‍ය ඝාතන දහසයක් කර ඇති වේදාගේ බාහිර ප්‍රතිරූපයේ සංකල්පත් සමග ස්වභාවීකරණයට ලක්කර ගන්නේ වැරදි කරන, නපුරු මිනිසෙකුගේ ස්වරූපයයි. මිනිසා නිර්ණය කරන මැර චරිතය සඳහා පාදක වන්නේ එම චරිතාංගයන්ය. එහෙත් එවැනි චරිත ලක්‍ෂණ තිබූ පමණින්ම ඔහුගේ චරිතය පාතාල මැරයෙකුගේ චරිතයකට කෙසේ සමාන වන්නේද? 

මිනී මරන්නේ පාතාලය විසින් පමණක්ද? ඇයි පොලිසිය, හමුදාව මිනී මරන්නේ නැද්ද? ඔවුන් ඝාතනය කරන්නේ මනුෂ්‍ය ශරීර නොවේ ද? 

අපට පුද්ගලයෙකුගේ චරිතය හුදු බාහිර පෙනුමෙන්, වෘත්තියෙන් පමණක් අන් චරිතවලින් වෙන්කළ නොහැකිය. මෙම විසංයෝජන කියවීම මගින් මිනිසුන් සාමාන්‍ය ජීවිතයේදී නොදකින, නොසොයන, නොබලන, සැගවුණු කාරණා දැකගත හැකිය. ඒ අනුව විසංයෝජනීයව සමීප කියවීම් ක්‍රමය මගින් අන්‍යෝන්‍ය ප්‍රතිපක්‍ෂ යුගලය වන 'වික්‍රම් -⁣වේදා  " කිසිඳු චරිතයකට අධිකාරියක් ලබා නොදෙමින් අඩු වරප්‍රසාද ලත් ‘වේදා' චරිතය අනෙකුත් චරිතය හා සමාන තත්ත්වයට ගෙන එක සේ කියවීමට ප්‍රේක්ෂකයා පුරුදු කරයි. ඒ අනුව මෙම චිත්‍රපටය මගින් සිදු කරනු ලබන්නේ මිනිසා පාරභෞතිකව සකසාගත් සහ එම දෘෂ්ටිවාදය තුළ පීඩා විඳින පොලිසිය සහ අපරාධකරුවන් අතර ඇති වෙනසේ රේඛාව බොඳ කර දැමීමයි. 

මිනිත්තු 146 ක් පුරා දිවෙන 'වික්‍රම්වේදා ' අධ්‍යක්ෂණය පුෂ්කර් සහ ගයත්‍රී යුවළගෙනි. වික්‍රම් ලෙස ආර්. මාධවන් සහ වේධා ලෙස විජේ සේතුපතිගේ අති විශිෂ්ට රංගනය චිත්‍රපටයේ සාර්ථකත්වයට බලපෑ ප්‍රධානම හේතුව බව නොකියාම බැරි ය. 2017 ජූලි 21 දින තිරගත වූ මෙම චිත්‍රපටය ආදායම් අතින් අති සාර්ථක වුණු අතර සම්මාන රාශියකින් ද පිදුම් ලැබීය. FILMFARE AWARDS SOUTH හිදී හොඳම අධ්‍යක්ෂණය, හොඳම නළුවා (සේතුපති) සහ ජූරියේ හොඳම නළුවාට (මාධවන්) හිමි සම්මාන හිමි කරගත් අතර ANANDAVIKETAN සම්මාන උලෙළේදී ද සම්මාන 8 ට නිර්දේශ වී සම්මාන 3 ක් හිමි කරගත්හ. දමිළ චිත්‍රපටයක් එක් සම්මාන උලෙළකදී වැඩිම සම්මාන ගණනකට නිර්දේශ වීමේ වාර්තාවක් තැබීමට ද VIKRAM VEDHA චිත්‍රපටය සමත් විය. A VIJAY AWARDS හිදී සම්මාන 14 කට නිර්දේශ වීමෙනි. IMDb දර්ශකයේ මෙම සිනමා කෘතිය සඳහා ප්‍රේක්ෂකයන් විසින් ලබා දී ඇති දර්ශකය 8.8 කි. එය දමිළ චිත්‍රපටයකට ලැබුණු ඉහළම දර්ශකවලින් එකක් වීම විශේෂත්වයකි.

Top