සිනමාව වින්දනය සහ සංගීතය (601)

සිනමාව වින්දනය සහ සංගීතය (601)

විශ්ව භාෂාවක් සේ හැඟෙන සංගීතය වූ කලී නාදය මඟින් කරන ආමන්ත්‍රණයකි. බටහිර සම්භාව්‍ය සිනමා විචාරකයෙකු වන සිග්ප්‍රයිඩ් ක්‍රවුකර් සඳහන් කරන අන්දමට "යථාර්ත ජීවිතය ශබ්ධයෙන් පිරී ඇත්තේ ය. මේ නිසා සිනමාව සම්පූර්ණයෙන් ම නිහඬ වීම අවුල් සහගතය. සංගීතයෙහි අරමුණ වන්නේ නිශ්ශබ්ද රූපයක යථාර්ථය සංගීතය මඟින් ඉස්මතු කිරීම හෝ ප්‍රේක්ෂකයන්ගේ භාවමය ග්‍රහණය වර්ධනය කිරීම යි."

කිසියම් කලා නිර්මාණයක ස්වභාවය නම් එය අපූර්ව හෙවත් පෙර නොවූ විරූ වස්තුවක් වීමයි. අපූර්ව වස්තු නිර්මාණය කරන්නා ප්‍රතිභා ශක්තියෙන් අනූන විය යුතු ය. අපූර්ව වස්තු නිර්මාණයෙහිලා කලාකරුවෙකු සතු විය යුතු ආත්මීය ගුණාංගය හෙවත් නිපුණතාව, ප්‍රතිභා ශක්තිය යි. එම නිර්මාණකරුවාගේ ගීතය සාහිත්‍ය ප්‍රබන්ධයකින් යුක්ත වන අතර එය ගැයෙන්නේ තනුවකට අනුවය. තනුවකට අනුව ගැයෙන ගීතය සංගීතයෙන් තවත් විචිත්‍රභාවයට පැමිණ වේ. මේ හේතුවෙන් මෙම සංගීතය චිත්‍රපට සංගීතය සඳහා ද අනුකූල කරමින් කලාකරුවන් සංගීතය නිර්මාණය කරනු ලැබීය.

රූපය සිනමාවේ වඩාත් ප්‍රධාන අංගය ලෙස සැලකේ. ශබ්ධය නොහොත් සංගීතය උපයෝගී වන්නේ රූපාවලියේ ප්‍රකාශන ප්‍රබලතාව තීව්‍ර කිරීම පිණිසය. ප්‍රකට සංගීතවේදියෙකු වන ආරොන් කොප්ලන්ඩ් චිත්‍රපට සගීතය චිත්‍රපටයකට දායක වන ආකාරය මෙසේ විස්තර කරයි.

1) කිසියම් සිදුවීමක නොපෙන්විය හැකි හෝ නොපෙනෙන අවස්ථාවක් හෝ කිසියම් චරිතයක් මඟින් පැහැදිලි නොකල සිතුවිල්ලක් පිළිබඳ මනෝභාවික යටි අරුත් පැහැදිලි කිරීමට 

2) ස්වභාවික පරිසරයේ හිදැස් පිරවීමට

3) අඛණ්ඩතාවය පිළිබඳ අදහස් පවත්වාගෙන යාමට

4) කිසියම් ජවනිකාවක කූටප්‍රාප්තිය ඇති කිරීමට

ලෝක සිනමාවේ මුල් යුගයේ දී නිහඬ චිත්‍රපට සඳහා සංගීතය සපයන ලදී. නිහඬ චිත්‍රපටය පෙන්වන ශාලාවේ සිටින වාදන වෘන්දය විසින් ම සංගීතය සජීවීව සැපයිණි. සංගීතට නියම ව්‍යවහාරික භාවිතයක් සේ චිත්‍රපටයට පිවිස ගනු ලැබූයේ චිත්‍රපටයට සංගීතට කැවීමට හැකියාවීමත් සමඟය. මෙසේ සංගීතය සපයන ලද මුල් අවස්ථාව වනුයේ "ජෝශප් වොන් ස්ටර්න් බර්ග් අධ්‍යක්ෂණය කල "The Blue Angle" තුලිනි. එය 1939 වසරේ තිරගත වූවකි. 

"චිත්‍රපට සංගීතය පසුබිම් සංගීතයක් ය " ලෙස හැඳින්වීම ඇතැම් විචාරකයෝ උරන වෙති. එය "හුදු පසුබිම් සංගීතයක් නොව චිත්‍රපටයේ ආත්මය තුලට ප්‍රවිශ්ටව එහි මුඛ්‍යර්ථය හා ප්‍රතිබද්ධ වන, කාර්‍යය සිද්ධ සංගීතයක් යැයි ව්‍යවහාර කිරීම මැනවැයි " රොජර් මැන්වෙල් , ජෝර්න් හන්ට්ල් යබ විචාරකයෝ පවසයි. මෙම චිත්‍රපට සංගීතය වෙන් වෙන් වශයෙන් ගත් කල මේ සියල්ල එකිනෙකට වෙනස් ස්වාධීන වූ මාධ්‍යක් සේ ගැනෙතත් චිත්‍රපටයක ව්‍යවහාරික භාවිතයක් සේ යොදන විට එම මාධ්‍යන් අතර අනුකූලතා පූර්වකව සහ සම්බන්ධතාව පැවැත්වේ.

චිත්‍රපට සංගීතයේ ඇතැම් විට එකම කලාකරුවා ගීතයේ සියලු අංශ නිර්මාණය කරන අවස්ථා පැවතිය ද බොහෝ විට සිදු වන්නේ කීපදෙනෙකුගේ එකතුවෙන් ගීතයක් එලි දැක්වීමයි. මෙහි දී ශුද්ධ සංගීතඥ්ඥයෙකුගේ ප්‍රකාශනමය නිදහසක් ව්‍යවහාරික සංගීතඥ්ඥයෙකුට ඒ අයුරින්ම හිමි නොවන්නේය. සිනමා සංගීතය ව්‍යවහාරික සංගීත ප්‍රකාරයකි. මෙහි සැබෑ අරමුණ වන්නේ සිනමා කෘතියෙහි අර්ථෝද්දීපනයට, භාවෝද්දීපනයට, චිත්තෝද්දීපනයට, අවස්ථාවෝද්දීපනයට හා පරිසරයෝද්දීපනයට උර දීමකි.

චිත්‍රපට සංගීතය චිත්‍රපටයේ ප්‍රධාන අර්ථය හා බැඳුණු ඒකකයක් මිස එයට පටහැනි එකක් නොවිය යුතු ය. සංගීතය චිත්‍රපටයෙන් වෙන් ව ඉස්මතු වී නොපැමිණිය යුතු ය. ප්‍රේක්ෂකයාගේ අවධානය චිත්‍රපටයේ බැහැරට යොමු නොවිය යුතු ය. මේ සම්බන්ධයෙන් පලවුණු විචාරකයන්ගේ අදහස් මෙසේ ය. 

" අප චිත්‍රපටයක් බැලීමට යන්නේ සංගීතය ඇසීමට නොවේ. අපට සංගීතය අවශ්‍ය වන්නේ දකින දෙයින් ඇතිවන හැඟීම් තියුණු කිරීම සඳහායි. කිසිවිටෙක එය මඟින් අමුතු හැඟීම් පිහිට විය යුතු නොවේ." 

මෙම චිත්‍රපට සංගීතය සම්බන්ධයෙන් සඳහන් කල යුතු අනෙක් වැදගත් කරුණක් වනුයේ සාමූහිකත්ව සංකල්පය යි. සංගීත අධ්‍යක්ෂකවරයා, චිත්‍රපටයේ නිර්මාණ අධ්‍යක්ෂකවරයා මෙන් ම තිර රචකයා , කැමරා ශිල්පියා , කලා අධ්‍යක්ෂකවරයා , සංස්කාරවරයා මෙන් ම නලුනිලියන් සමඟ ද අවබෝධය සහිත සම්බන්ධතාවයක් ඇති කරගත යුතු ය. මෙම සාමූහිකත්වය පිළිබඳව ප්‍රකට සංගීත රචකයින් ද මෙසේ අදහස් දක්වා ඇත.

" කලාකරුවන් හා ශිල්පීන් බොහෝ දෙනෙකුගේ සාමූහික ප්‍රයත්නයක් තුලින් ඒකාබද්ධ වූ කොටසක් ලෙස චිත්‍රපට සංගීතය මම සලකමි. මෙම සාමූහිකත්වයට සරිලන ලෙස සංගීතය හසුරවන්නට අකමැතිවන සංගීත රචකයා මගේ අදහසට අනුව චිත්‍රපට කරණයෙන් ඈත්ව සිටිය යුතුය."

( මික්ලෝස් රෝසා )

" චිත්‍රපට සංගීත අධ්‍යක්ෂකවරයා හෙවත් නිර්මාණ ශිල්පියා සංගීත රචකයෙකු වී නම් ඔහු නිර්මාණය කරනු ඇතැයි සිතන සංගීතය මම නිර්මාණය කරමි." 

( රොමන් විලෑඩ් )

චිත්‍රපට සංගීතයේ තවත් සුවිශේෂී අංගයක් ලෙස "ගීතය" හැඳින්විය හැකිය. ගීතය යනු සංගීතයෙත් සාහිත්‍යයේත් සුසංයෝගයකි. ගී යන්නට සමාන අරුතක් දෙන පදය වේ නම් " සින්දු" යන්නයි. ගී යන්නට සිංහල ශබ්ධ කෝෂයේ දී ඇති අර්ථය වන්නේ "එලිසම නොකොට බැදි පද්‍ය" යනුවෙනි. එහෙත් මෙම නිර්වචනය වර්තමානයේ අප අසන ගීතය සඳහා කරන නිර්වචයක් සේ සැලකිය නොහැකිය. 

චිත්‍රපට ගීතය ගැන සඳහන් කිරීමේ දී චිත්‍රපටයට විෂය වන කතා ප්‍රවෘත්තිය හා ඓන්ද්‍රිය සම්බන්ධයෙන් දරණ , එහි කාර්‍යය සිද්ධ සංගීතයේදී ද උපාංගයක් සේ පවතින ගීතය "චිත්‍රපට ගීතය" ලෙස හැඳින්විය හැකිය. මෙය නිසැක වශයෙන්ම චිත්‍රපටය නම් වූ ප්‍රධාන කලා මාධ්‍ය තුල එහි මුඛ්‍යාර්ථයන් ප්‍රකාශ කිරීමෙහිලා දායක වන ව්‍යවහාරික කලා මාධ්‍යයකි. එහෙත් චිත්‍රපටයකට ගීතය අවශ්‍යම ද? ගීතය මඟින් චිත්‍රපටයකට ඉටුවන කාර්‍යභාරයක් තිබේද? යන්න ගැටළුවකි. ඇතැම් කලාත්මක හා සම්මානයට පමුණුවන චිත්‍රපට වල එකඳු ගීතයක් හෝ අන්තර්ගත නොවුන අවස්ථා ඇත. 1963 තිරගත වූ "ගම්පෙරලිය" නිදසුනකි. ඒ අනුව චිත්‍රපටයකට ගීත යොදා ගැනීමේ දී එම චිත්‍රපටයේ කථා තේමාව, එහි අරමුණ, හා පරමාර්ථයන්ට අනුව චිත්‍රපටයේ උපයෝගිතාව උචිත බව යන කරුණු මත තීරණය වන්නක් සේ සැලකීම විචාරක මතය යි. මේ සම්බන්ධයෙන් මහගම සේකරන්ගේ මතය වූයේ මෙසේය.

" චිත්‍රපටයක ගීත අවශ්‍ය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. නමුත් චිත්‍රපටයක් ජනප්‍රිය වීමට ගීත අවශ්‍යය යන සංකල්පනාව මත චිත්‍රපටයකට ගීත වැඩි ගණනක් රිංගවා ගැනීමට වෑයම් කිරීම වැරදියි."

චිත්‍රපටයක හෝ සංවාද නාට්‍යයකට ගීත අවශ්‍ය වන්නේ දෙබස් වලින් හෝ ඉරියව් වලින් ප්‍රකාශ කිරීමට නොහැකි තරම් හැඟීම් උත්සන්න වූ අවස්ථා වලදී ය. කෙසේ වූ වද අදත් චිත්‍රපට බහුතරයක ගීත ඇතුලත් වේ. විශේෂයෙන් වාණිජ චිත්‍රපට බොහොමයක් නිපදවා ඇත්තේ ගීතට අනිවාර්ය ව්‍යවහාරික භාවිතයක් සේ පරිහරණය කරමිනි. ගීත වලින් පිරුණු චිත්‍රපට ද නිශ්පාදනය වේ. මුල් යුගයේ මෙරට චිත්‍රපට ජනප්‍රිය කරවීමේ ප්‍රමුඛතම මාර්ගය ලෙස චිත්‍රපට ගීතෞපයෝගී කරගන්නා ලදී. වර්තමානයේ චිත්‍රපටයේ ගීත යොදා ගැනීමේ ප්‍රවණතා දෙකක් දැකිය හැකි ය. 

මෙහි පළමුවැන්න නම් කලාත්මක යැයි හැඟෙන චිත්‍රපට සඳහා බෙහෙවින් සීමා සහිතව ගීත යොදා ගැනීම යි. එහි දී චිත්‍රපටයේ අන්තර්ගතය හා ගැලපෙන අවස්ථා සඳහා පමණක් ගීත යොදා ගන්නා ලදී. එහෙත් අන්තර්ගතයට පරිබාහිරව ඊට අනුගත නොවන ගීත ඇතුලත් නොකෙරේ. මෙය ද කලාත්මක චිත්‍රපට අතලොස්සක් සම්බන්ධයෙන් දැකිය හැකි ලක්ෂණයකි. මෙහි දෙවෙනි කරුණ ලෙස ගීත රචකයෙකු හැම විටම පාහේ තම ස්වකීය අභිමතය පරිදි ද ගීතයක් රචනා කරයි. එහි විෂය, ආකෘතිය, භාෂාව, යනාදිය රචකයා විසින් ම තීරණය කරනු ලබයි. හැම ගීතයකටම පොදු වූ ගීත රචනය සංගීතය හා ගායනය සඳහා අදාල වන ත්‍රි පුද්ගල දායකත්වය හෝ එම කාර්යයන් තුන චිත්‍රපට ගීතයක් නිර්මාණය වීමට ද අවශ්‍ය ය. එහෙත් ගුවන් විදුලි ගීතයක් මෙන් චිත්‍රපට ගීතයක් ස්වාධීනව නිර්මාණය වන කලා කෘතියක් නොවන්නේය. හේතුව චිත්‍රපට ගීතයක් සඳහා විෂය සපයනු ලබනුයේ චිත්‍රපටයෙ අධ්‍යක්ෂකවරයා ය. ඔහු චිත්‍රපටයෙහි කථා වස්තුවට, විවිධ අවස්ථාවන්ට, එහි විකාශනයට, රූප රාමු සඳහා මෙන් ම චරිත වලට ද සරිලන පරිදි ඉල්ලා සිටින ගීතය රචනා කිරීමටත්, සංගීත නිර්මාණය හා ගායනය ඒ අනුව සකස් කිරීමටත් සිදු වේ. 

චිත්‍රපට ගීතය සිනමා තිරය මත පතිත වන රූප සමුදාය සමඟ එකඟ විය යුතු ය. ඊට ප්‍රතිපක්ෂ නොවිය යුතු ය. එනම් චිත්‍රපට ගීතයක් උපයෝගී කරගත යුත්තේ අදාල රූප රාමුව හා අනුගත වන පරිද්දෙනි. අනවශ්‍ය පරිදි ගීතයක් චිත්‍රපටය සඳහා බලෙන් ඇතුලත් කල ස්වරූපයක් එහි නොවිය යුතු ය. 

ගීත නිර්මාණයේ දී සංගීත නිර්මාපකයා තිදෙනෙකුගෙන් කෙනෙකි. සිනමා සංගීත නිර්මාණයේ දී ඔහු සත් දෙනෙකුගෙන් වත් කෙනෙකි. එබැවින් සිනමා සංගීතයේ දී සංගීතඥ්ඥයාට හිමි වන්නේ අඩු ස්ථානයකි. මේ අනුව චිත්‍රපටයක ගීතයක් යොදා ගැනෙන්නේ ගීතයේ ඇති අදාලත්වය හා ඖචිත්‍ය සැලකිල්ලට ගනිමින් චිත්‍රපටය හා ඓන්ද්‍රිය වශයෙන් බැඳෙන පරිදි මිස ඉන් පරිභාහිරව නොවන බව සැලකිල්ලට ගත යුතු ය.

Top