සමලිංගිකත්වය අස්වාභාවික නැත. (544)

සමලිංගිකත්වය අස්වාභාවික නැත. (544)

Fire (1996) සිනමා නිර්මාණය කියවීම

සමලිංගිකත්වය මේ වන විට වැඩියෙන් කතාබහට ලක් වන මාතෘකාවක් බවට පත් ව තිබෙනවා. සමලිංගිකත්වය අපරාධයක් බවට සමහර අවස්ථාවලදී සමහර සමාජ සිදුවීම් ඔස්සේ ඇතැම් පුද්ගලයන් පත් කොට තිබෙනවා. නමුත් සත්‍යය වන්නේ සමලිංගිකත්වය යනු අපරාධයක් හෝ රෝගයක් නොවේ. එය හුදෙක් මානුෂීය හැඟීමක් පමණක්ම වනවා.

සමලිංගිකත්වය පිළිබඳව විවෘතව සාකච්ඡාවට බඳුන් වුණු ප්‍රථම ඉන්දියානු සිනමා නිර්මාණය වන්නේ 1996 වසරේ තිරගත වූ Fire චිත්‍රපටයයි. ඉන්දියාව වැනි සංස්කෘතිය ආගම ඉහළින්ම අදහන රටක සමලිංගිකත්වය වැනි මාතෘකාවක් රිදී තිරයට ගෙන ඒම කියන්නෙත් ඉතාමත් අපහසු කර්තව්‍යයක් ද වී තිබෙනවා.

"අපි චිත්‍රපටය තුළින් බලාපොරොත්තු වුනේ යහපත් ප්‍රතිචාරයක්.නමුත් තිර ගත වීමේදී ලිංගික දර්ශන මැදදී අත්පොලසන් දුන්නා.මං හිතන්නේ ඒක තමා චිත්‍රපටයකට වෙන්න පුළුවන් දරුණුතම ප්‍රතික්ෂේප වීම.."

ප්‍රේක්ෂකයාගේ ධන ප්‍රතිචාර බලාපොරොත්තුවෙන් තිර ගත වූවත් චිත්‍රපටය තිර ගත වීමෙන් අනතුරුව එය තහනමට පවා ලක් වනවා. ඊටත් වසර තුනකට පසු චිත්‍රපටය නැවත තිරගත කිරීමක් සිදු වනවා. ඉන් අනතුරුව බටහිර සිනමාව තුළ ලොව සමලිංගිකත්වය පිළිබඳව නිෂ්පාදනය වූ හොඳම සිනමා පට 10 අතරට පවා Fire පිවිසෙනවා. සම්මානලාභී චිත්‍රපටයක් බවටද පත් වනවා.

චිත්‍රපටය ගොඩනැගෙන්නේ සීතා සහ රාධා යන එකම පවුලක සහෝදරයෝ දෙදෙනෙක්ගේ බිරින්දෑවරු දෙදෙනෙක් වටායි. ඔවුන් ජීවත් වන්නේ විස්තෘත පවුල් සංස්කෘතියක් තුළ. සීතා බාල සහෝදරයා විවාහපත් වන දඟකාර නවීන පන්නයට හැදුනු වැඩුණු තරුණියක්. රාධා වැඩිමල් සොහොයුරාගේ බිරිඳ. ඇය සම්ප්‍රදායික කාන්තාවක්. බිරින්දෑවරු දෙදෙනාගෙම විවාහ ජීවිත අසම්පූර්ණයි. වැඩිමල් සොහොයුරා දැඩි ආගමික භක්තිය නිසා බ්‍රහ්මචාරී ලෙස දිවි ගෙවන්නෙක්. බාල සොයුරා අනියම් පෙමක් පසුපස්සේ.

තම තමන්ගේ ජීවිත වල ඇති වී තිබෙන හිඩැස ලිංගිකත්වයට එහා ගිය ප්‍රේමයක්.. ඔවුන් දෙදෙනා තුළ පැවති ඒ පීඩනය පිටවෙන්නේ දෙදෙනා අතර සමලිංගික ඇසුරක් ඇති විම හරහායි.

සංස්කෘතිය ඉහළින්ම අදහන පවුල් පසුබිමක් තුළ ඔවුන්ට කුමනාකාරයේ හැල හැප්පීම් වලට මුහුණ දෙන්න සිදු වේවිද ? චිත්‍රපටයේ අවසානය නුඹට බාර කරනවා.

චිත්‍රපටයේ එක තැනක සැමියාගේ අනියම් පෙම ගැන බිරිඳ දැනගන්න අවස්ථාවේදී පවා ඒ ගැන සැමියාගෙන් ලැබෙන්නේ මෙන්න මෙවැනි පිළිතුරක්.

" Julie is so smart.so special, so pretty you should meet her "

ඔහු සිදු කරන්නේ තමන්ගේ විවාහක බිරිඳ ළඟ පවා තමන්ගේ අනියම් ප්‍රේමය වර්ණනා කිරීමක්. තමන්ගේ විවාහය හුදෙක් සමාජය වෙනුවෙන් නාමිකව පවත්වා ගැනීමක්. මේ හේතු නිසා ඇති වන සමලිංගික සම්බන්ධය තුළ ඇයට අවශ්‍ය කෙරූ සියල්ල සපුරා ගැනීමක්. සමලිංගිකත්වය රෝගයක් හෝ අපරාධයක් ලෙස බැහැර කල හැකි කරුණක් නොවන්නේ ඒ නිසයි. එය හුදෙක් පොදු මානුෂීය අවශ්‍යතාවයක්.

චිත්‍රපටයේ තවත් එක් සුවිශේෂීත්වයක් වන්නේ චිත්‍රපටයේ තිර රචනය මෙන්ම අධ්‍යක්ෂක සිදු කරන්නේද කාන්තාවක් වීමයි. එවන් වූ මාතෘකාවක් පුළුල් කතාබහකට ලක් කර සමාජයේ ඇතැම් දුර්මත ඉවත් කිරීමට ඉන්දියානු කාන්තාවක් ඉදිරිපත් වීම ම සාධනීය කරුණක්.

කෙසේ හෝ මේ චිත්‍රපටය ලබා දුන් ආරම්භයෙන් අන්තුරුව AIDS සහ සමලිංගිකත්වය පිළිබඳවද සමාජයට අවබෝධයක් ලබා දිමට චිත්‍රපට ඉන්දියාව තුළ නිෂ්පාදනය වෙනවා. එතුළින් බොහෝ සමාජ අසාධාරණයන්ට ලක් වුණු සමලිංගික ප්‍රජාවට යම්තාක් දුරක හෝ පිලිගැනීමක් ලැබී තිබෙනවා.

ඉතින් අවසාන වශයෙන් මෙහෙම වචන ටිකක් මං එකතු කරනවා.

එක් එක් මිනිස්සුන්ගේ හැඟීම් දැනීම් වෙනස්.එයාලා කැමති දෙයට ආදරේ කරන එක එයාලගේ අයිතියක් !!

Top