ආදරණීය හදවතකට කළ නොහැක්කේ කුමක් ද? (204 වන ලිපිය)

ආදරණීය හදවතකට කළ නොහැක්කේ කුමක් ද? (204 වන ලිපිය)

Mehmeth Ada ගේ Miracle in cell No 7 තුර්කි චිත්‍රපටය 2013 වසරේ නිෂ්පාදනය වූ, Miracle in cell No 7 කොරියානු චිත්‍රපටය ඇසුරින්, යම් යම් වෙනස්කම් කිහිපයක් ද සමඟින් සිදු කරන ලද ප්‍රතිනිර්මාණයක්. පීතෘත්වය, දාරක ස්නේහය, ධනපති පන්තිය විසින් නිර්ධන පාන්තිකයන් වෙත ඇති කරන පීඩනය වැනි පැතිකඩයන් පාදක කර ගෙන නිෂ්පාදිත මෙම චිත්‍රපටය අති සංවේදී ගණයේ සම්මානනීය නිර්මාණයක් ලෙස රටවල් බොහෝ සංඛ්‍යාවක ප්‍රේක්ෂකයන් විසින් මේ වන විට වැළදගෙන හමාරය.

Miracle in cell No 7 සිනමා පටය ප්‍රධාන වශයෙන්ම දිව යන්නේ මානසික ආබාධයකට ලක් වූ පියෙක් සහ තම සය හැවිරිදි කුඩා දියණිය වටාය.

පුංචි ඕවා තම මිත්තනිය සහ මානසික ආබාධයක් සහිත තම පියා සමඟ ආදරණීයව, නිදහසේ දිවි ගෙවන කුඩා දැරියකි. විටින් විට තම පාසලේ සගයන්ගේ විහිලුවට තම පියා ලක් වූව ද ඒ සියල්ල නොසලකා හැර තමන්ගේ මුළු ජීවිතේම සතුට තම මිත්තනිය සහ පියා බව සලකා කටයුතු කරන ආදරණීය හදවතක් ඇත්තියකි

" ඇයි අත්තම්මේ මගේ තාත්තට ළමයි පිස්සා කියන්නේ...ඇයි එයා අනික් අයගේ තාත්තලා වගේ නැත්තේ ? ඇයි එයා වෙනස්... ?? "

" ඔයාගේ තාත්තා වෙනස් නෑ.එයා එහෙම ඉන්නේ ඔයත් එක්ක හැමදාටම සෙල්ලම් කරන්න.ඔයාගේ තාත්තා ගොඩක් හොඳ මනුස්සයෙක්..."

ඉතින් මේ සතුට හිටි ගමන් නැති වන්නේ පුංචි ඕවගේ පන්තියේම ඉගෙනුම ලබන හමුදා ප්‍රධානියෙකුගේ දියණියගේ මරණයේ චෝදනාව ඕවාගේ පියා වන මෙමෝ මත පැවරීමත් සමඟ. නොකරපු වරදක් තමන් මත පැවරීමත් සමඟම මෙමෝ හිර ගත වෙනවා. මොන තරම් කරුණු කාරණා පහදා දෙන්න තැත් කරත් , මෙමෝ සිරභාරයට පත් වෙන්නේ බලය , ධනය ,තත්වය මත සිදුවන නිර්ධන පන්තියේ පෑගීමත් පිළිඹිබු කරමින්මයි. ඔහු නිවැරැදි කරුවා බව දැන දැනත් හමුදා ප්‍රධානියා ඔහුව නිවැරැදි නොකරන්නේ ,තම පෞද්ගලික ආරවුලක් ද පදනම් කර ගෙනයි.

තමා නිවැරැදි කරුවා වීමත්, තම දියණියගේ දුරස් වීමත් නිසා පීඩාවට පත්ව සිටින මෙමෝ තව දුරටත් පීඩාවට පත් වෙන්නේ තම සහෝදර සිරකරුවන් විසින් ඔහු වෙත දක්වන ප්‍රතිචාර නිසා. හේතුව ළමා ඝාතකයෙක් යන ලේබලය ඔහු වෙත ඇලවී ඇති නිසා.

නමුත් කාලයත් සමඟම ඔහුගේ සත්‍යය තේරුම් ගැනීමෙන් අනතුරුව සිර කරුවන් විසින් තම සිරකුටිය වෙත අපූරු මායාවක් ගෙන එනවා.මෙමෝ වෙතින් ගිලිගී ගිය තම සතුට නැවත වතාවක් ඔවුන් විසින් ගෙන එනවා.ඒ හොර රහසේම ඕවා ව සිරකුටිය වෙතට රැගෙන ඒම මඟින්. ඕවා මෙමෝට වගේම සෙසු සිරකරුවන් වෙතට ද වසන්තය ගෙන එනවා. ඔවුන් තුළ සැගවී ඇති සුදු චරිත ඈ විසින් එළියට ගන්නවා.සියලු දෙනාගෙම ආදරය දිනාගත් පුංචි ඕවාට නැවත වතාවක් තම නිවෙස බලා යන්නට සිදු වෙනවා.ඒ මේ සිදුවීම හමුදා නිලධාරින් විසින් දැන ගැනීම නිසා. 

ඒ වගේම හදිසි හෘදයාබාධයක් නිසා පුංචි ඕවාගේ ආදරණීය මිත්තනියත් ඈ හැර යනවා.ඊටත් පසුව සිදු වන දරුණුතම දෙය නම් මෙමෝ එල්ලා මැරීමේ දිනය නියම වෙනවා. තමන්ගේ දියණිය හැරදා තමන්ට දිව්‍ය ලෝකය වෙත යා නොහැකි බව කියමින් මෙමෝ වැලපෙන දර්ශනය කාගේත් හිත් පාරවන බව නම් නොඅනුමානයි. මානසික ආබාධයක් සහිත වූවත් තම දියණිය වෙත දක්වන ආදරයේ කිසිදු අඩුවක් ඔහු තුළ දක්නට ලැබෙන් නෑ. පීතෘ - දාරක සම්බන්ධතාවයේ ගැඹුර හදවතට සමීප කරවන දසුනක්.

ඉතින් ඊටත් පසුව කතාව පෙරලෙන්නේ අපි නොහොතන පැත්තකට. පුංචි ඕවා හිරකාරයන්ගේ ජීවිත වල තියල ගිය ආදරණීය පා සටහන් නිසාම, කළු යැයි සම්මතේ හිටපු සමහර මිනිස්සුන්ගේ හිත් වල තිබ්බ සුදු පාට පැත්ත එළි වෙනවා. හිරකරුවන් කිහිප දෙනෙක්ගේම මෙන්ම බන්ධනාගාර නිලධාරීන් කිහිප දෙනෙක්ගේත් සහය ඇතුව මෙමෝ පලා යනවා.නොහිතන කෙනෙක් මෙමෝ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කරනවා. සිරකරුවෝද මනුෂ්‍යයෝම වගත් එවන් වූ මනුෂ්‍යත්වයක ඇති උත්තරීතරත්වයත් ඒ තුළින් හෙළිවෙනවා. ඉතින් නොහිතන වෙලාවක සියල්ලන්ම තමන් හැර ගොස් ඇති බව සිතා සිටි මොහොතක සිදුවන මෙමෝගේ ආගමනය පුංචි ඕවාට කෙසේ නම් බලපාවිද ? ඒ හමුවීම කොතරම් සංවේදී වනවා ඇතිද ?

එසේම Miracle in cell No 7 චිත්‍රපටය තුළින් දැක්වෙන පරිසරය ද මෙහි සදහන් කළ යුතුමය. චිත්‍රපටය තුළින් කියවෙන කතාවට අමතරව ප්‍රේක්ෂකයාගේ සිත චිත්‍රපටය තුළට ඇද බැද ගැනීමට සමත්කමක් එම පරිසරය ඔස්සේද නිතැතින්ම සිදුවෙනවා. ගමේ මිනිස්සු ජීවිකාව සලසා ගන්නා සති පොළ, පුංචි කඳු ගැටයක් මත පිහිටි ඕවාගේ සුන්දර නිවස ඒ අතරින් ප්‍රමුඛ වනවා.

 ඉතින් ආදරණීය හදවතකට කළ නොහැක්කක් නොමැති බව මතක කරමින්ම, ඔබ අනිවාර්යයෙන්ම නරඹා තිබිය යුතු සංවේදී චිත්‍රපටයක් ලෙසට මා මෙය නම් කරනවා.

Top