හින්දි සිනමාවට ඔස්කාර් සම්මාන දිනාදුන් ටිංකරිං බාස් (764)

post-title

1947 අගෝස්තු මාසයේ දිනයක කොලු ගැටයෙක් මුම්බායි නගරයට පැමිණෙන්නේ සිය පවුලේ උදවිය සමඟ. ඉතා භයානක, විශ්වාස කළ නොහැකි දුම්රිය ගමනකින් ඔවුන් මෙසෙ පැමිණෙන්නේ පාකිස්තානයේ ඉඳලා. ඉන්දියාවෙන් කොටසක් වෙන්කර පාකිස්තානය යැයි නව රටක් නිර්මාණය කර සුදු ජාතිකයින් පවරා දෙද්දී ලේ ගංගා මතින් හින්දූන් හා මුස්ලිම්වරුන් දේශ සීමා තරණය කළා. සම්පූරණ් සිං කල්රා නැමැති මේ කොලු ගැටයා කෙසේ හෝ දිවි ගලවාගෙන සිය පවුල සමඟ මුම්බායට පැමිණෙනවා.

මුම්බායට පැමිනෙන මේ කොලු ගැටයාට සිද්ධ වෙන්නේ වාහන පේන්ට් කිරීමේ රස්සාවක නිරත වෙන්න. ඒ තමන් ඇතුළු පවුලේ උදවියගේ ජීවත්වීම සඳහායි. පියාගේ මඟපෙන්වීම නිසාම මේ කොලු ගැටයා ලේකකයෙකු වීම සඳහා යොමුවෙනවා. පන්හිඳ අතට ගන්නා විට අන්වර්ථ නාමයක් ඔහු ඔහුටම පටබැඳගන්නවා. හින්දි සිනමාව තුළ අදටත් නොමැකෙන ගීත ලියන ඔහු “ගුල්සාර්” නමින් එදා නිර්මාණය කරගත් අන්වර්ථ නාමය අද ඔහුගේ පවුලේ අනන්‍යතාවය වී තිබෙනවා.

ගුල්සාර් ගේ හින්දි සිනමා ආගමනය සිද්ධ වෙන්නේ 1963 බන්ධිනි නම් චිත්‍රපටයෙන්. එහි සංගීත අධ්‍යක්ෂවරයා වන්නේ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂ සචින් දේව් බර්මන්. ගුල්සාර්ගේ ගමන වේගවත් වෙන්නේ 1968න් පස්සේ. ඒ 1969 තිරගත වන කාමෝශි චිත්‍රපටයේ ගීත රචනාවන් එක්ක. මෑත කාලීන සිනමාවේ පෙරළිකාර ගීත ගනනාවක් ගුල්සාර් ලියා තිබෙනවා. ඒ අතර Dil se චිත්‍රපටයේ Chaiyya Chaiiya ගීතය, Guru, Bunty or babli, Raavan වැනි චිත්‍රපට ගීත අතිශය ජනප්‍රිය ගීත වෙනවා. ගුල්සාර් හැඳින්වෙන්නේ විශේෂණීය වූ හැඟීම් විස්තර කරන්නට සමත්කම් දක්වන ගීත රචකයෙක් විදියට. Slum dog Millionaire චිත්‍රපටයේ “Jai ho “ ගීතය ලිවීම වෙනුවෙන් ඔහු ඔස්කාර් සම්මාන මෙන්ම ග්‍රැමී සම්මාන පවා දිනාගන්නවා. ඒ සුප්‍රකට සංගීත අධ්‍යක්ෂ A.R. Rahaman සමඟ.

ගුල්සාර් ගීත රචකයෙක්ට පමණක් සීමා නොවී චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු ලෙසද හින්දි සිනමාවට දායකත්වය ලබාදෙනවා. ඒ අතුරින් 1971 ඔහු අධයක්ෂණය කළ Mere Apne චිත්‍රපටය ගැන වැඩි විචාරක අවධානයක් එකල යොමුවෙනවා. පාකිස්තානයෙන් පලා ආ ගුල්සාර් පසු කලෙක පාකිස්තානු ටෙලි කතා මාලාවකට ගීත රචනයෙන් පවා දායක වෙනවා. කවියෙකු ලෙස ඔහු ඉන්දියාව තුළ වෙනස්ම නමක් ආරූඪ කර ගන්නවා. ඔහුගේ බොහෝ රචනා උර්දු හා පන්ජාබ් බාසාවෙන් ලියැවී තිබෙනවා. Filmfair සම්මාන 26ක්, national Film Awards 5ක් මෙන්ම ග්‍රැමී හා ඔස්කාර් සම්මාන දිනා ඇති මේ අති විශිෂ්ඨ පද රචකයා අදටත් හින්දි සිනමාව වෙනුවෙන් ගී පබඳිනවා.

මෑතකදී තිරගත වූ සම්මාන පිට සම්මාන ලබාගත් Raazi චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ ගුල්සාර්ගේ දියණිය වූ මේග්නා ගුල්සාර්. ඇය ඇමරිකාවේ සිනමා අධ්‍යක්ෂණය පිළිබඳ උපාධි ධාරිණියක්ද වෙනවා. රාසි චිත්‍රපටයේ ගීත හැඩවෙන්නේ ගුල්සාර්ගේ පන්හිඳින්. පියාත් දියණියත් එක්ව ඉදිරියේදීත් හින්දි සිනමාවට නව නිර්මාණ දායාද කරනු නිසැකය. අපි ඔවුන්ට සුබපතමු.

Top