පාස්කු දූවේ නොවිසඳුණු අබිරහස (537)

post-title

පැසිෆික් සාගර කලාපයට අයත් පොලිනීසියානු දූපතක් වශයෙන් සැලකෙන " පාස්කු දූපත " චිලී රාජ්‍යයට අයත් දූපතක් වශයෙන් සැලකේ. එය චිලී රාජ්‍යයට අයත් වුවද පිහිටා ඇත්තේ එයට සැතපුම් 2,237ක් පමණ ගිණිකොණ දෙසට වන්නටය. පාස්කු දූව ප්‍රසිද්ධියට පත්වීමට හේතු වී ඇත්තේ එහි පිහිටා ඇති යෝධ ගල් පිළිමයි. මෙම යෝධ පිළිම නෙළුවේ කවුරුන්ද, කෙලෙසද, කුමක් සඳහා ද යන නොවිසඳුණු අබිරහස නිසාම ලොව පුරා එය ප්‍රසිද්ධියට පත් වීමට හේතු වී ඇත. 

පාස්කු දූපතේ මේ යෝධ පිළිමවල අභිරහස නිසාම මෑතකාලය වන විට බොහෝ පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් ඒ කෙරෙහි අවධානය යොමු කරමින් විවිධ අදහස් හා මතවාදයන් ඉදිරිපත් කරමින් සිටියි. මෝයි නමින් හැඳින්වෙන මේ යෝධ ගල් පිළිම 1000කට අධික සංඛ්‍යාවක් පාස්කු දූපතේ දක්නට ලැබෙන අතර ඒවායේ බිහිවීම සම්බන්ධව නොයෙක් මතවාද ඉදිරිපත් වුවද තවමත් ඒවායේ සත්‍ය අසත්‍යතාවය නිශ්චිත නොවේ. 

මුලින්ම මේ පිළිබඳ ඉදිරිපත් වන මතයක් වන්නේ මීට වසර 800කට පමණ පෙර පාස්කු දූපතේ පදිංචිකරුවන් ලෙස සැලකෙන ' රාපා නූයි' ජනයා මේ පිළිම නෙළන්නට ඇති බවයි. වර්තමානය වන විට පාස්කු දූපතේ වැඩි වශයෙන් ගස් දක්නට නොලැබෙන්නේ මෙම රාපා නූයිවරුන් යෝධ පිළිම නෙළීමට ඇති ආශාව නිසා එයට ආධාරක ලෙස ගස් ලබා ගත් නිසා බවද සැලකේ. මෙම පිළිම විශාලත්වයෙන් වැඩි වූ නිසා ඒවා ගෙන යාමට ශාකවල කඳන් යොදා ගත් බව සිතිය හැකිය.

මෙම පාස්කු දූපතට මුලින්ම පය තැබූ යුරෝපා ජාතිකයා වූයේ ලන්දේසි දේශගවේෂක යාකොබ් රොගෙවීන්ය. දූපතේ වෙරළාසන්නයට වන්නට ඉදිකර තිබූ මේ දැවැන්ත පිළිම ඔහු ඇතුළු කණ්ඩායම විශ්මයට පත් කිරීමට සමත් විය. මේ දූපත පාස්කු දූපත එසේත් නැත්නම් " ඊස්ටර් අයිලන්ඩ් " ලෙස නම් කරන ලද්දේ ද යාකොබ් රොගෙවීන් විසිනි. එතැන් පටන් යුරෝපා විද්වතුන් ඇතුළු විද්වතුන් රාශියකගේ වැඩි අවධානය එයට හිමිවිය. ඒ අනුව මේ දූපතේ මුල් පදිංචිකරුවන් කවුරුන්ද, මෝයි පිළිම නෙළුවේ කවුරුන්ද, ඒ සඳහා ඔවුන් භාවිත කළ තාක්ෂණය කුමක්ද, මේ පිළිම නිර්මාණය කළ නිර්මාණකරුවන්ට සිදුවූයේ කුමක්ද යන තවමත් නොවිසඳුණු ප්‍රශ්න කිහිපයකට ම පිළිතුරු සෙවීමට පර්යේෂකයන් තවමත් උත්සාහ ගනී.

ඒ අතර විසිවන සියවසේදී පාස්කු දූපතට පැමිණි නෝර්වීජියානු මානව විද්‍යාඥයෙකු වූ තෝර් හෙයඩාල්ගේ අදහස වූයේ මෙම දූපතේ ආදිතම ජනයා පොලිනීසියානු දූපත්වාසීන් නොව දකුණු ඇමරිකාවෙන් පැමිණි පිරිසක් බවයි. එහෙත් ඒ අදහස සනාථ කිරීමට තරම් ප්‍රමාණවත් සාධක හමු වී නොමැත. ඒ වගේම ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකෙන් විසින් රචිත නවකතාවක් වූ ' චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් ' හි දක්වන්නේ මෙම දූපතේ අතරමං වූ පිටසකවල ජීවීන් පිරිසක් විසින් මෙම දැවැන්ත මෝයි පිළිම ඉදිකරන්නට ඇති බවයි. ඒ වගේම මේ පිළිම නෙළීම පිළිබඳ ඉදිරිපත් වන තවත් මතයකට අනුව දූපතේ වාසය කල රාපා නූයී ජනයා විසින් පිළිම නෙළන්නට ඇති බවටද සැලකේ. 

පාස්කු දූපත පුරාවිද්‍යාත්මක ස්ථානයක් ලෙස ද වැදගත්කමක් හිමිකර ගනී. දහසකට අධික සංඛ්‍යාක් ඇති මේ නිසල ගල් පිළිම උසින් අඩි 3- 66 අතර ප්‍රමාණයකින් යුක්ත වනවා සේම එක් විශාල පිළිමයක් බරින් ටොන් 80ක් පමණ වන බව සැලකේ. මෙම යෝධ පිළිම පිළිබඳ පුරාවිද්‍යාත්මක වශයෙන් සොයා බැලූ තෝර් හෙයඩාල් ඇතුළු කණ්ඩායම නිර්ණය කළේ මෙම පිළිම නෙළා තිබෙන්නේ 'රානෝ රාරාකු' නම් අක්‍රීය ගිනි කන්දේ පාෂාණවලින් බවයි. ඒ වගේම 'අහු' නමින් පුද පූජා සඳහා වූ විශේෂ වේදිකා මත මේ පිළිම තබා තිබූ බවද ඔවුන්ගේ අදහසයි. කෙසේ වෙතත් ඔවුන් තවදුරටත් දක්වන්නේ මේ දූපත් වැසියන්ගේ මුතුන්මිත්තන් සිහි කිරිමේ අරමුණින් මෝයි පිළිම ඉදි කරන්නට ඇති බවයි. 

ඒ වගේම පාස්කු දූපත අවට පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන රාශියකම සාධක අනාවරණය කර ගෙන ඇත. ඒ අතර ලෙන්වල සාධක මෙන්ම ඒවායෙහි තිබී ඇටසැකිලි, ගල්, ලී කැටයම් ආදිය ද සොයා ගෙන ඇත. ඒ අතර විශේෂ වන්නේ ' රොන්ගෝ රොන්ගෝ ' නමින් හැඳින්වෙන චිත්‍රාක්ෂර ක්‍රමයක සාධක අනාවරණය වීමයි. එහෙත් මෙම චිත්‍රාක්ෂරවලින් කියවෙන අදහස වටහා ගැනීමට අද වන විටත් හැකියාවක් ලැබී නොමැත. මේ දැවැන්ත මෝයි පිළිම මෙන් ම මේ චිත්‍රාක්ෂර ක්‍රමය ද තවමත් නොවිසඳුණු අභිරහසකි. කෙසේවෙතත් ඈත අතීතයේ ජීවත් වූ උසස් ශිෂ්ටාචාරයක බල මහිමය මේ දැවැන්ත මෝයි පිළිමවලින් දැකගත හැකිය.

Top