ආත්මය අමරණීයත්වයෙන් ඇදහූ මිසර වැසියන් (440)

post-title

සැතපුම් හාරදහසක් පමණ ගෙවා අවසන මිසරය හරහා ගලා බසින නයිල් නදියෙහි පෝෂණය ලබමින් නයිල් මිටියාවත කේන්ද්‍ර කර ගනිමින් මිසර ශිෂ්ටාචාරයේ බිහිවීම සිදුවිය. මානව වර්ගයා කෙරෙහි මහත් බලපෑමක් කළ ඊජිප්තු ශිෂ්ටාචාරය නයිල් මිටියාවත නොවන්නට උතුරු අප්‍රිකාවේ සෙසු ප්‍රදේශ සේ ම මෙය ද කාන්තාරයක් වන්නට ඉඩ තිබිණි. ග්‍රීක ඉතිහාසඥයෙකු වූ හෙරඩෝටස් ' නයිල් ගඟේ දායදය ' ලෙසින් ඊජිප්තුව හැඳින්වූයේද ඊජිප්තු ශිෂ්ටාචාරය බිහිවීමෙහි මූලිකත්වය නයිල් නදියට හිමිවන නිසාවෙනි. උතුරු දෙසින් මධ්‍යධරණි සාගරය ද බටහිර දෙසින් කාන්තාරය ද නැගෙනහිර දෙසින් රතු මුහුද ද දකුණු දෙසින් නයිල් නදිය ද වශයෙන් පිහිටි ස්වභාවික දේශසීමා ඊජිප්තු ශිෂ්ටාචාරය බොහෝ කාලයක් සතුරු ආක්‍රමණවලින් ආරක්ෂා කොට තබා ගැනීමට උපකාරී විය. කෙසේ වෙතත් මේ මිසර සභ්‍යත්වය කොපමණ කාලයක් පැවතියේ ද යන්න නිශ්චිතව කිව නොහැකි වුවද පුරාවිද්‍යාඥයන්ගේ කාලනිර්ණය අනුව යුග තුනකට වෙන්කොට දක්වා ඇත. 

පිරමීඩ අවධිය (ක්‍රි.පූ. 3400 - ක්‍රි.පූ. 2700)

වැඩවසම් අවධිය (ක්‍රි.පූ.2500 - ක්‍රි.පූ.2000)

අධිරාජ්‍ය අවධිය (ක්‍රි.පූ.1600 - ක්‍රි.පූ.1100) 

රටේ පාලකයා මිහිපිට දෙවියන් වශයෙන් සැලකූ මිසර වැසියන් රජවරුන් 'පාරාවෝ' යන නාමයෙන් හැඳින්වීය. රජු ප්‍රමුඛ වංශධිපතිවරුන්, මධ්‍යම පංතිය සහ වහලුන් යන සමාජ කණ්ඩායම් තුනෙන් සමන්විත වූ ඊජිප්තු සමාජය තුළ ආගමික ඇදහිලි හා විශ්වාසයන්ට විශේෂ තැනක් හිමිවිය. නයිල් නිම්නයේ පැවති ආගමික ඇදහිලි හා විශ්වාස පිළිබඳ කතා කිරීමේ දී පවතින හොඳම ලිඛිත සාධකය ' මළවුන්ගේ පොත' නම් කෘතියයි.

මිසර වාසීන්ගේ ආගමික ඇදහිලි හා විශ්වාසයන් අතර පැවති ප්‍රධානම සංකල්පයක් ලෙසින් මරණින් මතු ආත්මය පිළිබඳ දැඩිව විශ්වාස කිරීම දක්නට විය. එනම් ආත්මයට සදාකාලික පැවත්මක් ඇති බව ඔවුන්ගේ විශ්වාසය විය. කිසියම් පුද්ගලයෙක් මියගිය පසු එම මියගිය පුද්ගලයාගේ ආත්මය දෙවියන් ළඟට යන බවත් එහිදී අසනු ලබන ප්‍රශ්වලට පිළිතුරු දීමට සිදුවන බවත් මිසර වැසියන්ගේ විශ්වාසය විය. එසේම යම් පුද්ගලයෙකුට අසනු ලබන ප්‍රශ්නවලට සාර්ථකව පිළිතුරු දී සමත් වීමට නොහැකි වුවහොත් ඔහු නිරයට යන බවත් ඔවුන්ගේ විශ්වාසය විය. එසේම මියගිය පුද්ගලයාගේ ආත්මය ගමන් කළා යැයි විශ්වාස කරනුයේ ' ඩුඅට්' නම් නිරයටයි. මීළඟ ආත්මයේ සාර්ථක ජීවිතයක් සහිත හොඳ උප්පත්තියක් ලැබීමට නම් ආත්මයට බාධක රැසක් ජය ගැනීමට සිදුවන බව මිසර වාසීහු විශ්වාස කළහ. එම බාධක අතරින් අසීරුම බාධකයට මුහුණදීමට සිදුවූයේ මිසර වැසියන් මරණයේ දෙවියන් ලෙස සැලකූ ' ඔසයිරස්' දෙවියන්ගේ මැදුරේදී ය. මෙහිදී මියගිය පුද්ගලයාගේ හදවතේ බර හා කුරුළු පිහාටුක බර තරාදියක තබා සසඳා බලනු ලබයි. කුරුළු පිහාටුවට වඩා හදවතේ බර වැඩි වුවහොත් ඒ පවුකාර ජීවිතයක් ගත කළ අයෙකි. එවැනි අයව නිරයේ සිටින මෘර්ගයෙකුගේ ආහාරය බවට පත් වේ. ඒ වගේම හදවතේ බර කුරුළු පිහාටුක බරට වඩා අඩු නම් ඔහු යහපත් ජීවිතයක් ගත කළ අයෙක් යැයි සලකා මීළඟ ලොවට යාමට අවස්ථාව ලබා දෙයි.' බටහිර රාජධානිය' ලෙස හැඳින්වූයේ එම ලෝකයයි. 

මරණින් මතු ඇතිවන ජීවිතය පිළිබඳ දැඩිව විශ්වාස කළ නිසාම මරණය හා ජීවිතය අතර ද අඛණ්ඩ සබඳතාවක් පැවති බව මිසර වාසීන්ගේ විශ්වාසය විය. එනිසාම මෘතදේහ වැදගත් වස්තුවක් ලෙස සලකා ඒවා වැඩි කාලයක් හානි නොවී තබා ගැනීමට උත්සාහ කළහ. මමිකරණ ක්‍රියවලිය මිසර සභ්‍යත්වය තුළ ව්‍යාප්ත වීම සිදුවූයේ මෙනිසාය. සිරුරේ වැදගත් ඉන්ද්‍රියයන් ඉවත් කර සිරුර හොදින් වේලා, එය තෙල්වල ගිල්වා රෙදි පටිවලින් හිසේ සිට දෙපතුල දක්වා වෙලීම මගින් මමිකරණය සිදුකොට ඇත. මමිකරණය කළ සිරුරු සොහොන් ගැබ්වල තැන්පත් කර පරලොව දී භාවිතය සඳහා වස්තූන් තැන්පත් කිරීමද සිදුකොට ඇත. මේ සිරිත වැඩි වශයෙන් පාරාවෝ නමින් හැඳින්වූ මිසර රජවරුන් හා ධනවතුන් අතර විය. මමිකරණයෙහි වර්ධනීය අවස්ථාව වුයේද පාරාවෝ විසින් මරණින් මතු ජීවිතය විශ්වාස කරමින් මෘතදේහ තැන්පත් කිරීමට පිරමීඩ නමින් හැඳින්වෙන දැවැන්ත ස්මාරක ඉදිකිරීමයි. පිරමීඩ ඇතුළත බිත්තිවල මරණින් මතු පැවැත්ම යහපත් කර ගැනීමේ මාර්ග කැටයම් කර ඇත්තේද ආත්මය පිළිබඳව පැවති විශ්වාසය නිසාය.

වඩාත් ඉපැරණි කාලවකවානුවක් නියෝජනය කළ මිසර සභ්‍යත්වය පිළිබඳ අදටත් නවමු මතවාද, අදහස් ඉදිරිපත් වන්නේත් පුරාවිද්‍යාත්මක සාධක අනාවරණය කර ගන්නේත් මරණින් මතු ආත්මය විශ්වාස කර ගනිමින් ඉදි වූ දැවැන්ත පිරමීඩ ඇසුරු කර ගනිමිනි. එයට හොඳම නිදසුන 1922 වර්ෂයේ දී බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥ හවර්ඩ් කාටර් විසින් ටුටන්කාමන් රජුගේ සොහොන් ගැබ සොයා ගැනීමයි. මේ නිසා මිසර සභ්‍යත්වය පිළිබඳ කතා කිරීමේ දී මරණින් මතු ආත්මය හා එහි අමරණීයත්වය පිළිබඳ පැවති විශ්වාසය සුළු කොට දැක්විය නොහැකිය. 

Top