ඇගේ ජීවිතයෙන් අපට ජීවිතය කියා දෙන නාඩියා මුරාද් (408)

post-title

මම දන්නෙ නෑ මම ඇයව කොහොම හඳුන්වන්නද කියලා. ඒත් ජීවිතය හොයාගෙන යන අතරෙ අහම්බෙන් මට මුණගැහුනා කතාවක් මේක. නිකන්ම නිකන් කතාවක් නෙමෙයි. යකඩ ගැහැනියක් කියලා හිතෙන සොදුරු ගැහැනියකගෙ කඳුලු අඳෝනාවක, ජයග්‍රාහී ඇරඹුමක ගමන් මඟක් ගැන කියවෙන අතිශය වේදනාකාරී කතාවක්.

ඇය නමින් නාඩියා මුරාද් ( Nadia Murad ) 

උතුරු ඉරාකයේ සිරියානු මායිමට ආසන්නයේ පිහිටා තිබුණු ඇගේ ගම්මානයට ඉස්ලාමීය ත්‍රස්ත කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කරනවා. ඇගේ මව සහ සහෝදරයන් හය දෙනෙකු ඇතුළු ඉස්ලාම් ආගම වැළඳගැනීම තරයේම ප්‍රතික්ෂේප කළ සියලුදෙනාවම ඒ ත්‍රස්ත කැරලිකරුවන් විසින් ඝාතනය කරනවා. ඒ වෙනකොට නාඩියා වයස අවුරුදු විසි එකක තරුණියක්.

ලිංගික වහලියක් ලෙස ත්‍රස්ත කඳවුරක් වෙත නාඩියාව රැගෙන යන මේ අමනයන් ඇයව දරුණු වද හිංසා සමඟම දූෂණය කරනවා. ඉස්ලාම් දහම වැළඳගැනීම තරයේම ප්‍රතික්ෂේප කල විට ඇගේ සිරුර සිගරට් දැල්ලෙන් පුළුස්සා විටින් විට දරුණු වධහිංසනයන් වලට ලක් කළ බව ඇය වේදනාවන් යුතුව ප්‍රකාශ කරනවා. හිතන්න මොනතරම් නම් ශාරීරික , මානසික වේදනාවක් ඈ උහුලන් ඉන්න ඇතිද? මාස තුනක කාලයක් ත්‍රස්තවාදී අමනයන්ගේ වධහිංසන වලට ලක් වූ ඇයව ලිංගික වහලියක් විදියට මේ අමනයින් කීප විටකම විකුණා දමනවා.

මේ වේදනාකාරී වධහිංසනයන්ගෙන් බේරි ඇය පලා ඇවිත් ත්‍රස්ත කැරලිකරුවන්ට ගොදුරු උන කාන්තාවන් වෙනුවෙන් හඬක් නඟනවා. ඇගේ කතාව මහ විශාලයි. ගැහැනියකට උහුලන්නට බැරිතරමට ඇය අත්විඳි අත්ඳැකීම් කියවන විට හිතට දැනෙන වේදනාව සුව කරන්න බැරිතරමට අපේ හිත් පාරනවා නේද ? 

ඇය අන්තිම මොහොත වෙනකල්ම සටන්කරන්න ඇති. ඇයට මියදෙන්නට පවා සිතෙන්නට ඇති

ඇය එලෙසින් ජීවිතය අත්හැර ගොස් තිබුනා නම් නොබෙල් ත්‍යාගයට ඇය උරුමකම් නොකියන්නට තිබුනා. ලෝකයක් ඇය ගැන අද කතාකරනවා.ඇයව හඳුනනවා. තමන් මුහුණ දුන් කටුක අත්දැකීම ගැන ඇය 2017 දී ලියූ සටහනක මෙන්න මෙහෙම සඳහන් වෙනවා.

"එක කාලයක දී දිගින් දිගටම මාව දූෂණය කළා. වෙන කිසි දෙයක් ලබා දුන්නේ නැහැ. අන්තිමට ඒක සාමාන්‍ය දින චරියාවේ කොටසක් බවට පත්වුණා

වචන කැටිකොට වේදනාව ලියලන්න බැරිතරමට හිර වී කකියන ඇගේ වේදනාව අකුරු කරන අපට මෙහෙම දැනුනා නම් ඇයට ඒ වේදනාව කොහොම දැනෙන්නට ඇතිද?

ත්‍රස්තවාදී අමනයන් ඇය මෙන් බලහත්කාරයෙන් රඳවා සිටින කාන්තාවන් වෙනුවෙන් ඇය මහත් අරගලයක් කරනවා. හඬක් නගනවා. ඒ අසුන්දර , අතිශය වේඳනාකාරි අත්ඳැකීම් එක්ක ඇය ඇගේ ජීවිතය එක්ක අරගල කරන ගමන් ඇය අත්විඳි වේදනාවන් තවකෙකුට උරුමකම් නොකියන්න ඇය මහත් ධෛර්යයෙන් ඇගේ ජීවිතය උඩුගම් බලා පා කරනවා.

  • මේ වන විට නාඩියා එක්සත් ජාතීන්ගේ විශේෂ තානාපතිවරියක ලෙස කටයුතු කරනවා. 
  • මිනිස් ජාවාරමෙන් ගැලවුන පුද්ගලයන් වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය නම් කළ ප්‍රථම විශේෂ තානාපතිනිය වීමට ඇයට හැකියාව ලැබෙනවා.
  • 2016 වසරේ දී ඇය ව නොබෙල් සාම ත්‍යාගය සඳහා නිර්දේශ වෙනවා. 
  • 2016 වසරේ දී මානව හිමිකම් සුරැකීම සඳහා දිවි පරදුවට තබා කටයුතු කරන්නන් වෙනුවෙන් යුරෝපා සංගමය ලබා දෙන සම්මානයද නාඩියා ට හිමි වෙනවා.
  • 2016 වසරේ “මානව හිමිකම් හා සිතීමේ නිදහස වෙනුවෙන්” යුරෝපා පාර්ලිමේන්තුව ලබා දෙන සම්මානයද ඇයට හිමි වෙනවා.
  •  ජාත්‍යන්තර අධිකරණය වෙත ඉදිරිපත්කර ඇති ත්‍රස්ත නඩු විභාග කිරීමේ අවස්ථා සඳහා සහභාගී වීමට පවා ඇය සුදුසුකම් ලබා තිබෙනවා.
  • 2018 වසරේ නොබෙල් ත්‍යාගයද ඇයට හිමිවෙනවා.

 ඇය මුහුණ දුන් ඒ වේදනාකාරී අමිහිරි මතකන් පිළිබඳව කෘතියක් “My Fight Against the Islamic State” නමින් ලියා පළ කරනවා.

ත්‍රස්තයන් විසින් මාව ලිංගික ශ්‍රමිකයෙක් බවට පත් කළා. ඒ කතාව අද මම ලෝකයටම කියනවා. ඒක තමයි මට ඇති හොඳම ආයුධය

ඇයි අපි ජීවිතය අත් අරින්නේ?

මේක මහ අමුතුම පරීක්ෂණයක්. අපි ආත්ම ගාණක් පුරාවටම එකතු කරන් ආව දේවල අඩුවැඩිය කිරලා මැනලා ලැබෙනකොට, ඒ චක්‍රය ඒ විදියටම කැරකෙන්න ඉඩ නොතියා වෙනස් මඟකට ගත්තම ආත්ම ගාණක සුවයක් ඔය හිත්වලට දැනේවි.

ඔබට මට මේ ලැබෙන්නෙ අපි හම්බකරගත් දේවල අඩුවැඩියයි.නාඩියා මුරාද් වේදනාවන් පරාජය කරන්න හුස්ම අල්ලන් ඉන්න අතිශය කටුක ශක්තිය ඔබත් එක්ක බෙදාගත්තේ ඇය ඇගේ ජීවිතය ඇය විසින්ම අල්ලා තියාගත් නිසාමයි.

ඔබට මට බෑ ජීවිතයෙන් පලායන්න.පලායන්න උත්සාහ කළ දිනක ඔබ වටහාගත් පරාජයන් හමුවේ ඔබම නැගිටින්න.එලෙසින් නැගිට තවත් කෙනෙකුට හුස්ම දෙන්න ජීවත්වෙන්න.

ස්තූති ! නාඩියා මුරාද් 

ඔබේ හුස්මෙන් ජීවිතය හොයාගෙන යන්නට පාර කියා දුන්නාට 

Top