ලොවට අබිරහසක් වූ ඇමෙරිකාවේ බිග්ෆුටි හෙවත් යෝධ ලොකු අයියා(331)

post-title

ගුප්ත සත්ත්ව විද්‍යාව එහෙමත් නැත්නම් Crypto zoology කෙනෙකුට හුරු පුරුදු විද්‍යාවක් විය හැකිය. තවකෙකුට ආගන්තුක විද්‍යාත්මක පසුබිමක් සපයන වෙනම ක්ෂේත්‍රයක් විය හැකිය. ඒ නිසාම අද මම සිතුවා මගේ අධ්‍යයන විෂයන් අතරින් බොහොම ප්‍රිය කරන ඇතැම් අය දත් ඇතැම් අය නොදත් ක්ෂේත්‍රයක් පිළිබදව ඔබත් සමග අධ්‍යයනයක යෙදීමට.... ඒ ගුප්ත සත්ත්ව විද්‍යාවයි

ගුප්ත සත්ත්ව විද්‍යාඥයන් යනු බිග්ෆුට්, ලොක් නෙස් විලේ මෘගයා, හිමාලයේ හිම මිනිසා යෙටී වැනි සැබෑවක් යැයි පැවසිය නොහැකි සතුන් පිළිබදව පර්යේෂණ පවත්වන විද්‍යාඥයින්ය. එම සතුන් සම්බන්ධයෙන් පවතින විද්‍යාව හැදින්වෙන්නේ ගුප්ත සත්ත්ව විද්‍යාව නමින්ය. ලොව පුරාම විසිරී පවතින මිථ්‍යාවලට පමණක් සීමා වුණු එම සතුන් සැබෑවක් යැයි ඔප්පු කිරීමට පර්යේෂණ සකස් කරමින් ඔවුන් පිළිබදව අධ්‍යයනයක යෙදීමට මෙම ගුප්ත සත්ත්ව විද්‍යාඥයන් කටයුතු කරමින් සිටී. මගේ මතකය නිවැරදි නම් පසුගිය වර්ෂයක ලොවම කතා බහට ලක්වුණු බිග්ෆුට් පිළිබදව දුර්ලභ ගණයේ වීඩියෝ සහිත දසුන් පෙළක් යූ ටියුබ් නාලිකාවෙහි ප්‍රසිද්ධියට පත් විය. මෙම ලිපිය ලියන මම ද මේ පිළිබදව අධ්‍යයනය කිරීමට සොයා යෑමට කැමැත්තක් දක්වන නිසාම එම දසුන් පෙළ රිසි සේ නැරඹුවෙමි. එම වීඩියෝ දසුන් පෙළට අයත් වන්නේ ඇමෙරිකාවේ යෙලොස්ටෝන් ජාතික වන රක්ෂිතයේ දසුන් පෙළකි. ඒ වන විට ඇමෙරිකාවෙන් දැඩි හිම පතනයක් වාර්තා වී තිබූ අතර යෙලොස්ටෝන් ජාතික වනෝද්‍යානය ද හිමෙන් වැසී තිබුණි. එම දසුන් පෙළේ බයිසන් ගවයන් දකින්නට ලැබුණු අතර පසුබිමින් ගස් අතර දෙපයින් ඇවිද යන දැවැන්ත මිනිස් රූප දෙකකි. පුදුමයකි. බැලූ බැල්මට මේ දැවැන්තයින් මිනිසුන් සේ පෙනුනත් ඔවුන් මිනිසුන් නොවන බව පැහැදිලිව පෙනෙයි. මෙම දසුන් නැරඹූ බොහෝ දෙනෙක් විශ්වාස කරන්නේ මෙහි සිටින්නේ ඇමෙරිකාවේ වාසය කරන බිග්ෆුට් කෙනෙක් කියාය. නමුත් ඇතැම් අය කියා සිටින්නේ මෙය සැබෑවක් නොවන බවයි. වීඩියෝ දසුන් පෙළෙන් තහවුරු කරගත් සාක්ෂි තිබීම නිසා එවැනි නිගමනයකට එළඹීමට ගුප්ත සත්ත්ව විද්‍යාඥයින් පෙළඹී තිබේ. එලෙස තහවුරු කරගත් ප්‍රධාන සාක්ෂිය වූයේ මෙහි දැවැන්තයින් හය දෙනෙකු දක්නට ලැබීමයි. බොහෝ සත්ත්ව විද්‍යාඥයින් සදහන් කරන්නේ බිග්ෆුට් සතුන් රංචු වශයෙන් ගැවසෙන බවයි. වානර මානවයෙකු ලෙස සැලකෙන බිග්ෆුට් ලොව පුරා විවිධ නම් වලින් හදුන්වයි. කැනඩාවේ දී මොවුන් හැදින්වෙන්නේ සැස්කොච් කියාය. කැනඩාවේ බි්‍රටිෂ් කොළොම්බියා ප්‍රාන්තයේත් ඇමෙරිකා එක්සත් ජනපදයේ වයඹදිග පැසිපික් කලාපයේත් වනාන්තරවල මෙම සත්ත්වයින් ජිවත් වෙයි. උතුරු විස්කොන්සින්හි ලැකෝටා ඉන්දියානුවන් මෙම යෝධයා හැදින්වූයේ චියේ-ටන්කා හෙවත් යෝධ ලොකු අයියා යන නමිනි. නේපාලයේ හා ටිබෙටයේ යෙටී නමිනුත් චීනයේ යෙරන් කියාත් හදුන්වයි.

ප්‍රිමාටේස් හෙවත් අග්‍රේශයන් පිළිබදව පර්යේෂණ සහ අධ්‍යයනයන්හි නියැලෙන ලොව අංක එකේ විශේෂඥවරියක් වන ඡේන් ගුඩෝල් ප්‍රකාශ කරන්නේ බිග්ෆුට් යනු සැබෑම සත්ත්වයෙක් බවයි. බිග්ෆුට් වානරයෙන් වන අතර සාමාන්‍ය වානරයෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල ලෝම වලින් මුලු සිරුරම වැසුණු දෙපයින් ඇවිද යා හැකි සත්ත්වයෙකු බව ඇය පෙන්වා දෙයි. ලෝකයේ පිළිගත් විද්‍යාඥවරියක ලෙස සැලකෙන ගුඩොල්ගේ අදහස් පහසුවෙන් බැහැර කළ නොහැකිය. ගුඩොල්ගේ අදහස පිළිගන්නා තවත් දෙදෙනෙක් ක්ෂේත්‍රය තුළ ක්‍රියාකාරී ලෙස සිය අධ්‍යයනයන් සිදු කරයි. ඉන් එක් අයෙක් වන්නේ ජෝඡ් ෂාලර්ය. ඔහු ඇමෙරිකානු වන ජීවී සංරක්ෂණ සමාජයේ විද්‍යා අංශයේ අධ්‍යක්ෂකවරයාය. අනෙක් පුද්ගලයා වන්නේ ලෝක ප්‍රිමාටේසයන් සුරැකිමේ සංවිධානයේ රසල් මිටෙමියේර්ය. ඔහු පසුගිය කාලයේදී නව ප්‍රිමාටේස් විශේෂ 10 ක් සොයා ගැනීමට සමත් විය. ඒ අවුරුදු 10ක් ඇතුළතය. 

ඇමෙරිකාවේ බටහිර ප්‍රදේශ වල කැණීම් සිදු කළ පුරා විද්‍යාඥයන්ට විවිධ පළාත් ගණනාවක වාසය කළ ස්වදේශීක රතු ඉන්දියානු ගෝත්‍රිකයන් ගල්වල කෙටූ චිත්‍ර හා රූප සටහන් හමු වී ඇත. එම රූප සටහන් වලින් පෙනෙන පරිදි ඇමෙරිකාවේ වනගත ප්‍රදේශවල රතු ඉන්දියානුවන්ට හමු වු නොයෙක් සත්ත්වයින්ගේ රූප සටහන් චිත්‍රණය කර ඇත. මෙම රූප සටහන් අතරින් පුරාවිද්‍යාඥයන් මවිත කල රූප සටහනක් හමු විය. ඒ දෙපයින් නැගී සිටින යෝධ වානරයෙකුගේ රූපයකි. උතුරු ඇමෙරිකාව තුළ වදුරන් හෝ වානරයන් ජීවත් නොවූ පසුබිමක ස්වදේශික ජනයා විසින් මෙවැනි රූපයක් ගල් වල කොටා තිබීම සත්‍ය ලෙසම මවිතයට හේතු වන්නකි.

බිග්ෆුට් පිළිබදව විද්‍යාඥයන් වැඩිපුර උනන්දුවක් දක්වන්නේ වද වී ගියා හෝ මිථ්‍යා කථා වලට පමණක් සීමා වුණා යැයි සිතූ ජීවීන් කිහිප දෙනෙකුම සැබෑවටම සිටිනා බව අද්‍යතනය වන විට තහවුරු වී ඇත. බිග්ෆුට් ඇසින් දුටු බවට ඇති සාක්ෂි 1820 වසර තෙක් ඈතට දිව යන්නකි. 1900 වසරේ සිට බිග්ෆුට් දුටු වාර්තා 2500කට වඩා ලැබී ඇත. මෑත කාලයේ දී වඩාත් පිළිගත හැකි අධිකරණ විද්‍යා සාක්ෂි ඉදිරිපත් වී ඇත්තේ බිග්ෆුට් යථාර්තයක් කරමිනි. ඒවායින් වඩාත් ප්‍රසිද්ධතම සාක්ෂිය ලෙස සැලකෙන්නේ 2000 වර්ෂයේ දී ශාන්ත හෙලන්ස් මිටියාවතේ මඩෙහි සටහන් වී තිබියදී සොයා ගත් පා සලකුණකි. 

ඇමෙරිකා එක්සත් ජනපදය එක්සත් ජනපද මෘගයන්ගේ ඇමෙරිකාව ලෙසට බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් වෙබ් අඩවිය හදුන්වා දුනි. බිග්ෆුට් පමණක් නොව ජර්සි ඩෙවිල්, මොත්මෑන් ආදි වශයෙන් ඇමෙරිකාව පුරා සෑම ජනපදයකින්ම නොයෙක් ආකාරයේ අපූරු මෘගයන් එසේත් නැතිනම් අපූරු සත්ත්ව ප්‍රභේදයන් හමුවී තිබේ. මෙම සතුන් සැබෑවක් හෝ බොරුවක් වුවත් ඇමෙරිකන් සිනමා, ප්‍රබන්ධ කතා, මාලා නාටක ජනප්‍රිය වීමට ඔවුන්ගේ සංතතිය බලපෑ බව කිව යුතුමය. ඇමෙරිකාව පුරා ඇති ජනපද සහ ප්‍රාන්තවල මෙවැනි අද්භූත සතුන් එසේත් නැතිනම් විකෘති මෘගයන් තිස් දෙදෙනෙකු වාසය කරන බව හදුනා ගෙන තිබේ. 

  1. ඇල්කලයි මෘගයා- මෙම සත්ත්වයා ඇල්කලයින් විලේ ජීවත් වන කිඹුලෙකු වැනි සතෙකි.
  2. ඇල්ටමහා මෘගයා- ලොක්නෙස් විලේ මෘගයා වැනි විලේ ජීවත් වන සත්ත්වයෙකි.
  3. බෙයාර් මෘගයා- විලේ ජීවත් වන මෘගයෙකි.
  4. බුස්කෝ මෘගයා- යෝධ ඉදිඹුවෙකි. ස්නැපින් ටර්ටල් නැමැති ඇමෙරිකාවේ වෙසෙන යෝධ ඉදිඹුවා සහ මෙම 

සත්ත්වයා අතර සමානකම් පවතින බව පැවසේ.

  1. බෙසී මෘගයා- විලේ ජීවත් වන මෘගයෙකි.
  2. බිග්ෆුට්
  3. බිග් බර්ඩ්- ඩයිනෝසෝර කුරුල්ලෙකු ලෙස සැලකෙන ටිරොඩැක්ටිල් වැනි සත්ත්වයෙකි.
  4. කැඩි- විලේ ජීවත් වන මෘගයෙකි.
  5. කැසී- විලේ ජීවත් වන මෘගයෙකි. චීන මිත්‍යා කතා වල මකරෙකු වැනිය.
  6. චෙසී- විලේ ජීවත් වන මෘගයෙකි.
  7. චෑම්ප්- විලේ ජීවත් වන මෘගයෙකි.
  8. චුපකාබ්රා- කෙසග කියෝටි නරියෙකු වැනි විරූපී සත්ත්වයෙකි.

13 පළල් හිසැති මෘදු රකුසා- විලේ ජීවත් වන යෝධ මත්සයෙක්

  1. හනී දුපතේ වගුරු සත්ත්වයා- වගුරේ ජීවත් වන දෙපයින් ඇවිද යන දැවැන්තයෙක් වන අතර මිනිසුන් ඩැහැ 

ගන්නා බිහිසුණු මෘගයෙකු ලෙසද හැදින්වෙයි.

  1. ෆූක් මෘගයා- දෙපයින් ඇවිද යන දැවැන්තයෙකි.
  2. ජර්සි ඩෙවිල්- විරූපී අශ්වයෙකු බදු වුවත් පියඹා යා හැකි යෝධ පියාපත් මෙම සත්ත්වයාට ඇති අතර දෙපයින් 

ගමන් කරන බවද පැවසෙයි.

  1. ක්‍රිස්පි- විලේ ජීවත් වන මෘගයෙකි.
  2. ක්නොබී- දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
  3. ස්කේප් ඕර් විලේ උරග මිනිසා - විලේ වෙසෙන දෙපයින් ඇවිදින මනුෂ්‍යයෙකු වැනි සත්ත්වයෙකි. උරගයෙකු 

මෙන් කොරල මෙම ජීවියාගේ සිරුරේ දකින්නට ලැබෙන බවද පැවසෙයි.

  1. ලව්ලෑන්ඩ් ෆ්‍රොග්මන් හෙවත් ගෙබි මිනිසා- මානවයෙකු බදු යෝධ ගෙම්බෙකි.
  2. මොගොලොන් මෘගයා- දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
  3. මොත්මෑන්- ඇමෙරිකාවේ වෙසෙනවායැයි පැවසෙන මෙම මෘගයන් අතරින් කැපී පෙනෙන මෘගයෙකි. මෙම 

සත්ත්වයා මනුෂ්‍යයෙකු වැනිය. පිටෙහි පියාපත් යුගලක් ඇති අතර රාත්‍රී කාලයේ අහසේ 

සැරිසරමින් මිනිසුන් පැහැර ගන්නා බව සැලකෙයි.

  1. මෝමෝ- දෙපයින් ඇවිදින දැවැන්තයෙකි.
  2. ඔසාක් හවුලර්- යෝධ ව්‍යාඝයකු බදු බිහිසුණු සත්ත්වයෙකි. මෙම සත්ත්වයාගේ ගර්ජනා රාත්‍රී කාලයේ 

අසන්නට ලැබෙයි.

  1. පැඩ්ලර්- විලේ ජීවත් වන මෘගයෙක්
  2. පුකුඩ්ජි - කුඩා දරුවෙකු වැනි මනුෂ්‍ය සත්ත්වයෙක් වන අතර ලොකු හිසක් සහ ලොකු කන් දෙකක් පිහිටා 

තිබේ.

  1. පෝප් ලික් මෘගයා- එලුවෙකුගේ හිසක් ඇති ලොකු අං යුගලක් සහ පාද වල කුර ඇති සත්ත්වයෙකි. දෙපයින් 

ගමන් කරයි.

  1. ෂොන්කා වොරකින්- මෙම සත්ත්වයා යෝධ වෘකයෙකි.
  2. ස්කන්ක් වානරයෝ- බිග්ෆුට් වැනි දෙපයින් ඇවිදින සත්ත්වයින් විශේෂයකි.
  3. ටෙසී- විලේ ජීවත් වන මෘගයෙක්
  4. තන්ඩර්බර්ඩ්ස්- යෝධ මාංශ භක්ෂක කුරුලු විශේෂයකි.
  5. වොම්පස් බිළාලයා- කොටියකු හා සමාන මාංශ භක්ෂක බිළාලයෙකි.

කෙසේ නමුත් බිග්ෆුට් අතිශය ජනප්‍රිය චරිතයකි. 2010 දී කැනඩාවේ වැන්කූවර්හි පැවති සීත ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ නිල සුරතලා ලෙස යොදා ගනු ලැබුවේ බිග්ෆුට් කෙනෙකුගේ රුවකි. ක්‍රීඩා බළධාරීන් විසින් ඔහුව නම් කරනු ලැබුවේ කොචී නම් වූ සුරතල් නාමයෙනි. 

තවත් දවසක ගුප්ත සත්ත්ව විද්‍යාවේ මෙවන් වූ ගවේෂණාත්මක ඉසව් ස්පර්ශ කරමු.



Top