post-title

පුරවැසිභාවය යන්න අර්ථ දැක්වීමේ දී එහි මූලික සංකල්පයක්, තේමාවක් වශයෙන් සක්‍රිය පුරවැසිභාවය යන්න පෙන්වාදිය හැකිය. සක්‍රිය සහ නිෂ්ක්‍රිය යන ප්‍රභේදයන් ද්විත්වය යටතේ පුරවැසියන්ගේ කාර්ය භාර්ය පිරික්සීම මෙම සංකල්පය යටතේ සිදුකරනු ලබයි. පුරවැසිභාවය නිර්මාණයවීමත් සමඟ යටත්වැසියා පුරවැසියෙකු බවට පරිවර්ථනය වීමත් සමඟ පුරවැසියාගේ කාර්ය භාර්ය කුමක්ද යන්න සම්බන්ධයෙන් අධ්‍යනය කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශයට පත්වීම සිදුවිය. ඒ අනුව විවිධ දේශපාලන දර්ශනයන් විවිධ ආකාරයේ දෘෂ්ටිකෝණයන් යටතේ සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කර ඇත.

සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් වූ අදහස් ග්‍රීක යුගය දක්වා ව්‍යාප්ත වේ. එහිදී ඇරිස්ටෝටල් විසින් ප්‍රකාශයට පත්කරනු ලැබූ අදහස් වැදගත් වේ. ග්‍රීක ‌පවුර රාජ්‍ය ක්‍රමය තුළ පුරවැසිභාවය සක්‍රිය වුයේ අවුරුදු 20ට වැඩි, පිරිමිකම, වත්කම, අධ්‍යාපනය යන කොන්දේසි සැපිරූ පිරිස්වල පමණි. ග්‍රීක පවුර රාජ්‍ය ක්‍රමය තුළ පුරවැසිභාවය ප්‍රධානය කිරීමට හේතු වූ කොන්දේසි මත පුරවැසිභාවය සක්‍රියවීම සිදුවිය. ඒ අනුව ග්‍රීක පවුර රාජ්‍ය ක්‍රමය තුළ පුරවැසිභාවය වනාහී සීමිත ප්‍රජාතන්තවාදී රාමුවක් යටතේ ක්‍රියාත්මකවූවකි. මෙලෙස සීමිත අවකාශයක් මත සීමිත පිරිසක් පුරවැසියන් වශයෙන් නම් කිරීම සහ ඒ හරහා ඔවුන් සක්‍රියව කටයුතු කිරීම තුළ සමාජයේ අති බහුතරයක් පුරවැසිභාවය නොලැබීම මත නිශ්ක්‍රිය පිරිස් වශයෙන් කටයුතු කිරීම සිදුවිය. විශේෂයෙන්ම ස්ත්‍රීන්, වහලුන් යන ආදී වශයෙන් පුරවැසිභාවය නොලද පිරිස් සක්‍රිය පුරවැසියාගේ ආධිපත්‍ය යටතේ පාලනයවීම සිදුවිය. ඒ අනුව ග්‍රීක යුගය තුළ පුරවැසිභාවය හිමිවූ සීමිත පිරිසගේ පමණක් පුරවැසිභාවය සක්‍රියවීම සිදුවිය.

සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ඉදිරිපත් කරන්නෙකු වශයෙන් රූසෝ පෙන්වාදිය හැකිය. 1762 දී ඔහු විසින් රචිත සමාජ ගිවිසුම (Social Contract) කෘතිය හරහා සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරයි. රූසෝගේ දේශපාලන මතවාදය තුළ හදුනාගත හැකි සුවිශේෂීත්වය වන්නේ ජනතා පරමාධිපත්‍ය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමයි. රාජ්‍යයේ පරමාධිපත්‍ය බලය ජනතාව සතු වන බවත් එය බෙදිය නොහැකි, පැවරිය නොහැකි දෙයක් බවටත් ඔහු පෙන්වාදෙයි. රූසෝගේ මෙම ජනතා පරමාධිත්‍ය යන අදහස කේන්ද්‍ර කොට ගනිමින් ඔහු සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කරනු ලබයි. රූසෝ ඉදිරිපත් කරන සමාජ සම්මුතිය හෙවත් ගිවිසුම හරහා රාජ්‍යයේ සම්පූර්ණ බලය ජනතාව වෙතට පවරාදෙනු ලබයි. එම බලය හරහා ජනතාව අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාගේ සුභ සිද්ධිය සැලසීමටත්, අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත්, ප්‍රජාතන්ත්‍රවාදී අගයන් පවත්වාගෙන යාමටත් කටයුතු කරන බව රූසෝ පෙන්වාදෙනු ලබයි. ඒ අනුව රූසෝ පෙන්වාදෙනු ලබන්නේ එකිනෙකාගේ පොදු යහපත අරමුණු කරගනිමින් දේශපාලන ක්‍රියාකාරකම්හි නිරතවීම “සක්‍රිය පුරවැසිභාවය” ලෙසයි.

ප්‍රජාවට වඩාත් සුදුසු මොනවාද යන්න තීරණය කරන්නේ සහ සුදුසු නීති සම්පාදනය කරනු ලබන්නේ සියලු පුරවැසියන් එකතුව සාකච්ඡා කිරීමෙනි. පාලක සහ පාලිත යන භූමිකා ද්විත්වයම රඟ දක්වනු ලබන්නේ පුරවැසි ජනතාව විසිනි. රූසෝ තවදුරටත් පෙන්වාදෙනු ලබන්නේ පුද්ගලයෙකුට අපේක්ෂා කළ හැකි උතුම්ම කාර්ය වන්නේ පුරවැසියන් ලෙස ක්‍රියා කිරීම බවයි. නිදහස ආරක්ෂා කිරීමට පවතින එකම මාර්ගය වන්නේ පුරවැසියන් විසින් දේශපාලන බලය පරිස්සමෙන් හා වගකීමෙන් යුතුව භාවිතා කිරීම තුළ බව රූසෝ පෙන්වාදෙනු ලබයි. ඒ අනුව රූසෝ සක්‍රිය පුරවැසිභාවය යන්න අරුත් ගන්වනු ලබන්නේ පොදු යහපත උදෙසා කැපවූ, පොදු කැමැත්ත උදෙසා කටයුතු කරන පුරවැසියන් පිරිසකගේ එකතුවක් ලෙසයි.

1980 පමණ වන විට නව ලිබරල්වාදී දේශපාලන මතවාදයන් ඔස්සේ සක්‍රිය පුරවැසිභාවය සම්බන්ධයෙන් තවදුරටත් අදහස් ඉදිරිපත්වීම සිදුවිය. ලිබරල්වාදය තුළින් ප්‍රකාශයට පත්කරනු ලැබූ රාජ්‍ය සුභසාධනවාදී මතවාදයන්ගේ බිඳවැටීම සහ එයට විකල්ප වශයෙන් ඉදිරිපත්කරනු ලැබූ රාජ්‍යයේ අවම මැදිහත්වීම යන සංකල්පයන් ඔස්සේ රාජ්‍ය සහ පුරවැසියන් අතර සම්බන්ධය නැවත කියවීමක් සිදුකරන ලදි. මෙම අවමවාදී සංකල්පය ඔස්සේ පුරවැසියන්ගේ පුද්ගල ස්වායක්තතාව (Individual Autonomy) ඉදිරියට ගනු ලැබුවේ පුරවැසියා පාරිභෝගිකයෙකු කිරීමෙනි. මෙම ක්‍රමය යටතේ පුරවැසිභාවය අර්ථ දක්වනු ලැබුවේ සහ එය සක්‍රීය කරනු ලැබුවේ ආර්ථිකමය මුහුණුවරක් යටතේය. ඒ තුළ පුරවැසියා සක්‍රීය විය යුත්තේ ව්‍යාපාරික හැගීමක් යටතේය. ඒ අනුව සක්‍රීය ව්‍යාපාරිකයා යන අදහසින් පුරවැසිභාවය අර්ථ දැක්වීම සිදුවිය.

සිවිල් සමාජ දේශපාලනයේ නැගීම තුළ සක්‍රිය පුරවැසිභාවය අරුත්ගන්වනු ලැබුවේ පුරවැසියන්ගේ දේශපාලන ක්‍රියාකාරීත්වය ( Civil Political Activism) ලෙසිනි. ඒ අනුව සිවිල් දේශපාලන ක්‍රියාකාරීන් විසින් පුරවැසිභාවය සක්‍රීය වීම යනු පුරවැසියා දේශපාලන ක්‍රියාකාරකම්හි වැඩි වැඩියෙන් නිරතවීම වශයෙන් පෙන්වාදෙනු ලබයි. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු රාජ්‍යන්වලද, දකුණු කොරියාව, තායිලන්තය, පිලිපීනය වැනි රාජ්‍යන්වලද උග්‍ර මර්ධනකාරී අධිකාරීවාදී ආණ්ඩුවලට එරෙහිව පුරවැසියන් කටයුතු කරනු ලැබුවේ මෙම සක්‍රීය පුරවැසිභාවය යන්න පදනම් කර ගෙනය. 

“මිනිසා දේශපාලන සත්වයෙකු” යන නිර්වචනය තුළ මිනිසා සහ දේශපාලනය අතර පවතින අත්‍යන්ත වූ බැදීම කොතෙක් වූ ඉහළ පරාසයක් දක්වා ව්‍යාප්තවනවාද යන්න සම්බන්ධයෙන් අවබෝධ කරගත හැකිය. ඒ තුළ පුරවැසියාගේ සක්‍රීයවීම වනාහී අත්‍යන්තයෙන්ම දේශපාලන සංසිද්ධියකි. පුරවැසියාට වටිනාකමක් අගයක් හිමිවනුයේම දේශපාලනමය වශයෙන් ඔහු තුළ පවතින සක්‍රීයත්වය හා සබුද්ධිකත්වය පදනම් කොටගෙනය. නමුත් සැබෑ ප්‍රායෝගිකත්වය තුළ, සැබෑ යථාර්ථය තුළ දේශපාලනමය වශයෙන් පුරවැසියාගේ සක්‍රීයත්වය ඇල්මැරුණු ස්වභාවයකින් ක්‍රියාත්මක වේ. එනම් නිෂ්ක්‍රීය ස්වභාවයක් දැකගත හැකිය. පුරවැසිභාවය දේශපාලන සක්‍රීයත්වයෙන් තොරව විග්‍රහ කිරීමටත්, අවබෝධ කර ගැනීමටත් සමාජය පුරුදුව සිටී. විශේෂයෙන්ම නව ලිබරල්වාදී දේශපාලන මතවාදයන් ඔස්සේ පුරවැසි සක්‍රීයත්වය ප්‍රකාශ කරනුයේම ආර්ථිකමය මුහුණුවරකින්ය. කෙසේ නමුත් නව ලිබරල්වාදී දේශපාලන මතවාදයන් ඔස්සේ පුරවැසිභාවය ආර්ථික මුහුණුවරක් යටතේ විග්‍රහ කරනු ලැබූවත් ආර්ථිකමය වශයෙන්ද පුරවැසියාට අභිවෘදිය ළගා කරගත හැක්කේ දේශපාලනමය වශයෙන් පුරවැසියා සක්‍රීයවීම තුළම පමණි. එනම් ලිබරල්වාදීන් අරුත්ගන්වනු ලබන ආකාරයට සක්‍රීය පුරවැසිභාවය තුළින් ප්‍රකාශයට පත්වන්නේ ආර්ථික සම්බන්ධතාවයක් නම් එම ආර්ථික සම්බන්ධතාවය එනම් වෙළදපොළ ක්‍රමය පවත්වාගෙන යාමට උපකාරී වන නිදහස් දේශපාලන වාතාවරණයක් පැවතිය යුතුය. පුරවැසියා ව්‍යාපරිකයෙකු වන අවස්ථාවන් තුළ ඔවුනට තම ව්‍යාපාරයන් කරගෙන යාම උදෙසා අවශ්‍ය කරන ප්‍ර‍රතිපත්තිමය වෙනස්කම් සහ බිඳවැටීමකින් තොරව ශක්තිමත්ව ව්‍යාපාරයන් කරගෙන යාමට උපකාරීවන නිදහස් පසුබිමක් නිර්මාණය කිරීම පවතින දේශපාලන අධිකාරිය විසින් සිදුකළ යුතුය. එමෙන්ම පුරවැසියා පාරිභෝගිකයෙකු වන අවස්ථාව තුළ සිතැගි පරිදි භාණ්ඩ මිලදී ගැනීමේ මූල්‍යමය ශක්තිමත්භාවය සහ ඉල්ලුමට සරිලන ආකාරයෙන් ගුණාත්මක හා කාර්යක්ෂමව භාණ්ඩයන් සපයා ගැනීමට අවශ්‍ය කරන වටපිටාව දේශපාලන අධිකාරිය විසින් නිර්මාණය කළ යුතුය. ඒ අනුව ආර්ථික සම්බන්ධතාවයන් ද වඩාත් සුමට ලෙස පවත්වාගෙන යාමට නම් දේශපාලන ව්‍යුහය ශක්තිමත්ව පැවතිය යුතුය. දේශපාලන ව්‍යුහය ශක්තිමත් හා විනිවිද භාවයෙන් යුතුව පැවතීමට නම් පුරවැසියා සක්‍රීයව දේශපාලනයට සම්බන්ධ විය යුතුය. දේශපාලන ව්‍යුහය තුළ සිදුවන ඉතා කුඩා වෙනසකට පවා සංවේදීවීමේ හැකියාව සහ දුර්වලතාවයන් පහසුවෙන් හදුනාගනිමින් ඒවා නිරාකාරණය කිරීම උදෙසා දේශපාලන ව්‍යුහය යොමු කිරීම පුරවැසියන්ගේ වගකීම වේ. 

සක්‍රීයව දේශපාලන ක්‍රියාකාරකම්වල නිතර වෙමින් පුරවැසි වගකීම නිසි ආකාරයෙන් ඉටු කරමින් අධූරදර්ශී පාලනයන් පෙරලා දැමීමට පුරවැසියන් කොතෙක් කටයුතු කර ඇතිද යන්න සම්බන්ධයෙන් අසීමිත වූ පරමාදර්ශයන් ලෝකයේ බෝහෝ රාජ්‍යන් තුළින් දැකතග හැකිය. එවැනි පරමාදර්ශයන් ආදර්ශයට ගනිමින් බලා හිදින්නන්ගේ සිට දේශපාලනය කරන්නන් දක්වා වූ සක්‍රීය පරිවර්ථනයක් ඇති කර ගැනීමට පුරවැසියන් ලෙස පෙළගැසීම අත්‍යන්ත අවශ්‍යතාවයකි.‍

Top