බ්‍රිතාන්‍ය පාලනය යටතේ ලක්දිව ඉඩම් ප්‍රතිපත්තිය (564)

post-title

අනාදිමත් කාලයක සිට ලක්දිව ක්‍රියාත්මක වූයේ සාම්ප්‍රදායික ඉඩම් භුක්ති ක්‍රමය පදනම් කරගත් කෘෂි ආර්ථික රටාවකි. පුරාතනයේ මෙරට ජනගහනයෙන් වැඩි කොටසකගේ ජීවනෝපාය මාර්ගය කෘෂිකර්මාන්තය වූ නිසා ම එසමයෙහි ලක්දිව ඉඩම්වලට හිමි වූයේ ද සුවිශේෂී තත්ත්වයකි. ඒ අනුව කුඹුරු ඉඩම්, ගොඩ ඉඩම්, කැළෑ ඉඩම් ආදී වශයෙන් ඉඩම් පංගු කිරීමේ ක්‍රමයක් ද සහිතව කාලයක් යන තුරු මෙරට සාම්ප්‍රදායික ඉඩම් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වූ අතර එය ලක් වැසියන්ට ආවේණික ක්‍රියාවලියකට අනුව සිදුවිය. එහෙත් යුරෝපා ජාතීන්⁣ගේ ආගමනයත් සමඟ මෙරට සාම්ප්‍රදායික වශයෙන් ක්‍රියාත්මක වූ ඉඩම් ප්‍රතිපත්තියෙහි වෙනස්කම් රාශියක් දක්නට විය. 

ශ්‍රී ලංකාවේ ඉඩම් ප්‍රතිපත්තිය පිළිබඳව වැදගත් තීන්දු තීරණ රාශියක් ගනු ලැබුවේ ක්‍රි.ව.1796 - 1948 දක්වා ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය පාලන සමයේදී ය. වර්ෂ 1815 මුළු දිවයිනම යටත් කර ගන්නා බ්‍රිතාන්‍යයන් 1948 දී නිදහස උරුම වන තෙක්ම මෙරට පාලනය කරනු ලැබූවේ ඉංග්‍රීසි ධනේශ්වර නිෂ්පාදන ක්‍රමයකට අවශ්‍ය වූ වතු වැවිලි ආර්ථික ක්‍රමයක් ගොඩනැගීමේ පරමාර්ථය සහිතව ය. ඒ අනුව බ්‍රිතාන්‍ය ආධිපත්‍යය යටතේ මෙරට ඉඩම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගනු ලැබූ මුල්ම සහ වැදගත්ම ක්‍රියාමාර්ගය වූයේ 1833 දී හඳුන්වා දුන් කෝල්බෲක් ප්‍රතිසංස්කරණය ඔස්සේ රාජකාරී ක්‍රමය අහෝසි කිරීමයි. එලෙස රාජකාරී ක්‍රමය අහෝසි කිරීමත් සමඟ ඉඩම් සම්බන්ධයෙන් පැවති නීති රීතිවලින් නිදහස් වී තමන් කැමති පරිදි ඉඩම් විකිණීමට, බදු දීමට මෙන්ම වෙනත් රැකියාවල නිරත වීමට ද මෙරට ජනයාට අවස්ථාව උදා විය. කෙසේ වුවද ඉඩම් සම්බන්ධයෙන් ජනයාට මේ අයුරින් ලැබුණු නිදහස බ්‍රිතාන්‍යයන්ගේ අවස්ථාවෝචිත උපක්‍රමවල එක් පියවරක් විය. එනම් වතු අර්ථ ක්‍රමයකට මඟපාදා ගැනීමයි. 

කෝල්බෲක් ප්‍රතිසංස්කරණය යටතේ එලෙස ආරම්භ වූ ඉඩම් ප්‍රතිපත්තිය බ්‍රිතාන්‍යයන්ට අවශ්‍ය වූ අරමුණ සාක්ෂාත් වන තෙක්ම ක්‍රියාත්මක විය. ඒ අනුව 1840 අංක 05 සහ අංක 12 දරන ඉඩම් ආඥා පනත ඒ අතරින් එක් අවස්ථාවකි. මෙහිදී පුද්ගලයන් භුක්ති විඳි ඉඩම්වල අයිතිය ඔප්පු කළ යුතු වූ අතර එසේ නොවන ඉඩම් බ්‍රිතාන්‍ය කිරීටයට අයත් ඉඩම් වශයෙන් රජයට පවරා ගනු ලැබීය. ඒ නිසා ගැමියන් සතු වූ පාරම්පරික ඉඩම් බොහෝමයක් ඔවුන්ගෙන් ගිලිහී යන්නට විය. ඉන් අනතුරුව 1856 අංක 10 දරන විහාර දේවාලගම් ආඥා පනත මඟින් විහාරස්ථාන සතු ඉඩම්වලට අත පෙවීමට ද බ්‍රිතාන්‍යයන් උත්සාහ ගනු ලැබීය. එහිදී විහාරස්ථාන සතු ඉඩම් පිළිබඳ ලේඛනයක් සකස් කිරීමට ක්‍රියා කළ අතර ඒ සඳහා වියදම් දැරීමට සිදුවූයේ විහාරස්ථානවලට ය. එහෙත් එවන් කටයුත්තකට වියදම් දැරීමට නොහැකි වූ නිසා බොහෝ කාලයක් විහාරස්ථාන සතුව පැවති ඉඩම් බ්‍රිතාන්‍ය රජයට අයත් විය. ඒ වගේම ඉන් අනතුරුව 1872 දී ක්‍රියාත්මක වූ ධාන්‍ය බදු ආඥා පනත ද මෙරට ඉඩම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වැදගත් විය. එම පනතින් නියම වූ ආකාරයට ජනතාව ඉඩම්වලින් ලබා ගන්නා ආදායමෙන් රජයට බද්දක් ගෙවීමට නියම විය. ඒ ක්‍රියාමාර්ග හරහා ද මෙරට ජනයා දැඩි ලෙස පීඩාවට පත්විය.

දහනව වන ශතවර්ෂයේ බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තියෙහි තවත් එක් වැදගත් අවස්ථාවක් ලෙස 1897 පනවන ලද මුඩුබිම් ආඥා පනත වැදගත් වේ. එමගින් ගන්නා ලද ක්‍රියාමාර්ගය වූයේ වගා නොකරන ලද සියලුම ඉඩම් රජයට පවරා ගැනීමයි. ඒ ක්‍රියාමාර්ග හරහා සිදුවූයේ ගැමියන්ට ඉතිරි වී තිබූ පාරම්පරික ඉතා සුළු ඉඩම් ප්‍රමාණය ද බ්‍රිතාන්‍යයන් සතු වීමයි. එලෙස ලබා ගන්නා ලද ඉඩම් ඉතා සුළු මුදලකට යුරෝපීය සහ ස්වදේශීය ආයෝජකයන්ට වතු වගා කටයුතු සඳහා විකුණනු ලැබීය. 

මේ අයුරින් ක්‍රියාත්මක වූ බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තිය නිසා මෙරට ගැමි ජනයාගේ ප්‍රධානම නිෂ්පාදන සාධකය ඔවුන්ට අහිමි විය. බ්‍රිතාන්‍ය ඉඩම් ප්‍රතිපත්තියට එරෙහිව වරින් වර ජනතාව අතර උද්ඝෝෂණ හටගත්තේ එහෙයිනි. ඒවායේ ප්‍රතිඵල ලෙසින් 1927 දී ඉඩම් කොමිසමක් පත් කිරීම මෙන්ම ඉඩම් නිරවුල් කිරීමේ සහ ඉඩම් සංවර්ධන ආඥා පනත් හඳුන්වා දෙමින් ගැමි ජනයාට යම් සහනයක් ලබා දීමට ක්‍රියා කරනු ලැබීය. කෙසේ වෙතත් මේ අයුරින් බ්‍රිතාන්‍යයන් විසින් වතු අර්ථ ක්‍රමයක් ඇති කිරීමේ අරමුණින් ලක්දිව ඉඩම් සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ග ලක්දිව සාම්ප්‍රදායික ඉඩම් ප්‍රතිපත්තියට මෙන්ම මෙරට ජනයාට ද දැඩිව බලපෑම කරන ලද්දක් විය.

Top