අනාගත මිනිසාගේ අලුත් නවාතැන වන චන්ද්‍ර ගම්මානයෙහි පදිංචියට යාමට ඔබ සූදානම් ද? (396)

post-title

නූතන තාක්ෂණික විප්ලවයත් සමග සඳ ජය ගැනීම මුළු මහත් ලෝකයටම එකළ විශ්මයජනක සංසිද්ධියක් විය. 1969 වර්ෂය ඇමෙරිකාවත් සෝවියට් දේශයත් සඳට යෑමේ තියුණු තරගයක යෙදී සිටි උණුසුම් වර්ෂයක් වූ බවට හැදින්විය හැකිය. මුළු ලොවම මෙම රටවල් දෙක කෙරෙහි දෑස් දල්වා බලා සිටි බව නොරහසකි. සෝවියට් දේශය විසින් පෘථිවිය වටා කෘතිම චන්ද්‍රිකාවක් සාර්ථක ලෙස කක්ෂගත කොට ලෝකය අභ්‍යවකාශ යුගයක් කරා ගෙන ඒමට සමත් වුණි. එමෙන්ම මිනිසෙකු අභ්‍යවකාශගත කොට නිරූපද්‍රිතව ඔහු යළි පෘථිවියට ගෙන්වා ගනු ලැබීමේ ගෞරවය ද හිමි වන්නේ සෝවියට් දේශයටයි. සෝවියට් දේශය හඳ ඇල්ලීමේ තරගයක යෙදී සිටින අවධියේ දී ඇමෙරිකා එක්සත් ජනපදය ද ඇපලෝ යෝජනා ක්‍රමය යටතේ හඳ ඇල්ලීමේ කටයුතු සිදු කිරීමට යෙදුණි. එකළ බොහෝ දෙනාගේ මතය වූයේ සඳ ඇල්ලීම, සඳ තරණය කිරීම ඉටු නොවන ක්‍රියාවලියක් බවයි. එය නිශ්ඵල ක්‍රියාවලියක් ලෙස හුවා දැක්වීමට බොහෝ දෙනා උත්සාහයක යෙදුණි.

හඳට ගියොත් දරුවෝ අපේ බුද්ධාගමත් බොරු වෙනවා..... මේක කවදාවත් සිදුවෙන්නේ නැති දෙයක්. මාත් හිතනවා ඇමෙරිකන් කාරයින්ට හඳට යන්න බැරි වෙයි කියලා....

යනුවෙන් 1969 වර්ෂයේ දී කොළඹ ආනන්ද මහා විද්‍යාලයේ විදුහල්පති ආනන්ද කුලරත්න මහතා විසින් තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා මහතාට වරක් ප්‍රකාශ කර සිටි බව එක්තරා පුවත්පත් ලිපියක තිබෙනවා මම දුටුවෙමි. නමුත් මෙම වාග් ප්‍රකාශය නිරර්ථක නිශ්ඵල ප්‍රකාශයක් බවට පත් කරමින් 1969 වර්ෂයේම ජූලි 20වැනිදා ඇමෙරිකානු අජටාකාශගාමීන් තිදෙනා සද තරණය ජය ගත්හ. ඒ අනුව ඇමෙරිකන් ගගනගාමීන් වන නීල් ආම්ස්ට්‍රෝන්, එඩ්වින් ඔල්ඩ්රින් සහ මයිකල් කොලින්ස් රැගත් චන්ද්‍ර යානය සඳට ගියේය. සඳ මත පා තැබූ මුල්ම මිනිසා වූයේ නීල් ආම්ස්ට්‍රෝන්ය. එදා සඳ ඇල්ලීම කළ නොහැකි දෙයක් බව සිතුවත් නූතන අභ්‍යවකාශ විද්‍යාවේ පෙරළියත් සමග අද වන විට සඳ මතුපිට ජනාවාස ඉදි කිරීමේ ව්‍යාපෘති ආරම්භ කර ඇත. ශ්‍රී ලංකාවේ කීර්තිමත් තාරකා විද්‍යාඥයෙකු වූ ආතර් සී. ක්ලාක් මහතා කෙදිනක හෝ සඳ මතුපිට ජනාවාස ඉදි කළ හැකි බවට සදහන් කළ අනාවැකිය අද්‍යතනය වන විට සැබෑවක් වී ඇති බව ද කිව යුතුය.

වසර 2030 වන විට සඳ මතුපිට ජනාවාස පිහිටු වීමට තමන් බලාපොරොත්තු වන බව යුරෝපීය අභ්‍යවකාශ ආයතනය පැවසුවේය. මේ සදහා ත්‍රිමාණ නිවාස පද්ධතියක් එසේත් නැතිනම් චන්ද්‍ර ගම්මානයක් සැලසුම් කර ඒ පිළිබදව සාකච්ජා කිරීමට එම ආයතනයේ ඉංජිනේරුවන් සහ විද්‍යාඥයන් කටයුතු කළහ. ඔවුන් පෙන්වා දුන්නේ කුඩා ජනාවාසයක් එසේත් නැතිනම් චන්ද්‍ර ගම්මානයක් පිහිටුවීම 2030 වන විට පහසුවෙන් කළ හැකි බවත් මෙම ක්‍රියාදාමයට යුරෝපා අභ්‍යවකාශ මධ්‍යස්ථානය, ඇමෙරිකාව සහ රුසියාව පමණක් නොව සෙසු රටවලද සහාය ලබා ගනිමින් සැලසුම් සකස් කරන බවත් කියා සිටියේය. කෙසේ නමුත් අද වන විට එය සත්‍යයක් බවට පත් කරමින් සඳ මත වාසයට යාමට ඇමෙරිකාව සූදානමින් සිටී. ඒ සදහා මග පෙන්වන විස්තර පත්‍රිකා පවා මේ වන විට මුද්‍රණය කර බෙදා හැරීම් ආරම්භ කර අවසන්ය. සඳෙහි සෑම පුද්ගලයෙකුටම නැවතී සිටිමින් කාලය ගත කිරීමට අවස්ථාව උදා වෙයි. එහි මාසයක් නවතිනවානම් මාසික කුලිය වශයෙන් ඇමෙරිකන් ඩොලර් 3,25,067ක් එනම් රුපියල් 65 ලක්ෂයක් වැය කිරීමට සිදු වෙයි.

මෙම චන්ද්‍ර ගම්මානය සැලසුම් කිරීමේ දී පළමු නිවාසය ඉදි කිරීම සදහා ඇමෙරිකන් ඩොලර් මිලියන 40ක් එනම් රුපියල් වලින් කෝටි 800කට වඩා වැය වනු ඇති බව පැවසෙයි. ඉන් පසු ඉදි කිරීම් සදහා මෙතරම් මුදලක් වැය නොවනු ඇත. එයට හේතුව ලෙස එම ඉදි කිරීම් සදහා අවශ්‍ය අමුද්‍රව්‍ය සඳට ගෙන ගොස් තිබෙනු ඇත. මෙම ජනාවාස ඉදිකිරීම් සම්බන්ධයෙන් අභ්‍යවකාශ ගවේෂණය සම්බන්ධයෙන් විශේෂඥයින් රැසකගේ සහභාගීත්වයෙන් නෙදර්ලන්තයේ නූර්වික් නුවර දී සාකච්ජාවක් පැවැත්වූහ. මෙයට ලොව අභ්‍යවකාශ ආයතන නියෝජනය කරන බොහෝ දෙනෙක් සහභාගී වූ අතර ඔවුන්ගේ අදහස් මෙම ව්‍යාපෘතිය සදහා බෙහෙවින් උපකාරී වූ බවද කිව යුතු මනාය. ඒ අනුව 2020 සිට 2030 තෙක් කාලයේ දී අභ්‍යවකාශ ගවේෂණ සහ චන්ද්‍ර නිවහන පිළිබදවත් නව තාක්ෂණය යොදා ගනිමින් සිදු කරනු ලබන අභ්‍යවකාශ මෙහෙයුම් පිළිබදවත් මෙහිදී 

සාකච්ජා විය. 2030 වර්ෂයේ දී චන්ද්‍ර ගම්මානය සකස් කිරීමේ දී එහි නිවාස ඉදි කිරීම විශේෂ ක්‍රමයකට අනුව එනම් ත්‍රිමාණ ආකාරයට ඉදි කිරීමට මෙම සමුළුවේ දී ඉදිරිපත් කෙරුණි. වායුගෝලයක් නැති සඳට ඇති ලොකුම අනතුරක් වන්නේ උල්කාශ්මයි. එම උල්කාශ්ම වලින් ආරක්ෂා වීමට මෙම චන්ද්‍ර නිවාස මෙලෙස ඉදි කිරීමට කටයුතු කර ඇත. ත්‍රිමාණ සැලසුම් ඉදිරිපත් කළේ යුරෝපා අභ්‍යවකාශ ආයතනයේ ලොරන්ට් පෙන්බෙගුවින් දහ ඔහුගේ ඉංජිනේරු කණ්ඩායමයි. පරිගණකය ඇසුරින් එම සැලසුම් නිර්මාණය කර ඇති අතර රොබෝ තාක්ෂණය යොදා ගෙන සඳ මතුපිට ඉදි කිරීම් සිදු කරනු ලබයි.

සඳ මතුපිට ජනාවාස ඉදි කිරීමේ දී එම ඉදි කිරීම් මුල් අදියර කිහිපයේ දී මිනිසුන්ගේ සහාය නොමැතිව මිනිස් ශ්‍රමයෙන් තොරව මිනිස් උපදෙස් වලින් පමණක් රොබෝ යන්ත්‍ර ආධාර කරගෙන සිදු කරනු ලබයි. නවාතැන ඉදි කිරීමේ දෙවැනි අදියරේ දී සඳට යන ගගනගාමීන් එයට මැදිහත් වෙමින් මෙහි ඉදි කිරීම් කටයුතු වල නියැලෙයි. සඳේ නිවාස ඉදිවී ජනාවාස බිහි වන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයේ මීළග චන්ද්‍ර මෙහෙයුමෙන් පසුවයි. ඒ නාසා ආයතනය විසින් සිදු කරනු ලබන ආටිමීස් මෙහෙයුම යටතේය. එහි විශේෂත්වය වන්නේ පිරිමියෙකු මෙන්ම ගැහැණියක ද සඳට යැවීමට නාසා ආයතනය සැලසුම් කර තිබීමයි. නාසා ආයතනය ආටිමීස් මෙහෙයුම සැලසුම් කර තිබෙන්නේ 2024 වර්ෂයේදීය. මෙම මෙහෙයුමට අනුව සඳට යන ගගනගාමීන් සදෙහි මතුපිට ජනාවාස ඉදි කිරීම සදහා සුදුසු තැන් සොයා බලමින් පරීක්ෂණ නිරීක්ෂණ සිදු කරයි. විශේෂයෙන්ම සඳෙහි ජනාවාස ඉදි කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ මෙන්ම ලෝකයේ ප්‍රමුඛ පෙළේ සමාගම් රැසක් උනන්දු වන බව පැහැදිලිව පෙනෙන කරුණකි.

එක්සත් රාජධානියෙහි මනී.කෝ.යූ.කේ. වෙබ් අඩවිය මගින් සිදු කෙරෙන්නේ සඳ මත ජීවිතය සදහා යන වියදම තක්සේරු කිරීමයි. මෙම වෙබ් අඩවිය මගින් සහෙි පදිංචිය සදහා තෝරා ගන්නා ලද පිරිස් දැනුවත් කෙරෙයි. චන්ද්‍ර ගම්මාන ඉදි කිරීම සදහා අවශ්‍ය මූලද්‍රව්‍ය පිළිබදවත් ඒවා සඳ මතුපිටට රැගෙන යෑම පිළිබදවත් සේවකයින් රැගෙන යෑම පිළිබදවත් විමසා බැලීම සිදු කරනු ලබයි. සඳ මත ඉදි කෙරෙන මුල්ම අංග සම්පූර්ණ නිවස ඉදි කරන්නට ඩොලර් 48,454,063ක මුදලක් එනම් රුපියල් වලින් කෝටි 96ක් පමණ මුදලක් වැය වෙයි. මෙම මුදල අතිවිශාල මුදලකි. නමුත් ඉන් පසුව ඉදි කෙරෙන නිවාස සදහා වැය වන වියදම ඩොලර් 40,662,642ක් දක්වා අඩු වනු ඇත.

සඳ මත ජීවත් වීමට සිදු වීමේදී මිනිසාට එම පරිසරයට අනුවර්තනය වීමේ ශෛලියක් ගොඩ නගා ගැනීමට සිදු වෙයි. එහි දී මිහිමත ජීවත් වන මිනිසාගේ ජීවන ක්‍රමයෙන් බැහැරව සඳෙහි වටපිටාවට අදාළව අනුගත වෙමින් නව ජීවන ක්‍රමයක් සහ රටාවකට හුරු වීමට සිදුවෙයි. එහි ජීවත් වීමේ දී එහි ඇති ආන්තික තත්ත්වයන් නිසා වැඩිපුර අවශ්‍ය වන්නේ බලශක්තියයි. ඒ අනුව විකල්ප භාවිතයන් කිහිපයක් යෝජනා කළ අතර ඉන් වඩාත්ම කාර්යක්ෂම බලශක්ති සැපයුම වන්නේ න්‍යෂ්ටික බලශක්තියයි. ඒ සදහා කුඩා න්‍යෂ්ටික ප්‍රතික්‍රියාකාරකයක් අවශ්‍ය වෙයි. එහි මිළ ඩොලර් බිලියන 1.3ක් පමණ වෙයි. මෙය නිවාස කිහිපයක් සදහා භාවිතයට ගත හැකි අතර සූර්ය ශක්තිය විකල්ප ශක්තියක් ලෙස ද භාවිතයට ගනී. එක් නිවසකට සූර්ය පැනල 34 ක් අවශ්‍ය වෙයි. ඒ අනුව නිවසකට යන වියදම ඩොලර් 23,616කි. සදට යාමෙන් පසුව එහි ජීවත් වීම සදහා ආහාර සපයා ගැනීමට සිදු වෙයි. ඒ නිසා ආහාර තමන් විසින්ම වගා කර ගැනීම කළ යුතුය. සාමාන්‍යයෙන් හතර දෙනෙකු සිටින නිවසක් සදහා හරිතාගාර හතක් අවශ්‍ය වෙයි. මෙහිදී හරිතාගාර ක්‍රමය මගින් ආහාර ටොන් 1.1ක් නිපදවා ගැනීමට අවස්ථාව උදා වෙයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පළෙහි රැදි සිටින නාසා ගගනගාමී ස්කොට් කෙලීගේ සාත්තු කිරීම් මැද සීනියා මල් පැළයක මල් හට ගන්නා ලදී. අභ්‍යවකාශයේ මලක් පිපුණු පළමු අවස්ථාව මෙයයි. 2015 වසරේ මාර්තු මාසයේ සිට මෙම පැළයට සාත්තු කිරීම කෙලී විසින් අරඹා ඇත. මෙම ක්‍රමය උපයෝගී කරගෙන සඳෙහි ඉදි කරන චන්ද්‍ර ගම්මානයේ ද පලතුරු සහ එළවළු සහිත කුඩා ගෙවත්තක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙයි. හඳෙහි ජල අංශු පවතින බවට තහවුරු වී ඇති නිසා එම ජල අංශු භාවිතයට ගත හැකි ක්‍රමවේදයක් සොයා බලන බවත් ඒ සදහා පර්යේෂණ සිදු කරන බවත් නාසා ආයතනය සදහන් කරයි. සඳෙහි ජල අංශු පවතින බව මුලින්ම සොයා ගනු ලැබූයේ ඉන්දියාව සඳට යැවූ චන්ද්‍ර යානය මගිනි. විශේෂයෙන්ම මෙම ජල අංශු ගෙවතු වගා කිරීම සදහා විශාල ප්‍රමාණයක් අවශ්‍යය වෙයි. සඳ මතුපිට හිරු එළිය වැටෙන පැත්තෙහි ජල අංශු ඇති බව නාසා ආයතනය ද පසුගිය වසරෙහි තහවුරු කළේය. නමුත් සෑම ජල අංශුවක්ම ප්‍රයෝජනයට ගත නොහැකිය. එක් නිවසක් සදහා වසරකට ජලය ටොන් 5.9 ක් පමණ අවශ්‍ය වෙයි. මෙම ජල අවශ්‍යතාව සපුරා ගැනීමට සියලුම අපද්‍රව්‍යය එනම් මුත්‍රා ඇතුලු සියලු අපද්‍රව්‍යය නැවත ප්‍රතිචක්‍රීකරණය කිරීමට සිදු වන බව සදහන් කරයි.

සඳෙහි විවිධ මූලද්‍රව්‍යයන් විසිරී පැතිරී පවතී. ඒ අතර ටයිටේනියම්, හීලියම් 3 වැනි මූලද්‍රව්‍ය පවතින බව සොයා ගෙන ඇත. චීනය මගින් සිදු කරන ලද ගවේෂණ වලින් මෙම හීලියම් සොයා ගෙන ඇති අතර නිවාස වලට විදුලිය ලබා දීම සදහා මෙය භාවිත කළ හැකි බව පෙන්වා දෙයි. දැනට පෘථිවි කක්ෂයෙහි රදවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවතුම්පොළ යම් දවසක අතහැර දැමුවහොත් ස්ථිර නැවතුම්පොළක් ලෙස මෙම චන්ද්‍ර ගම්මානය භාවිතයට ගත හැකි බව විද්‍යාඥයින් පැහැදිලි කරති. 

එසේ නම් චන්ද්‍ර ගම්මානයෙහි පදිංචියට යාමට ඔබ සූදානම් ද? 

( මූලාශ්‍ර- ලුසිත ජයමාන්න ඩේලිමේල් ඇසුරින් ලියන ලද ලංකාදීප පුවත්පත් ලිපි : 2017 ජූලි 02, තාරකා විද්‍යාඥ අනුර සී පෙරේරා ලියූ ලංකාදීප පුවත්පත් ලිපි 2012 අගෝස්තු 19, අන්තර්ජාල මූලාශ්‍ර.) 

ඉහත මූලාශ්‍ර අධ්‍යනයන් උපයුක්ත කර ගනිමින් මා විසින් සම්පාදනය කරන ලද ලපියකි.

Top