ජීවත්වීම ද බයිසිකලයක් පැදීම වැනි ය. සමබරතාවය පවත්වා ගැනීමට දිගටම ඉදිරියට යා යුතුය

post-title

අද වචන සදහා කතුවැකිය ආරම්භයේ දී අප උදෘත කර දක්වා ඇත්තේ විසිවන සියවසේ මහා විද්‍යාඥයා යැයි විරුද ලද ඇල්බට් අයින්ස්ටයින් විසින් ප්‍රකාශ කරන ලද අදහසක් ය. මෙම අදහස වඩාත් සියුම් ලෙස විවේක බුද්ධියෙන් සිතන්නට යැයි අපි ඔබට යෝජනා කරන්නෙමු. මෙහි නැවතී සිටීම යනු කවරක් ද? එසේම සමබරතාව රැකගෙන ඉදිරියට යාම යනු කවරක් ද? යන්න සාමාන්‍ය අර්ථයෙන් ඔබ්බට ගිය ගැඹුරක් පෙන්නුම් කරන බව එවිට ඔබට වැටහෙනු ඇත. එසේ නැවතී සිටින මිනිසුන් බොහෝමයක ගේ ජීවිත නිස්සාරය. මන්ද බොහෝ මිනිස් ජීවිතවලට පැවැත්මක් තිබුණ ද එම ජීවිතවලට සාරයක් ඇත්ද යන්න අද වන විට සමාජයේ දිවි ගෙවන යම් යම් මිනිසුන් දකින කළ අප තුළ ඇති වන පැනයක්ය. සැබැවින් ම වෙනත් මිනිසුන් සිය ජීවිතය විඳින්නේ ද නැත් ද යන්න පිළිබඳ කල්පනා කරනවාටත් වඩා මේ පැනය තම තමන්ගේ ම ජීවිත වලට ආදේශ කර ගනිමින් කල්පනා කිරීම වඩාත් සාර්ථක වනු ඇත.

උපන්දා සිට ම ක්‍රමයෙන් සමාජගත වන මිනිසුන් පසුව ක්‍රමවත් හෝ අක්‍රමවත් අධ්‍යාපනයකින් පසු රැකියාවක් සඳහා ප්‍රවිශ්ට වීමෙන් පසු ව ඔවුන්ගේ ජීවිත තුළ මූලිකම හීනය වන්නේ ආර්ථික වස්තුන් තර කර ගැනීම නොවන්නේ ද? මුදල් හම්බකිරීම නිවාස තැනීම යාන වාහන මිලදී ගැනීමාදී නන්විධ දෑ පසුපස ජීවිතය මෙහෙයවන බොහෝමයක් දෙනා සිතන්නේ සිය  ජීවිතය යනු මුදල් සෙවීම උදෙසා නිර්මාණය වූවක් බවය. එහිදී ඔවුන් ආර්ථිකය සවිමත් කිරීම නම් වූ අරමුණ තුළ නවාතැන් ගනු ලබයි. එසේ නැවතුණ පසු ජීවිතයේ සමබරතාවය ගිලිහී යන බව නොරහසක් වන්නේ යම් විටක ආර්ථිකමය වශයෙන් දැවැන්ත චරිත බොහෝමයක් ඔවුන් ගේ ජීවිතවල වෙනත් පාර්ශවයකින් අසමත් බැව් පැහැදිලිව දක්නට ලැබීම මගින් ය. එයින් අප අදහස් කරන්නේ ධනය ඉපයීමම අරමුණු කර ජීවිත ගෙවන මිනිසුන් පිළිබදවය. එසේ නොවී ධනය උපයමින් ජීවිතයේ සෙසු පාර්ශවයන් විඳිමින් ඉදිරියට යන මිනිසුන් ද නැතුවා නොවෙයි.

අප ගෙවමින් පසුවන මෙම කාල ප්‍රාන්තරය තුළ ආර්ථික සංචිත ඉපැයීම ජීවිතයේ අනිවාර්ය අංගයක් බව සැබෑය. එහෙත් එසේ කිරීමේ දී එය පමණක් නොව තවත් ජීවිතයේ පාර්ශවයන් පැවතිය යුතු බව ද අප වටහා ගත යුතුය. හොඳින් කල්පනා කර බලන්න. ඔබ අවසන් වශයෙන් පොතක් කියවූයේ මෙයට කොපමණ කලකට පෙර ද? සිනමා නිර්මාණයක් හෝ වේදිකා නාට්‍යක් නැතහොත් සුන්දර සංගීත සන්ධ්‍යාවක් රසවින්දේ මෙයට කොපමණ කළකට පෙර ද? එසේත් නැතිනම් ඔබ ගත කරන්නේ දිනපතා සේවය සිදුකරමින් ආර්ථිකය සවිමත් කිරීමේ කාර්යයේ යෙදීම පමණක් ද? පසුගිය දිනෙක අප හා කතා කළ සමීප මිතුරෙක් පැවසූ කරුණක් මෙහීදී මම හුවා දක්වමි. 

ඔහු උපාධිදාරියෙක් වශයෙන් අධ්‍යාපනය ලබන කාලයේ කලා කටයුතු වල නිරතවූවෙකි. පොත් පත් ද කියූ චරිතයකි. එහෙත් උපාධියෙන් පසු රැකියාව ලබාගත් පසු ඔහු අද වන විට පොත් කියවීම සම්පූර්නයෙන් ම නවතා ඇත. ඔහු ම පවසන අන්දමට රැකියාවල නියුක්ත මිනිසුන් ට මුදල් පසුපස වැටුණු කළ සැබෑ ජීවිත විදීම් අහිමිවන බව ඔහු අතීතයේ දී දැන සිට ඇත. එබැවින් දිනයක තමාට රැකියාවක් ලැබුණ ද තමාගේ ජීවිතයේ එම රසවින්දනාත්මක පාර්ශවයන් කිසිසේත් නතර නොකරන බවට ද ඔහු තීරණය කර ඇත. එහෙත් දැන් ඔහු පවසන්නේ ඔහු ද ඉබේම යාන්ත්‍රික මිනිසෙක් බවට පත් වූ බවය. මෙය ඔහු පමණක් නොව යම් විටක ඔබත් පත්ව ඇති ඛේදවාචකයක් ය. 

එසේ නම් ඔබ ගෙවන්නේ අසමබර ජීවිතයකි. ඒ අසමබර ජීවිතයෙන් මිදී සමබර ජීවිතයක් සමග ඉදිරියට යාමට ඔබට මුදල් යනු ජීවිතය නොවනවා ය යන සංකල්පය සිත තුළ ට ධාරණය කර ගන්නට සිදුවනවා මෙන් ම සාහිත්‍ය කලාවන් සමග මදක් හෝ ජීවිතය ගෙවීමට කාලය යොදා ගත යුතුය. එසේවූ කළ ඔබට සැබෑම ධනවතෙක් විය හැක. ඒ ධනයෙන් පමණක් නොව සමස්ථ ජීවිතයෙන් ම ඔබ ධනවතෙක් වනු ඇත.

 

Top