වැහි එක්ක මං තීරු ලිපිය හුස්මකට ඉඩකඩ සදන පුංචි රෝහල (267 වන ලිපිය)

post-title

මීට අවුරුදු කිහිපයකට කලින් පාද යාත්‍රාවේ යෙදුණ මිත්‍රයන් කිහිප දෙනෙක් අධික පිපාසයට සහ කුසගින්නට ගොදුරු වෙලා ගමන් වෙහෙස නිවා ගන්න කුමන වනාන්තරය ඇතුළෙ ළිං තුන ළග කලපුව ළගට සේන්දු වෙනවා. ඒ වෙනකොටත් තමන් ගෙනැවිත් තිබුණ ආහාර, වතුර නිමා වෙලා තිබුණ නිසා දැඩි පිපාසය නිවා ගන්න ක්‍රමයක් ඔවුන්ට තිබුණෙ නැහැ. වෙහෙස මහන්සියටම දෑස් පියවෙලා නින්දට ගිය මේ මිත්‍රයන් හැම කෙනෙකුටම සිහිනයෙන් එක දර්ශනයක් පෙනෙනවා. සුදු ඇද ගත් පුද්ගලයෙක් සිය අත් දෙකෙන් වතුර ගෙනැවිත් තමන්ගේ මුවට වතුර වත්කරන ආකාරයේ සිහිනයක් ඒක. සියලු දෙනාම එකවර සිහිනයෙන් අවදි වෙනවා. තමන්ගෙ සිහිනය ගැන සාකච්ඡා කරන ඔවුන්ට තහවුරු වෙන්නෙ මෙතෙක් පැවතුණ පිපාසය කුමක් හෝ හේතුවකින් සංසිදී ඇති බව. මේ සමගම ඉදිරි මාවතෙන් ඔවුන්ට සිහිනයෙන් තමා හමු වූ සුදු ඇද ගත් පුද්ගලයා තමන්ව කැදවන දර්ශනයක් පෙනෙන්න පටන් ගන්නවා. කුතුහලයත් සමග මේ මිත්‍රයන් අර නාදුනන පුද්ගලයා පසු පස හඹා යනවා. මිත්‍ර පිරිස නවාතැන්පලක් දක්වා සුරක්ෂිතව කැදවා ගෙන එන පුද්ගලයා තවත් ඉදිරියට ගිහින් නොපෙනී යනවා.

පාද යාත්‍රාව තුළ තමන් අත්විදි දුෂ්කරතාව අනෙක් වන්දනාකරුවන් අත්දකිනවාට අකමැති වුණ මේ මිත්‍ර පිරිස තමන්ට පිපාසය සංසිදුවා ගැනීමට ආශිර්වාද ලැබුණ ස්ථානයේදීම වන්දනාකරුවන්ට අත්වැලක් සැපයිය යුතුයි කියන තිර අධිෂ්ඨානයට එළැඹෙනවා. ඒ අනුව 2014 වර්ෂයේ ඔවුන් ක්‍රියාත්මක වෙනවා. මහා ඝන වනාන්තරය මැද පුංචි රෝහල ඉදිවෙන්නෙ මේ ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් විදියට. කිසිම පාරිසරික හානියක් සිදු නොවන ආකාරයට රෝහල් ගිමන් හල ඉදි වෙලා තියෙන්නෙ ස්වභාවික තුරු ලතාවලින්. බෙහෙත් බඩු තැන්පත් කරන්න, උයන්න, ගිමන් නිවන්න වෙන වෙනම කුටිවලට වෙන් වුණ ස්වභාවිකව සකස් වුණ ආකර්ෂණීය තුරු නිවහනක් මේ රෝහල සතුයි.

ලංකාවෙ බොහොමයක් ස්ථානවල වෛද්‍යවරුන්ගෙන් මුදලටවත් ගත නොහැකි ආකාරයේ සේවයක් මේ රෝහලට ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලා සේවය ලබා දෙන වෛද්‍ය කණ්ඩායම් අතින් සිදු වෙනවා. වෙහෙස මහන්සියෙන් කතරගමට ළගා වෙන සාමි නඩවල ශක්තිය යථා තත්වයට පත් කර ගන්න හැකි විශේෂ ඖෂධීය තේ පානයක් මේ රෝහලට ගොඩ වෙන ඕනෑම සාමිවරයෙකුට ලැබෙනවා. බටහිර ඖෂධ දහස් ගණනකට වඩා පරිසරයෙන් ලබා ගත් ඖෂධවලින් සකස් කෙරෙන මේ තේ පානය සුවිශේෂයි. ගමන් වෙහෙස ක්ෂණයකින් තුරන් කරනවා වගේම ලෙඩ රෝග ගණනාවක් එයින් සුවපත් කෙරෙනවා.

මෙතැන සෑම වෛද්‍යවරයෙක්ම ලබා දෙන්නෙ ස්වේච්ඡා සේවයක්. රෝහලේ සියලුම අභ්‍යන්තර සහ බාහිර කටයුතු ඉටු කරනු ලබන්නේ අර මිත්‍ර කණ්ඩායම සහ මේ වෛද්‍ය කණ්ඩායම විසින්. වෙනත් මනුෂ්‍ය හැසිරීම්වලදී වගේ දරදියට, ආහාර පිසින්නට වෙනම කණ්ඩායම් අවශ්‍යයි කියන වහල් මානසිකත්වයවත් බල තණ්හාවවත් මේ ක්‍රියාවලිය ඇතුළෙ දකින්න ලැබෙන්නෙ නැහැ. වන්දනාවේ යෙදෙන සාමිවරුන්ට ඖෂධ ලබා දෙන අතරම ආහාර පාන සකසන්න අවශ්‍ය දර කපන්නේත්, ආහාර පාන සකසන්නේත්, වටපිටාව පිරිසිදු කරන්නේත් අර මිත්‍ර කණ්ඩායමත් සමග සහයෝගයෙන් කටයුතු කරන ස්වේච්ඡා සේවයේ නියැලෙන වෛද්‍යවරුමයි.

වෛද්‍ය සේවය පමණක්ම නෙවෙයි වන්දනා නඩවලට අවශ්‍ය උපකාර සහ මාර්ගෝපදේශනය මේ රෝහලේ මිත්‍ර කණ්ඩායම විසින් සපයනු ලබනවා. සුවිශේෂම කරුණ තමයි මේ කණ්ඩායමට නමක් ගමක් වාසගමක් නැති එක. හැම පුණ්‍ය කටයුත්තක්ම වාසගම්, දැන්වීම් සහිතව කෙරෙන වාණිජවාදී යුගයකදී කිසිම බැනර් එකක්වත් කටවුට් එකක්වත් දැන්වීමක්වත් නැතිව ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙන පිරිස් සමග එකතු වෙලා සිදු කෙරෙන මේ කටයුත්ත ස්වභාවධර්මයේම විස්මය සහගත වුණ තවත් ක්‍රියාවලියක් හා සමානයි.

පුංචි රෝහල ඉදි කරන්න පුරෝගාමී වෙන මිත්‍ර කණ්ඩායම ස්වභාවධර්මයේ රිද්මය තමන්ගෙ හුස්මට මිශ්‍ර කර ගත්ත පරිණත පිරිසක්. මේ නිසාම පරිසරය ඇතුළෙ කරන කටයුතුවලදි පරිසරයත් සමග ගණුදෙනු කළ යුත්තේ කෙසේද කියන කාරණය ඔවුන් හොදින් හදුනනවා. ස්වභාවධර්මයාට දැක්විය යුතු ගෞරවය සහ සැළකීම වගේම චාරිත්‍ර වාරිත්‍ර සියල්ල ඒ ආකාරයෙන්ම ඔවුන් විසින් සිදු කරනු ලබනවා. චාරිත්‍ර මග හැරිය වන්දනා නඩ සමග ඔවුන්ට බෙදා ගන්න සිදු වුණ අද්භූත අත්දැකීම් කන්දරාවක් මේ ආදරණීය හිත් ඇතුළෙ තැන්පත් වෙලා තියෙනව

මගේ මතක පොත ඇතුළෙ මනුෂ්‍යත්වය අඩි ගණනාවක් ඉහළට ඔසවා තැබුව මේ පිරිසටත් පුංචි රෝහලටත් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන අතරෙම මම විදින අත්දැකීම් තව දවසක මේ ඉඩ ඇතුළෙ සටහන් කරන පොරොන්දුව මත අදට සමු ගන්නවා.

Top