වතුර වෙළඳාම් කොට දියුණු වූ චීනයේ ධනවතා (453)

post-title

මනුස්සයෙක්ට දියුණු වෙන්න නම් ඒ මනුස්සයා ළඟ මොනවද තියෙන්න ඕනි? තමන්ගේ ගමනට අවශ්‍ය කරන හොඳ සැලසුමක්, ඉදිරියට යාමට අවශ්‍ය කරන හොඳ ධනාත්මක අදහස් සමුදායක්, තමන් ඉදිරියට යාමට අපේක්ෂා කරන ක්ෂේත්‍රය පිළිබඳව හොඳ දැනුමක් සහ අවබෝධයක්. මෙන්න මේ දේවල් තමයි ඉතින් මනුස්සයෙක්ට දියුණු වෙන්න නම් මූලිකවම තිබිය යුතු දේවල් කියලා සලකන්නේ. ඒත් මේ දේවල් විතරක් තිබුණට කෙනෙකුට තමන්ගේ ඉලක්කයක් වෙතට කාලයක් තිස්සේ සැබෑ කර ගන්නට බලා සිටින හීනයක් වෙතට ගමන් කරන්නට පුළුවන් ද? එයට තව මොනවද තියෙන්නට ඕනි? එහිදී මුදල් කියන සාධකය පුද්ගලයෙකුට දියුණු වෙන්නට අත්‍යවශ්‍යයෙන්ම තිබිය යුතු යැයි සලකන කාරණාවක් නොවනවාද?

අතේ සල්ලි නැතුව දැන් මොනවද කරන්න පුළුවන්?

සල්ලි කීයක්වත් නැතුව කොහොමද එහෙම වැඩකට අත ගහන්නේ?

ඔව් ඉතින් ඕවා සල්ලි කාරයින්ට නම් බොහොම සිම්පල් දේවල්.

වැඩක් කරන්න අත ගහන්න යනකොට ඔන්න ඔය වගේ දේවල් නම් හතර වටින්ම අඩුවක් නැතුවම ඔබටත් මටත් ඕනෑ තරම් අහන්නට ලැබිලා ඇති. ඒත් මිනිස්සුන්ට දියුණු වෙන්නට මීට වඩා හාත්පසින්ම වෙනස් කරුණු කාරණා කිහිපයක් ඔස්සේ ගමන් කළ හැකි බව අපට ලෝකයේ බිලියනපතියන්ගේ ලැයිස්තුවේ 13 වන ස්ථානයේ රැඳී සිටින චීනයේ Zhong Shanshan ගෙන් දැන ගන්නට හැකියාවක් ලැබෙනවා. ලෝකයේ වේගයෙන්ම සංවර්ධනය වන ආර්ථිකයකට උරුමකම් කියන චීනය තුළ මොහු හඳුන්වන්නේ වතුර විකුණා ලොව ධනවතෙකු වූ පුද්ගලයා ලෙසටයි. 

ඉතින් එවන් සංවර්ධිත ආර්ථිකයක් හිමි චීනයේ වර්තමානය වන විට පළමු ස්ථානයේ සිටින ධනවතා ලෙසින් හඳුන්වන්නේත් මේ Zhong Shanshan ය. එනම් ලෝක ප්‍රකට ව්‍යාපාරිකයෙකු වන අලි බබා සමාගමේ නිර්මාතෘවරයා වන ජැක් මා සහ අන්තර්ජාලය මූලික කොට ගත් සේවාවන් සැපයූ පෝනි මා යන බලවතුන්වද අභිබවා යමිනුයි. 

ඉතින් Zhong Shanshan අද වන විට චීනයේ ධනවත්ම පුද්ගලයා වන්නේ ජැක් මා මෙන් ලෝකයටම සේවාවන් සපයා නම් නොවෙයි. මොහු චීනයේ ධනවතා බවට පත් වන්නේ චීනයේ මිනිස්සුන්ට පිරිසිදු වතුර විකුණලයි. ඉතින් යමෙක් ඇහුවත් පුදුම වන මෙවන් ව්‍යාපාරයක් සිදු කොට චීනයේ වත්මන් ධන බලයෙන් ප්‍රමුඛස්ථානයේ සිටින මොහුට අනුව නම් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට යාම පිළිබඳව ඔහුගේ දැක්ම වනුයේ ව්‍යාපාරයක් ප්‍රවර්ධනය කිරීම සඳහා ඔබ සතු වන මුදල් කිසිසේත්ම වැදගත් නොවන අතර වඩාත්ම වැදගත් වනුයේ ඔබ සතුව පවතින දැනුම සහ අත්දැකීම් ප්‍රමාණය පමණක් බවයි.

ඉතින් මොහු පිළිබඳව කතා කළහොත් චීනයේ හොංෂූ පළාතේ ඉතාමත් දිළිඳු පවුලකින් පැවත එන Zhong Shanshan හට හරි හමන් පාසල් අධ්‍යාපනයක්වත් ලබා ගැනීමට හැකියාවක් පවතින්නේ නැහැ. මොහුට පාසල් අධ්‍යාපනය අහිමි වන්නේ වයස අවුරුදු 12දීයි. එම නිසා දියුණූ වන්නට අවශ්‍ය මාර්ගයෙහි ගමන් කරන්නටත් ප්‍රථමයෙන්ම Zhong Shanshan සිදු කරන්නේ තමන් වටා ඇති ඝෘණාත්මක පරිසරය අමතක කිරීමයි. තමන්ගේ අරමුණු වෙතට ගමන් කිරීමට බාධාවක්ව පවතින තමා වටා ඇති ඝෘණාත්මක දේ ගැන සිතමින් වද වෙන එක වර්තමානයේ බොහෝ දෙනෙක් සිදු කරන දෙයක්. ඉතින් මොහු තමාගේ ජීවිතයේ ධනාත්මක දෑ පිළිබඳව පමණක් සිතන්නට පටන් ගත්තා. ඉතින් තමන්ගේ ජීවිතයේ විවිධ කඩඉම් පහු කරන මොහු වැඩ බිම් වල අත් උදව්කරුවෙකු ලෙසින්ද පසුකාලීනව වඩු කාර්මික ශිල්පියෙකු වශයෙන්ද කටයුතු කරන්නට යොමු වුණා.

පසුව නිරතුරු සිය දරිද්‍ර පවුල් වපසරිය තුළින්ද ලද අත්දැකීම් හේතුවෙන් දියුණු වෙන්නට මග පාදාගන්නට පෙළඹුණු Zhong Shanshan නිරතුරු අවට සිදු වන දෑ පිළිබඳව කුතුහලයකින් පසු වන්නට වුණා. ඉතින් බොහෝ පුද්ගලයින් සතුව නොමැති මේ කුතුහලයකින් ලෝකය දෙස බැලීමේ පුරුද්ද ද Zhong Shanshan ට චීනයේ දැනට සිටින අංක එකේ ධනවතා බවට පත් වන්නට මහඟු හේතුවක් වූයේ පුද්ගලයෙකු නිරතුරු කුතුහලයකින් යම් දෙයක් පිළිබඳව පසුවන විට ඔහු ඒ පිළිබඳව ඉගෙනීමට උත්සහ කරන අතර එමගින් ඒ කෙරෙහි යම් දැනුවත් භාවයක්ද ලබා ගැනීමට හැකි වීම තුළිනුයි. ඉතින් මේ කුතුහලය සහිතව ලොව දෙස බැලීමට හැකිවීමත් ඔහුව සාර්ථකත්වය කරා ගෙන යන්නට හැකියාවක් ලැබූ අතර ඒ හේතුවෙන් ඔහුගේ හරිම තැන කොතැනද කියලා අවබෝධ කොට ගත් මොහු 1977දී Zhejiang විශ්ව විද්‍යාලයට ඇතුළත්වීමට තීරණය කරනවා. ජනමාධ්‍ය පිළිබඳව උගන්වන විශ්ව විද්‍යාලයක් වූ එහි පසුව රේඩියෝ පිළිබඳව වාර්තාකරුවෙකු වන්නට ඔහුට හැකියාවක් ලැබෙනවා. එහිදී වාර්තාකරුවෙකු වශයෙන් වැඩ කරගෙන යනකොට ඔහුට විවිධ ව්‍යාපාරිකයින් ආශ්‍රයට අවස්ථාව උදා වූ අතර එහිදී ඔහු සිදු කරන්නේ ඔහු වටා දියුණුවීමට උපදෙස් ගත හැකි පුද්ගලයින් කොට්ඨාසයක් එක්කාසු කර ගැනීමයි. ඉතින් එයද ඔහුගේ දියුණුවට විශාල ආයුධයක් බවට පත් වෙනවා.

පසුව ඔහු තුළ තිබූ කුතුහලජනක ස්වභාවයද හේතුවට ගෙන තමාට වඩාත්ම දියුණුවිය හැකි මාර්ගය තෝරා ගන්නට මොහු උත්සාහ කරනවා. එහිදී අසාර්ථකත්වය සාර්ථකත්වයේ කොටසක් වශයෙන් හිතන්නට Zhong Shanshan යොමු වෙනවා. මෙය ලෝකයේ දියුණු වුණු මිනිසුන් බොහොමයක් ළඟ තිබෙන්නා වූ ගතිගුණයක්. ජීවිතේ එක් වරක් දෙවරක් අසාර්ථක වුණායින් පසුව එතනින් නතර නොවී ඒ තුළින් ලබා ගත් අත්දැකීම් සහ අසාර්ථක වීමට හේතු වූ තැන් අවබෝධ කොට ගෙන යළිත් වරක් නැගී සිටින්නට මොහු පටන් ගත්තා. ඒ අනුව මුලදීම එළවළු වෙළඳාම් කරන්නට පටන් ගත් අතර පසුව එය අසාර්ථක වුණු අතර අනතුරුව කර්ටන් වෙළඳාම් කරන්නට පටන් ගන්නවා. එහිදී පරාජය අත්දැකීමක් කොට ගෙන ඔහු තුළ තිබූ දැඩි කුතුහලය සහිත ස්වභාවය නිසා ඔහු දිනන්නේ කොහොමද යන්න සොයන්නට පටන් ගන්නවා. ඒ හේතුවෙන් මොහු චීනයේ ප්‍රසිද්ධ වතුර වෙළඳාම් කරන වවහා ආයතනයේ සේවකයකු වීමට තීරණය කරනවා. ඒ අනුව අනාගතයේදී වඩාත් ලාභ ලැබිය හැකි ව්‍යාපාරයක් වන මෙම වතුර වෙළඳාම කිරීමට Zhong Shanshan තීරණය කරනු ලබනවා.

අනතුරුව ඔහුගේ දියුණුවේ වැදගත්ම දේ වන්නේ අනිත් අය නොසිතන දේ සිතීමට පටන් ගැනීමයි. ඒ හරහා අනාගතයේදී චීනයේ ජල මූලාශ්‍ර වලට වන දේ කල් තියා හඳුනාගත් මොහු අනාගතයේදී මිනිසුන්ට පිරිසිදු ජලය ලබා ගැනීමේ දුෂ්කරතා මතු වන බව මොහු කල් තියාම හඳුනා ගනු ලැබුවා. එහෙත් පසුව මොහුට පැන නැගි ගැටළුව වූයේ එවකට පැවති අනෙකුත් වතුර වෙළඳාම් කරන සමාගම් අභිබවා තමාගේ ව්‍යාපාරය ගොඩ නඟා ගන්නේ කෙසේද යන්නයි. එහිදී ඔහු විශ්ව විද්‍යාලයේදී ලබා ගත් දැනුම සහ ඔහු වටා සිටි ඔහු පෙරදී උපදෙස් ගත් ව්‍යාපාරිකයන් හා කතාබහ කිරීමේදී ලබා ගත් නිර්මාණශීලී හැකියාවද ප්‍රයෝජනයට ගනු ලබනවා.

පසුව ඔහුගේ පාඨය ලෙසින් අපි අපගේ වතුර හරහා ඔබව සොබාදහමට සමීප කරවන්නෙමු යන පාඨය යොදා ගත් අතර පසුව එය චීන ජනයාට බොහෝ සෙයින්ම සමීප වන්නට වුණා. පසුව වර්ෂ 1996දී NONGFU SPRING යන නාමයෙන් ඔහුගේ ජල ව්‍යාපාරය ආරම්භ කරන්නට ඔහුට හැකියාව ලැබෙනවා. ඉතින් අද වන විට ඔහුගේ ආදායම ඇමරිකන් ඩොලර් බිලියන 71.3 කට ආසන්නව ලෝකයේ බිලියනපතියන්ගේ දර්ශකයේ 13 වන ස්ථානයේ පසු වන අතරම චීන ජනතාව අතර මොහුව ප්‍රසිද්ධ වී පවතින්නේ හුදෙකලා වෘකයා ලෙසටයි. ඒ වගේම අද වන විට මේ ජල ව්‍යාපාරයට අමතරව ඔහු සතුව තවත් ඖෂධ ව්‍යාපාරයක්ද පවතිනවා. ඉතින් මේ වන විට ඔහු යටතේ අති විශාල සේවකයින් පිරිසක්ද සේවයේ නිරතව පවතිනවා. 

ඉතින් Zhong Shanshan සැබවින්ම මිනිස්සුන්ට දියුණු වීමට උගන්වන්නේ වෙනස්ම පාඩම් කිහිපයක් බව ඔබටද වැටහෙන්නට ඇති. ඒ නිසා හැමදේම සහිතව ගමන ආරම්භ කළ යුතුයි යන තැන ඔබ තවමත් බලන් ඉන්නවා නම් මොහුව මතකයට නගා ගන්න. වතුර වෙළඳාම හරහා ඔහු මෙතරම් දුරක් පැමිණියා නම් ඔබටද අවශ්‍ය වන්නේ උත්සහය  උනන්දුව දැනුම ඔබ විසින් ගොඩ නගා ගත් ඔබ අවට වටපිටාව හා අන් අයට වඩා වෙනසකින් යුත් චින්තනයක්ද පමණයි. ඉතින් ඔහුගේ ගමන අරඹන්න ඔහු එදා බිය වුණා නම් අද Zhong Shanshan හුදෙකලා වෘකයෙකුද නොවනු ඇත.

Top