දෛවයට බය වෙන්න එපා ; ඔබ සිතන ආකාරය වෙනස් කරගන්න! (438)

post-title

ඔබ කවුද, ඔබට අවශ්‍ය මොනවාද, ඔබට හිමි විය යුත්තේ කුමක්ද යන්න තීරණය වන්නේ මූලිකවම ඔබ සිතන පතන ආකාරය සහ ඒ සඳහා ඔබ ක්‍රියා කරන ආකාරය අනුවයි. එය කිසිවිටෙක වෙනත් පුද්ගලයකුට තීරණය කළ නොහැකියි. එය වෙනත් අයෙකුට ඔබ වෙනුවෙන් කරදීමටත් නොහැකියි. වර්තමානයේ බහුතර පිරිසක් තම අනාගතය දෛවයට භාර දී බලන් සිටිනවා. ඒක නිකම් හරියට දෛවය ඔවුන්ට අවශ්‍ය දේ දෝතින්ම ගෙනත් භාර දෙයි කියලා බලන් ඉන්නවා වගේ දෙයක්. 

ඔබට අවශ්‍ය දේවල් ඒ තරම් පහසුවෙන් හිමිවේ නම් මේ ලෝකය මේතරම් සංකීර්ණ නොවන්නට තිබුණා. කිසිම දෙයක් අපට පහසුවෙන් හිමි වන්නේ නැහැ. ඔබ යහපත් අනාගතයක් බලාපොරොත්තු වේනම් ඔබ ඒ සඳහා අවශ්‍ය පියවරයන් අද තැබිය යුතු වෙනවා. සිතන්න ! අනාගතයේදී සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට ඔබට අවශ්‍ය වෙනවා. එය ඔබගේ සිහිනය යැයි සිතන්න. නමුත් ඔබ බොහොම දුප්පත් කෙනෙක්. ව්‍යාපාරයක් සඳහා යෙදවීමට තරම් ප්‍රමාණවත් මුදලක් ඔබට හිමි නැහැ. දැන් ඔබ ගනු ලබන ක්‍රියාමාර්ගය කුමක්ද? එවන් අවස්ථාවක පුද්ගලයින් තිදෙනෙකුගේ සිතුවිලි පහතින් දැක්වෙනවා.

“මට සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට අවශ්‍යයි. නමුත් මට ප්‍රමාණවත් මුදල් නැති නිසා මම ඒ බලාපොරොත්තුව අත් හරිනවා” 

“මට සාර්ථක ව්‍යාපාරිකයෙක් වීමට අවශ්‍යයි. නමුත් මට ප්‍රමාණවත් මුදල් හිමි නැති නිසා, මුදල් කවදාහෝ ලැබෙනකම් මන් බලා සිටිනවා”

“මට සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න අවශ්‍යයි. නමුත් මට ඒ සඳහා ප්‍රමාණවත් මුදලක් නැහැ. මම ඒ සඳහා මුදල් ඉපැයිය හැකි ක්‍රමයක් සොයා ගන්නවා”

එකම බලාපොරොත්තුවක්, එකම සමාජ මට්ටමක් වුවත් සිතුවිලි පුද්ගලානුබද්ධව විවිධ වන්නේ මෙහෙමයි. ඉතාමත් පහළ සමාජ මට්ටමක ජීවත් වූ පුද්ගලයින් අද කිසිවෙක් බලාපොරොත්තු නොවූ ඉහළ සමාජ මට්ටමක් දක්වා ගමන් කර ඇති අවස්ථා අපි කොතෙකුත් දැක තිබෙනවා. බොහොමයක් පිරිස එම පුද්ගලයින්ට, “එයා ඉස්සර ගොඩක් දුප්පත්. එයාගේ වාසනාවට තමයි ඔය තරම් දේවල් ලැබිලා තියෙන්නේ” යැයි පවසනවා. නමුත් එම සමාජ මට්ටමේම ජිවත් වූ තවත් පුද්ගලයෙක් තවමත් දුප්පත්කමින් පීඩා විඳිමින් සිටිනවා. බොහොමයක් පිරිස එම පුද්ගලයින්ට, “එයා ඉස්සර ඉදන්ම හරිම දුප්පත්. පව්! අවාසනාව තමයි ඉතින්” යැයි පවසනවා. එකම සමාජ මට්ටමක ජීවත් වූ පුද්ගලයින් දෙදෙනෙකුට එකිනෙකට වෙනස් සමාජ තත්වයක් හිමි වූයේ වාසනාව නිසා හෝ අවාසනාව නිසා නොවෙයි. කැපවීම, කැපකිරීම, ආශාව, වෙහෙසවීම හා උනන්දුව මතයි.

සාර්ථක මිනිසෙක් බිහි වූ විට එය ඒ පුද්ගලයාගේ වාසනාව නිසා සිදු වූවා යැයි සරලව හඳුන්වනවාට පෞද්ගලිකව මම කැමති නැහැ. අසීමිත කැපකිරීම් හා වෙහෙස වීම් මඟින් අත්පත් කරගත් දෙයක් එතරම් සරලව, පහසුවෙන් සැළකීමට අපට අයිතියක් නැහැ. ඒ එම පුද්ගලයා ආ ගමන් මඟ දන්නේ ඔහුම පමණක් වීම නිසයි. ඒ සඳහා වාසනාවත් යම් තරමක් බලපාන්න ඇති. නමුත් වාසනාව හිමි වුවත් අසාර්ථක වන මිනිසුන් ද සිටින නිසා එය වාසනාව මතම පදනම් නොවන බව ඔබ තේරුම් ගත යුතු වැදගත්ම දෙයක් වෙනවා. 

“මම හරිම අවාසනාවන්ත කෙනෙක්. මම ප්‍රාර්ථනා කරන කිසිම දෙයක් හරියට ලැබෙන්නේ නැහැ” 

“මට කිසිම දෙයක් හරියට කරගන්න බැහැ”

ඔබත් මෙසේ සිතන කෙනෙක් නම්, පළමුව ඔබ කළ යුතු දේ වන්නේ “මට බෑ”, “මට නෑ” යන ඍණාත්මක වචන ඔබේ ජිවිතයෙන් ඈත් කිරීමයි. “මට පුළුවන්” , “මම කොහොමහරි කරනවා” යන ධනාත්මක වචන වලින් ඔබේ සිත පුරවා ගන්න. අනාගතය එක් දිනකින් උදා වන්නේ නැහැ. ඔබේ සාර්ථකත්වයත් එක දිනකින් උදා වන්නේ නැහැ. ඔබේ කැපකිරීම හා උනන්දුව මත එහි වේගය තීරණය වේවී. ආරම්භයේ සිටම නොවෙනස්වන ඉවසීමක් හා උනන්දුවක් ඔබට තිබිය යුතුයි.

ශ්‍රී ලංකාවේ බොහෝ පිරිසක් තමාගේ අනාගතය භාර දී ඇත්තේ එක් ලියවිල්ලකට යි. ඒ හඳහන් පත්‍රය යි. හඳහනේ ලියවී ඇත්තේ කුමන ආකාරයටද ඒ අනුව තමාගේ අනාගතය තීරණය වන බව ඔවුන් විශ්වාස කරනවා. ඔබගේ නොපෙනෙන අනාගතය එක් ලියවිල්ලකින් තීරණය කළ හැකිද? දෛවයේ පත්‍රය ට අනුව ඔබට හොඳින් අධ්‍යාපනය ලැබිය නොහැකි යැයි සඳහන් වෙනවා යි සිතන්න! ඔබ එය තදින් විශ්වාස කරමින් සිටිනවා. ඔබේ මනසේ ක්‍රියාත්මක වන්නේ එයම පමණයි. ටිකෙන් ටික ඔබට ඉගෙනීමට ඇති උනන්දුව අඩු වෙනවා. සමාජය ඔබ අනුවණයි යැයි පවසනවා. ඔබ තවත් මානසිකව වැටෙනවා. ඉතින්, දෛවයේ ලියවී ඇති දෙය සත්‍යයක් බවත් ඔබට ඉගෙනීමට හැකියාවක් නැත කියා ඔබ සිතනවා. ඔබ ඉගෙනීම අත් හරිනවා...! 

යළිත් වරක් හොඳින් සිතා බලන්න! 

ඔබේ ඉගෙනීමේ ප්‍රමාණය තීරණය කළේ දෛවය ද? නැතිනම් ඔබේ සිතුවිලි ද ? 

ඔබ කිහිපවරක් අසමත් වූ විට එය අත් හැරීමද, නැතිනම් නැවතත් උත්සාහ කිරීමද යන තීරණය මත ඔබේ අනාගතය තීරණය වේවී. නොපෙනෙන දෛවය, අසාධාරණ සමාජය ඔබට නොහැකි යැයි යළි යළිත් කියාවී. නමුත් ඔබ මට හැකියි යන සිතුවිල්ලේම ජීවත් වෙන්න. බලාපොරොත්තු බිඳ වැටේවවී.. සිත් රිඳීම් ඇති වේවී.. නොසිතූ දේ සිදු වේවී.. ඔබ වැනිම කෙනෙක් ජීවිතය දිනනවා නම්, ඔබ පරාද වීම ඔබේ අවාසනාවක් නොවේ. ඔබේ අනාගතය සම්පුරණයෙන්ම රැඳී පවතින්නේ ඔබ සිතන පතන හා ඔබ ක්‍රියා කරන ආකාරය අනුවයි. 

නොපෙනෙන දෛවයට ඔබේ ජීවිතය භාර දෙන්න එපා! ඔබේ අනාගතය කිසිම විටෙක දෛවයට තීරණය කරන්න දෙන්න එපා! ඔබට අවශ්‍ය පරිදි ඔබේ දෛවය හැසිරවීමට තරම් සූක්ෂම වන්න.. දක්ෂ වෙන්න..!

BestWeb.lk තරඟාවලීයේ ජනප්‍රියම වෙබි අඩවිය වීමට "වචන.lk" වෙත ඔබගේ මනාපය යොමුකරන්න මේ මත ක්ලික් කරන්න.....

logo
Top