මුහුණු දෙකක් ඇති මිනිසුන් ඔබේ ජීවිතයෙන් ඈත් කරන්න (393)

post-title

ඔබ පියවරෙන් පියවර ජීවිතයේ ඉදිරියට යන්නට උත්සාහ කරන කෙනෙක්. ඔබ තවමත් පාසල් වියේ වියේ පසුවනවා විය හැකියි. නැතිනම් උසස් අධ්‍යාපනය හදාරමින් සිටිනවා විය හැකියි. තවත් විටක රජයේ හෝ පෞද්ගලික රැකියාවක නිරතවනවා විය හැකියි. එය ඇතැම් විට තමාගේම ව්‍යපාරයක් ද විය හැකියි. මේ ඕනෑම අවධියක ඔබ පසු වුවත් ඔබ සතුව ඔබටම අනන්‍ය වූ බලාපොරොත්තු, සිහින ආදිය තිබෙනවා. යම් දිනෙක එම බලාපොරොත්තු, සිහින යථාර්තයක් කර ගැනීමට ඔබ කටයුතු කරනවා. ඔබ ඒ සඳහා වෙහෙස වෙනවා. සිහින යථාර්තයක් කර ගැනීම උදෙසා අප්‍රමාණ අභියෝගවලට වරින් වර මුහුණ දෙමින් සිටිනවා.

ජීවිතයේදී වරෙක ඔබ සමත් වෙනවා. තවත් අවස්ථාවක ඔබ අසමත් වෙනවා. සැමවිටම සෑම කාර්යයකින්ම සමත් වීමට අපිට නොහැකි යි. එසේවනවා නම් ඔබ අධි බලැති අසාමාන්‍ය හැකියාවන්ගෙන් යුක්ත පුද්ගලයෙක් විය යුතු ය. පුද්ගලයෙක් ජීවිතයේ එකවරක් හෝ අසමත් වීම, අසාර්ථක වීම සාමාන්‍ය යි. ඔබට නැවත සියවරක් වුවත් උත්සාහ කළ හැකි යි. ඔබ අසමත් වන වාර ප්‍රමාණය අනුව ඔබේ ජයග්‍රහණයේ ශක්තිමත් බව තීරණය වෙනවා. අභියෝගවලට බිය නැති පුද්ගලයෙක් බිහි කරනවා. 

සමත් වීම හෝ අසමත් වීම තීරණය වන්නේ ඔබ සතුව තිබෙන උනන්දුව හා කැපවීම මතයි. නමුත් ඔබව සිතාමතාම අසාර්ථකත්වය කරා මෙහෙයවන පුද්ගලයින් ඔබේ ජීවිතයේ දී කොතෙකුත් හමු වී ඇති. ඔබ ඔවුන්ට අනන්තවත් රැවටී ඇති. ඔවුන් නිසා විවිධ සිත් පීඩාවන්ට මුහුණ දෙන්නට ඇති. එවැනි පුද්ගලයින් විවිධ ස්වරූපවලින් ඔබ අසළම ජීවත් වෙනවා. සියයට අනූ නවයක්ම එවැනි පුද්ගලයින් මතුපිටින් ඔවුන්ගේ ඒ සැබෑ ස්වරූපය පිටතට පෙන්වන්නේ නැහැ. ඔවුන් සැමවිටම ජීවත්වන්නේ මෙලොව ජීවත්වන යහපත්ම පුද්ගලයින් ඔවුන් බව හැඟෙන ආකාරයට යි. ඉතින් ඔබ එවැනි පුද්ගලයින් ට රැවටීම සාමාන්‍ය යි.

හොඳ මුහුණක් පෙන්වමින් ඔබව අඩියක් හෝ පසුපසට අදින මිනිසුන් සමඟ ජීවත් වීම සැබෑවටම වෙහෙසකර දෙයක්. මෙවැනි පුද්ගලයින් දෙමාපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, අසල්වැසියන්, යහළුවන් ආදී විවිධ ස්වරූපවලින් අප අතරම ජීවත් වෙනවා. තම දරුවන්ට වෙනස්කම් කරන ඇතැම් දෙමාපියන් සිටිනවා. එක් දරුවෙක්ට පමණක් ආදරය කරමින් ඒ දරුවාගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරන, ඔවුන්ගේම අනෙක් දරුවාගේ අනාගතය විනාශ කරන දෙමාපියන් අප අතරම සිටිනවා. එවැනි දෙමාපියන් නිසා අසරණ වුණු දරුවන්ගේ ජීවිත කතා මම අසා තිබෙනවා. දැක තිබෙනවා. එය සැබවින්ම වේදනාකාරී යි. මෙලොවට බිහි වන දරුවෙකු පළමුව ආදරය රැකවරණය බලාපොරොත්තු වන්නේ තම දෙමාපියන් ගෙනි. දරුවෙකුට ලැබෙන පළමු සෙනෙහස එයයි. එම පළමු අවස්ථාවම අහිමි වීම කෙතරම් වේදනාකාරී විය හැකි ද?

ඇතැම් දෙමාපියන් තම දරුවන් යම් අවස්ථාවක අසමත් වූ පසු එම දරුවන්ට වෙනස්කම් කරනවා. හැකි සෑමවිටම ඒ දරුවා ව හෙළා දකිනවා. පහත්කර කතා කරනවා. බොහෝ විට ඔවුන් මෙය සිදු කරන්නේ තවත් පිරිසක් ඉදිරියේදී යි. තම දරුවගේම අසමත් වීම තවත් පිරිසකට විහිළුවක් බවට පත් කරනවා. ඔවුන් එයින් බලාපොරොත්තු වන්නේ එම දරුවාගේ මානසික මට්ටම තවත් පහතට ඇද දැමීමට යි. එවැනි දෙමාපියන් අප අතරම සිටිනවා. මේ ලෝකයේ ජීවත්වන සෑම දෙමාපියෙක්ම එක ලෙසම ආදරණීය නැහැ. මේ මොහොතේත් එවැනි දෙමාපියන් නිසා ජීවිතයේ අඩියක් හෝ පිටුපසට තල්ලු වෙන, විඳවන දරුවන් ජීවත් වෙනවා.

ඔබේ ජයග්‍රහණයන් ඉවසිය නොහැකි, ඔබේ අසමත් වීම් බලා රස විඳින අනෙක් පිරිස ඔබේ සහෝදර සහෝදරියන්, නෑදෑයින්, අසල්වැසියන් ලෙස ද ඔබ අතරම ජීවත් වෙනවා. ඒ අතර සැබවින්ම ඔබට සහයෝගය දක්වන පිරිස් ද සිටිනවා. නමුත් සියයට පනහකට වඩා සිටින්නේ පෙන්වන හොඳ මුහුණට වඩා භයානක මුහුණක් අභ්‍යන්තරයෙන් තිබෙන පිරිස යි. ඔවුන් සැමවිටම උත්සාහ කරන්නේ තම දරුවන්ට වඩා අනෙක් දරුවන් හෙළා දැකීමට යි. තමාට වඩා යමක් ඇති පුද්ගලයින් හෙළා දැකීමට යි. යම් පුද්ගලයෙක් සාර්ථකව ජීවිතය දිනන විට ඒ දෙස බලා අවංකවම සතුටු විය හැකි පුද්ගලයින් සමාජයේ සිටින්නේ ඉතාමත් අඩු ප්‍රමාණයක්. 

ඔබ බෙහෙවින් ආදරය කරන, යහපත් යැයි ඔබ සිතා සිටින නෑදෑයෙක් නොසිතූ ලෙස ඔබව එකවරම පහතට දමා කතා කරන අවස්ථාවන්ට ඔබ මුහුණ දී ඇති. ඔබ කිසිම විටෙක එවන් ප්‍රතිචාරයක් ඔවුන්ගෙන් බලාපොරොත්තු නොවන්නටත් ඇති. එයට හේතුව එවන් අවස්ථාවකට ඔබ මුහුණ දෙන තෙක් ඔබ දැක ඇත්තේ ඔවුන්ගේ යහපත් මවා පෑම විතරක් වීම යි. අප ජීවිත කාලය තුළ කොතෙකුත් එවැනි මවාපෑම්වලට හසු වෙනවා ද?

මිත්‍රයන් මෙන් සිටිමින් ඔබටත් නොදැනී ඔබව විනාශ කිරීමට මඟ බලන පිරිස බොහොමයක් ය. යම් පුද්ගලයකුගේ සිතුවිලි හා ක්‍රියාවන් තේරුම් ගැනීමට දීර්ඝ කාලීනව එම පුද්ගලයා ඇසුරු කළ යුතු ය. ඇතැම් විට එසේ ඇසුරු කළත් ඇතැම් පුද්ගලයින්ගේ සිතුවිලි තේරුම් ගැනීමට අසීරු ය. කල්‍යාණ මිත්‍රයන් නිබඳවම දුකේදී ත්, සැපේදී ත් එක ලෙස ඔබ අසළ සිටියි. සැමවිටම ඔබව යහපත් කටයුතු කෙරේ පමණක් යොමු කරවයි. ඔබට අන් පුද්ගලයින් ගැන කේළම් කියන මිතුරා ඔබේ තොරතුරු ද එසේම තවකෙකු සමඟ පවසන බව අමතක නොකළ යුතු ය. ඇතැම් පුද්ගලයින් මිතුරන් ලෙසින් පෙනී සිටිමින්, ඔබට උපකාර කරන බව පෙන්වමින් ඔබව රවටනවා. ඔවුන් බොහෝ විට අන්‍යන්ට වඩා විශාල ආදරයක්, මිත්‍රත්වයක් පිටතින් ඔබට පෙන්වනවා. 

ඔබ යම් යහපත් ක්‍රියාවක් කළ විට, ඔබේ දක්ෂතා පෙන්වන යම් කටයුත්තක නියැලුන විට, ඔබ යම් සාර්ථකත්වයක් ළගා කරගත් විට අවංකවම එයට සතුටු නොවන එය ඇගයීමට ලක් නොකරන ඇතැම් පිරිස් ඔබ යමකින් අසමත් වූ විට හෝ ඔබේ අතින් වරදක් වූ විට එය නැවත නැවත මතු කරමින් ඔබව හාස්‍යයට ලක් කරයි. ඔබ හොඳ සියයක් කරත් ඔවුන් මතු කරන්නේ ඔබෙන් සිදුවූ එක් වැරදීමක් හෝ අතපසුවීමක් පමණි. ඔවුන් ඔබේ විවිධ දුර්වලතා ආදිය මතු කරමින් ඔබව පහතට ඇද දැමීමට උත්සාහ කරනවා. ඔබේ සිතුවිලි ඍණාත්මක දෑ වලින් පිරවීමට උත්සාහ කරනවා.

ඉහත මොනයම් හෝ අයුරකින් ඔබේ ජිවිතයේ ඉදිරියට ගමන් කිරීමට බාධා එල්ල කරන පිරිස් ඔබ වටා සිටී නම් පළමුව ඔබ ඔවුන්ව හොඳින් හඳුනා ගන්න. ඇතැම් විට ඔබ දෙමාපියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, මිත්‍රයන් වශයෙන් ඔවුන් කෙරෙහි වන අසීමිත බැඳීම හේතුවෙන් ඔවුන්ගෙන් දුරස් වීම ඔබට දුෂ්කර විය හැකි යි. ඔබට ඔවුන්ව අත හැර දැමිය නොහැකි වන්නටත් පුළුවන්. ඔබ කළ යුත්තේ පුද්ගලයා හඳුනාගෙන පාඩුවේ තමාගේ බලාපොරොත්තු කරා ගමන් කිරීම පමණයි. ඔබ කෙතරම් අසාර්ථක වුවත් ඔබට ඔබට අහිමි කර නොගන්න. ලෝකයම ඔබට එරෙහිව නැඟී සිටියත් තනිවම හෝ ඔබේ ගමන යන්න අදිටන් කර ගන්න. 

ඔබ අසාර්ථක වූ විට ඔවුන් ඔබට සිනහ වෙවී. ඔබ සාර්ථක වූ විට ඔබව පහතට ඇද දැමීමට උත්සාහ කරාවී. ඔබේ අඩුපාඩු වැරදි සොයන්නට වෙහෙස වේවී. ඔබ ඒ සෑම අවස්ථාවකදීම ඒ පුද්ගලයින්ට ඔබේ ජීවිතයට බලපෑම් කිරීමට ඉඩ ලබා දෙන්න එපා. එවැනි පුද්ගලයින්ගෙන් ක්‍රියාවලින් ඔබේ සිත රිඳවා ගන්නත් එපා. එවැනි පුද්ගලයින්ව ඔබේ මනසින් අත් හැර දමන්න. එවිට ඔබේ මනසට අන්කවරදාටත් වඩා සැනසීමක් දැනේවී. ඔබ ඔබේ ජිවිතයට ළගා කර ගත යුත්තේ ඔබේ ජීවිතයට සහයෝගයක් දක්වන පිරිස් පමණයි. කිසිම පුද්ගලයකුට ඔබව මනසින් වට්ටන්න දෙන්න එපා. ඔබ ඔබව වැළඳ ගන්න. පිළිගන්න. සතුටු කරන්න. ඇගයීමට ලක් කරන්න. ආදරය කරන්න. ඔබ ජීවත්විය යුත්තේ එවැනි පුද්ගලයින්ට අවශ්‍ය පරිදි නොවේ. ඔබේ සැනසීම ඔබම සොයාගන්න.

ඔබේ ජීවිතයේදී ඔබට බහුලවම හමුවී ඇත්තේ මෙසේ වෙස්මුහුණු පැළද ගත් මිනිසුන් නම් ඒ ඔබේ කර්මයට අනුව ඔබේ ලැබීම යි. ඔබ පෙර ආත්මවලදී කළ කර්මයන්ට අනුව මේ ආත්මයේදී එවැනි දුදන ඇසුරු ඔබට මුණ ගස්වා ඇත. නමුත් දුක් වෙන්න එපා. මේ ආත්මයේදී ඔබ හැකි තරම් පුද්ගලයින්ට සහය වෙන්න. යහපත් දේ කරන්න. ලෝකය කෙතරම් කුරුරු වුවත් වෛර නොකර අත් හරින්න. සැමවිටම ඔබට සත්පුරුෂ ඇසුර පමණක් හිමි වේවා යැයි පතන්න. කිසිඳු ආත්ම භවයක අසත්පුරුෂ ඇසුර හිමි නොවේවා යැයි පතන්න. කල්‍යාණ සත්පුරුෂ ඇසුරම පතන්න!

Top