මනුස්සයෙකුට ජයග්‍රාහකයෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඕනිම දේකින් දිනුවොත් විතර ද? ඔව් ඉතින් දිනුවොත්නේ ජයග්‍රාහකයක් කියලා කියන්නේ. දිනුවොත් විතරනේ ඕනිම කෙනෙක් එයාව පිළිගන්නේ. උත්සව තියන්නේ, ගරු බුහුමන් කරන්නේ කොටින්ම කිව්වොත් මිනිස්සු දෙවියෙකුට වගේ සලකන්නේ අපිට දෙයක් තිබුණොත්, අපි දෙයක් ලබා ගත්තොත් විතරයි. ඒක ඉතින් මේ සමාජය හැදිලා තියෙන විදිහ නිසා ඒක ඔබටවත් මටවත් වෙනස් කරන්න පුළුවන් දේකුත් නෙවෙයි. ඒත් යම් දෙයකට ඉදිරිපත් වෙලා ඒ දේ ජයග්‍රහණය කරන්න පුළුවන් උපරිම උත්සහයකුත් දරලා එය දිනාගන්නට හැකියාවක් නොමැති වුණෝතින් සමාජයක් විදිහට ඒ අයවත් සුළුවෙන් හෝ ඇගයීමකට ලක් කරන්න පුළුවන් නම් එය ඔවුන්ගේ උත්සහය වෙනුවෙන් ලැබෙන කෘත ගුණ සැලකීමක් විදිහටයි මං නම් දකින්නේ. ඒත් ඉතින් අද අපේ සමාජය හැඩ ගැහිලා තියෙන්නේම ලැබීම් හමුවේ පිළිගන්නත් නොලැබීම් හමුවේ ගරහන්නත් විතරයි.
ඉතින් ඒක නිසයි අද කෙනෙක් ජයග්‍රහණයක් ලැබුවෝතින් උදම් වෙන්නත් පරාජයක් අත්විඳින්නට සිදු වුණෝතින් ලැජ්ජ වෙන්නත් අරගන්නේ. ඒත් මං ඔබෙන් ප්‍රශ්නයක් අහන්නම්.
මේ ලෝකෙ යම් දෙයකින් විශිෂ්ටයෙක් වෙන්න පුළුවන් වෙන්නේ ඒ දෙය ජයග්‍රහණය කළෝතින් විතරද?
එහෙමත් නැත්නම් මේ ලෝකෙ විශිෂ්ටයෝ කියලා පිරිසක් බිහිවෙලා තියෙන්නේ ඔවුන් සියල්ල ජයග්‍රහණය කළ නිසාද?
නැහැ. මේ ලෝකෙ වැඩි හරියක් මිනිස්සු විශිෂ්ටයො වෙලා තියෙන්නේ ඔවුන්ට මුහුණ දෙන්නට සිද්ධ වුණු අති දැවැන්ත පරාජයන් නිසා. ඔවුන්ට ජීවිතයේ අත් විඳින්නට සිද්ධ වුණු ගිලිහීම් නිසා. ඉතින් අද අපිට ඒකට හොඳම උදාහරණයක් ගේන්න පුළුවන් වෙන්නේ රටින් එපිට කෙනෙක් හරහා නෙවෙයි අපේම රටේ කෙනෙක් හරහා.
සමහරවිට ඔබ ඔහුව හඳුනනවාත් ඇති. සමහරවිට ඔබ ඔහුගේ නමවත් අහලා නැතුවත් ඇති. ඒ කොහොමවුණත් අද අපි කතා කරන චරිතයත් ජයග්‍රහණයක් තුළින් නොව පරාජයක් තුළින් වුවද ලොව විශිෂ්ටයෙකු විය හැකි බව ලොවටම පසක් කළ දුන් පුද්ගලයෙක්. හැබැයි ඔහු ඒ පරාජය ලැබුවේ අපේ රට තුළදී නම් නෙවෙයි ලෝකෙන්ම හපන්නු ඉන්නවයි කියලා කියන ජපානය තුළදීයි. ඔහුව පරාජය තුළින් විශිෂ්ටයෙකු බවට පත් කළෙත් ජපානය තුළදීමයි.
ඔහු නමින් ආර්. ජේ. කේ. කරුණානන්දයි. වෘත්තියෙන් යුධ හමුදා නිළධාරියෙකු වූ මොහු එවකට ලංකාවේ සිටි දක්ෂතම දිග දුර ධාවන ක්‍රීඩකයා කීවහොත් නිවැරදියි. ඉතින් ඔහුට අපේ මේ පුංචි රටට විශාල ගෞරවයක් වගේම කීර්තියක් අත් කර දෙන්නට පුළුවන්කමක් ලැබෙන්නේ මං පෙර සඳහන් කළ පරිදි වර්ෂ 1964 දී ආසියාවේ පැවති ප්‍රථම ඔලිම්පික් උළෙල ලෙස සැලකෙන ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී සොදුරුතම පරාජිතයා බවට පත් වීමට හැකි වීමෙන්.
ඇත්තෙන්ම කෙනෙක්ට මේක අහනකොටත් පුදුම හිතෙන්නට ගනීවි. සොදුරු පරාජිතයා..??? ඒ කියන්නේ පරාජයෙත් සොදුරු බවක් තියෙනව ද? ඔව් ජයග්‍රහණය වෙනුවෙන් දැඩි උත්සහයක් දරලා ලබන පරාජය ඇත්තටම සොදුරුයි.
දෙවැනි මහා ලෝක යුද්ධයත් සමග විනාශ වී සහ රටේ බොහෝ පැති අඩාල වී සිටි ජපානයට මේ 17 වැනි ඔලිම්පික් උළෙල ලෙස ලොව පැවති මෙම උළෙල බෙහෙවින්ම වැදගත් මෙන්ම බෙහෙවින්ම ප්‍රයෝජනවත් ද එකක් වුණා. ඒ නිසාම එමගින් තමාට ලබා ගත හැකි සියල්ල වෙනුවෙන් ඔවුන් මේ සඳහා හොඳ සූදානමක් ද සහිත වුණු අතර එවකට ජපානයේ ටෝකියෝ නුවර පැවති මෙම ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හය දෙනෙකුටද සහභාගී වීමේ අවස්ථාවද උදා වුණා. ඒ අතරින් මලල ක්‍රීඩා අංශය නියෝජනය කරනු ලැබූවේ අපගේ කතා නායකයා වන ආර්. ජේ. කේ කරුණානන්දයි.
ඉතින් ඔහු සහභාගී වූ මීටර් දසදහසේ ඉසව්ව ආරම්භ වීමට සියල්ල සූදානම්ව පැවතුනේ රටවල් ගණනාවක ඉතාමත් දක්ෂතම ක්‍රීඩකයන් රැසක්ද තරඟ වැදීමට පුන පුනා බලා සිටින අවස්ථාවකයි. තරඟයේ ආරම්භක සංඥාව නිකුත් කිරීමත් සමග තරඟකරුවන් සියල්ලෝම ඉදිරියට ඇදී ආවේ ජයග්‍රහණය පමණක් අත්පත් කර ගැනීමට හැකි උපරිමයෙන් දෙපා වලට වෙරදීමත් සමගයි. සියල්ලන්ම එක හා සමාන ජවයකින් ඉදිරියට ඇදී එද්දී කරුණානන්දයන් සෑම විටකම සිටියේ ඔවුන්ට වඩා මීටර් 200කටත් වඩා පසුපසිනුයි. තරඟයේ වට 25ක් වූ සම්පූර්ණ ගණනින් ම වට දහයක් දක්වාමත් මොහු සිටියේ පළමු පෙළේ සිටි ක්‍රීඩකයන්ට වඩා වටයක් පසුපසිනි. ඒ විදිහට දිවෙන තරඟයේ 20 වෙනි වටයට පැමිණෙන විටදීත් කරුණානන්දයන් දැකගත හැකි වූයේ තරඟයේ අන්තිමයා ලෙසටයි. ඒ විදිහට අවසන්වීමට නියමිතව තිබූ තරඟයේදී ජපානයේ, ඇමරිකාවේ සහ ටියුනීසියාවේ තරඟකරුවන් තිදෙනා රන් පදක්කමට හරි හරියට තරඟ කරනවිටත් අපේ කතා නායකයාට සිදු වූයේ ඔවුන්ට වඩා මීටර් 1600 ක් පමණ පසු පසින් සිටීමටයි. මේ විදිහට ඉතා තියුණු තරඟයකින් අනතුරුව ඇමරිකාවට රන් පදක්කමත්, ටියුනීසියාවට රිදී පදක්කමත්, ජපානයට ලෝකඩ පදක්කමත් දිනා ගත හැකි වූ තරඟ ඉසව්ව අවසන් වෙත්ම මීළඟ තරඟ ඉසව්වට සූදානම් වීමට තරඟ සංවිධායකයින්ට නොහැකිවීමට හේතු වූ කරුණ එතන සිටි කොයි කාගේත් පුදුමයට හේතු වන්නක් වුණා. ඒ එක් තරඟකරුවෙකු පමණක් තවමත් ධාවන පථයේ රැඳී සිට තරඟාවසානය දක්වා ධාවනයේ යෙදීමත් සමගයි. ඒ අපේ රට නියෝජනය කළ කරුණානන්දයි. ඔහු මෙම ඔලිම්පික් උළෙලේ ඉතිහාසගත වෙන්නටත් හේතු වී ඇත්තේ මේ තරඟයේ මෙම අවසන් වට හතර ධාවනයේ යෙදීමත් නිසාවෙනුයි. එවිට මෙම පළමු මීටර් 400 මොහු ධාවනයේ යෙදෙනවිට ක්‍රීඩාංගනයට පැමිණ සිටින නරඹන්නන් හැටදහසක් පමණ පිරිස කරුණානන්දට සම්ච්චල් කරන්නටත් උසුළු විසුළු කරන්නටත් පටන් ගත්තද ඒ පිළිබඳව කිසිඳු තැකීමක් ඔහු නොකරන්නට විය. ඒත් සමගම ඔහු ඒ පිළිබඳව කිසිඳු වගක් නැතිව තරඟයේ අවසන් දෙවන වටය අරඹත්ම කලින් ඝෝෂා නැගි පිරිස ක්‍රම ක්‍රමයෙන් සිය හඬ පසුබස්වන්නට වූ අතර සියල්ලන් ඔහු දෙස බැලුවේ පුදුමසහගත බැල්මක් හෙළමිනුයි. පසුව ඔහු තරඟයේ අවසන් වටයත් ඒ ආකාරයෙන්ම ධාවනයේ යෙදෙන විට පෙර නැගුණු සමච්චල් හඬ පරදවමින් අතරින් පතර නැගුණු අත්පොලසන් හඬත් සමගම මුළු ක්‍රීඩාංගණය පුරාවටම නැගුණේ එක හා සමානව ප්‍රීති ඝෝෂා නාදයක් විතරයි. මේ විදිහට තරඟය අවසන් කළ කරුණානන්ද එකී තරඟය අවසන් කළේ ලෝක ඔලිම්පික් ඉතිහාසයේ සොදුරුතම පරාජිතයෙක් ලෙස කා අතරත් මතකයක් ඉතිරිකරමිනුයි. මේ විදිහට තරඟයේ අවසන් වට තුනම තනිවම විනාඩි 34 තත්පර 21.6 කට පසුව මොහු තරඟය නිම කරද්දී රැස්ව සිටි හැටදහසකට අධික පිරිස සිය අසුන්වලින් පවා නැගිට මෙම තරඟකරුවාට ගෞරවය පුද කරන්නට විය. එහිදී තරඟයේ රන් පදක්කම දිනාගත් විලියම් මිලාස්ට නොලැබුණු තරම් උද්වේගකර පිළිගැනීමක් මොහුට ලැබීමද අතිශය සුවිශේෂිත වූ කරුණකි.
ඉතින් අසීමිත වූ ආත්ම ධෛර්යක් සහිත අවසානයේදී මෙආකාරයෙන් තනිවම තරඟ වැදුණු ලාංකිකයා අවසානයේදී ඉතිහාසගත වන්නේ 1964 ආසියානු ප්‍රථම ඔලිම්පික් උළෙල තුළදී ලොව තවත් එක් අසහාය ධෛර්යයක් සහිත විහිෂ්ටයෙකු ලෙසටයි. ඉතින් ඒ බව තවදුරටත් සනාථ කරමින් ඔහුගේ එම චිත්ත ධෙර්යය ජපන් පාසල් දරුවන්ගේ පෙළ පොතක පාඩමක් ලෙසටද ඇතුළත් වන්නේ ඔවුන් ඔහුට කළ කෘතඥතාවය හේතු කොට ගෙනයි.
පසුව පදක්කමක් පිළිබඳ බලාපොරාත්තුවකින් තොරව ඔබ තරඟ වැදුණේ ඇයි කියා මාධ්‍යවේදියෙක් ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ
”මම ආවේ පදක්කමක් දිනා ගැනීමේ බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඔලිම්පික් තරඟාවලියට සහභාගී වී මගේ රට නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙනුයි. ඔලිම්පික් තේමාවත් ඒකනේ. මම ඒක අකුරටම ඉටු කළා.”යනුවෙනුයි.
පසුව තරඟයේ රන් පදක්කම්ලාභී ජයග්‍රාහකයා ප්‍රකාශ කර ඇත්තේ ”මේ තරඟයේ රන් පදක්කම හිමි විය යුතුව තිබුණේ මට නෙවෙයි. අර ධෛර්යයවන්ත ශ්‍රී ලාංකිකයාටයි.”යනුවෙනුයි.
සැබවින්ම එය ඔහු ලද පදක්කම් රහිත ජයග්‍රහණයක්. ඉතින් මේ සිදුවීමෙන් පසු ජපානය තුළ මෙන්ම මුළු මහත් ලෝකය තුළම මොහු වීරයෙක් වන්නට ගත වූයේ ඉතාමත් සුළුපටු වේලාවකුයි. මේ විදිහට ලෝකයක් ඉදිරියේ ලංකාවට කීර්තියක් අත්පත් කර දුන් ඔහු පසු කාලයේදි සැමගේ හද කම්පා කරවමින් මෙලොවින් සමු ගන්නේ දියෙහි ගිලීමක් හේතු කොටගෙනයි.
ඉතින් දේවල් අත්පත් කරගැනීමෙන් පමණක් තමන්ට අවශ්‍ය ගෞරවය, සැලකිලි ලබා ගත හැකි යැයි තවකෙකු පෙරලා ජයග්‍රහණයන් වෙනුවෙන් දිව යන සමාජයක කරුණානන්දයන් අපට පසක් කර දෙන්නේ දැඩි උත්සහයෙන් ලද පරාජයවීම් මගින් ද මිනිසුන්ට විශිෂ්ටයන් බවට පත් විය හැකි ආකාරයයි. එහෙම නම් අප ජීවිතයේ ලබන පරාජයන් තුළින්ද අපට යන ගමන වෙනස් කිරීමට මෙන්ම නොහිතන ජයග්‍රහණයන් ද අත්පත් කර ගත හැකි බව නැවතත් පසක්කොට දෙමින් ලබන සතියේදීත් අපි නැවත හමුවෙමු අළුත් හුස්මකට ඉඩක් අරගෙන හුස්මකට වෙනසක් සමගින්.