ජීවිතය ජය ගන්නට අභියෝග පාඩමක් ද? (334)

post-title

මිනිස් ජීවිතය ඉතාම සුන්දරයි. එය එසේ සිතුවත් මිනිස් ජීවිතයට අනපේක්ෂිත ලෙස එල්ල වන දුක්ඛ දෝමනස්සයන් ද නැතුවාම නොවේ. එහෙත් සැබෑ ජීවත්වීම යනු ඒ සියල්ල ඉදිරියේ නොසැලී සිටීම මෙන්ම හෙට දවස වෙනුවෙන් බලාපොරොත්තු ගොඩනඟා ගැනීමයි. 

මිනිසාට උපතේ සිට මරණය දක්වා ම විවිධාකාර අභියෝග රැසකට මුහුණදීමට සිදුවේ. සියලු දෙනාට ම අභියෝග පොදු වුව ද මිනිසුන් ඒවාට මුහුණදෙන ආකාරය විවිධ ය. මෙසේ පැමිණෙන අභියෝගවලට මුහුණදෙන්නට නම් මිනිසාට ශක්තිමත් මනසක් අත්‍යවශ්‍ය ය. සාර්ථක ජීවිතයක් උදාකර ගැනීමට උත්සාහ දරන පුද්ගලයෙකුට මනසේ සිතිවිලිවල ස්වභාවය ද ඉතා වැදගත්ය.

ඔබේ ජීවිතයේ ඔබ මෙතෙක් ගෙවූ කාල සීමාව ගැන නැවත ආපස්සට හැරී බැලුවහොත් මෙතෙක් ගතකළ සෑම දිනයක්ම මහත් වූ අභියෝගයන්ගෙන් පිරුණු දිනයන් බව ඔබට වැටහෙනු ඇත. එදා සිට අද දක්වා ගෙවා දැමූ එම අභියෝග නොවන්නට අද ඔබ කොතැනක නම් සිටීවිද? එහෙයින් ජීවිතයට පැමිණෙන අභියෝග ආශිර්වාදයක් කරගනිමින් ඉදිරියට යන්නේ කෙසේද යන්න පිළිබඳ ව ඔබ දැනගත යුතුම නොවේද? 

මාස ගණනාවක් තිස්සේ මවකගේ කුස තුළ කළලයක්ව ජීවත්වූ ළදරුවා මුලින්ම සාමාන්‍ය පරිසරයට නිරාවරණය වන්නේ ම අභියෝග රැසක් මැදය. එතැන් සිට ක්‍රමයෙන් කුඩා බිළිදෙකු ලෙස, දරුවෙකු ලෙස, යෞවනයෙකු ලෙස, වැඩිහිටියෙකු ලෙස, මවක් පියෙක් ලෙස, වෘත්තිකයෙකු ලෙස යනාදී වූ සෑම භූමිකාවක් තුළදීම ඉමහත් වූ අභියෝග රැසකට මුහුණදීමට ඔබටත් මටත් නිරායාසයෙන් ම සිදුවේ. ආහාර, ඇදුම් පැළඳුම්, වාසස්ථාන ආදී වූ මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ සිට මිනිසා මෙතෙක් ආ ගමන් මඟ නේකවිධ අභියෝග සහිත දුෂ්කර වූ ගමනක් බැව් නොරහසකි. එසේ නම් ජීවිතය යනු අභියෝගයක් ම බවත්, ජීවත්වීම යනු ජීවිතය නැමැති අභියෝගයට පෙරළා කරන්නා වූ අභියෝගයක් ම බවත් පසක් වනු ඇත. 

මිනිසාට ජීවිතයේදී මුණගැසෙන අභියෝගයන්ට දියහැකි හොඳම පිළිතුර වන්නේ අභියෝගයමයි. අභියෝගවලට අභියෝග නොකර කිසිවිටෙකත් එයට පිළිතුරු සෙවිය නොහැකි බව සැමදා පවතින යථාර්ථයයි. මිනිසා තමාට පැමිණෙන සෑම අභියෝගයක් ම කුමන ආකාරයේ හෝ වෙස්වලාගත් ආශිර්වාදයක් බව සිහිතබා ගත යුතුය. තමන්ගේම ව්‍යාපාරයෙන් ප්‍රතික්ෂේප වන ස්ටීව් ජොබ්ස් එදා එම අභියෝගයට සාර්ථකව මුහුණ නොදුන්නේ නම් අද වන විට මිනිසා අතෙහි අයි ෆෝනයක් නොතිබෙන්නට තිබුණු ඉඩකඩ වැඩිය. එසේම තෝමස් අල්වා එඩිසන් අභියෝග මැද අසීමිත වාර ගණනක් අසාර්ථක වී විදුලි බුබුල නිපදවා නොතිබුණි නම් අදත් ලෝකයේ ඒ වෙනුවෙන් පර්යේෂණ සිදුවෙමින් පවතීවි. එමෙන්ම අභියෝග හමුවේ නොසැලී තම ඉලක්කය ජයගත් ලෝක ප්‍රසිද්ධ හොන්ඩා සමාගමෙහි නිර්මාතෘ සොචිරෝ හොන්ඩා නැමැත්තා ද අපට පාඩම් බොහෝමයක් උගන්වාවි. අභියෝග ජය ගනිමින් ඉලක්ක හඹා යාමට සිතා සිටින ඔබට මේ හොන්ඩාගේ ජීවිත කතාව මනා වූ උත්ප්‍රේරකයක් ම වනු ඇත. වයස අවුරුදු 18 දී මෙම තරුණයා තමාගේ ම ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ අපේක්ෂාවෙන් යුතුව ටොයොටා සමාගමට පිස්ටන් මුදුවක් නිර්මාණය කිරීමට කුඩා වැඩපොළක් ආරම්භ කෙරිණි. ඔහු දිවා රාත්‍රී වෙහෙසෙමින් නිපදවූ මෙම පිස්ටන් මුදුව ටොයොටා සමාගමට ඉදිරිපත් කළත් එම ආයතනයේ ඉංජිනේරුවන් එය ප්‍රතික්ෂේප කර ඔහුව උපහාසයටත්, හාස්‍යයටත් ලක් කෙරිණි. නමුත් තම කාර්යය අත්හැර නොදැමූ හොන්ඩා අවුරුදු දෙකක් වෙහෙසෙමින් තම නිර්මාණය වැඩිදියුණු කිරීමට සමත් වූ අතර ටොයොටා ආයතනයෙන් තම නිෂ්පාදනය සඳහා ඇනවුම් ලබාගැනීමට ද සමත් විය. නමුත් නැවතත් මෙම තරුණයාට ගැටලුවක් පැන නැඟිණි. ඒ ටොයොටා සමාගමට අවශ්‍ය ඇනවුම් ප්‍රමාණය ලබාදීමට නම් ඔහු සතුව කර්මාන්ත ශාලාවක් තිබිය යුතු වීමයි. එහෙත් ඒ කර්මාන්ත ශාලාව ගොඩනැඟීමට ඔහු සූදානම් වන කාලය වනවිට ජපානය තුළ යුධමය වාතාවරණයක් පැවතීම නිසා කර්මාන්තශාලාව ගොඩනැඟීමට අවශ්‍ය අමුද්‍රව්‍ය සපයා ගැනීමට අපහසු විය. ඔහු රජයෙන් කොන්ක්‍රීට් ලබාගැනීමට ඉල්ලීම් කළ ද රජයෙන් පැනවූ දැඩි නීතිරීති නිසා ඔහුට ඒවා ලබාගැනීමට ද නොහැකි විය. නමුත් තම ඉලක්කය කෙසේවත් අත්නොහරින මෙම තරුණයා තමගේම ක්‍රමවේදයක් ඔස්සේ නවතම කොන්ක්‍රීට් මිශ්‍රණයක් නිෂ්පාදනය කරමින් තමාගේ කර්මාන්තශාලාව ගොඩනඟා තම කටයුතු ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපාරය ආරම්භ කර වැඩි කාලයක් යාමට මත්තෙන් සොචිරෝ හොන්ඩාට තවත් අභියෝගයකට මුහුණදීමට සිදුවිය. ඒ ඔහුගේ ආයතනය බෝම්බ වැටීම නිසා දෙවරක් ම විනාශ වී ගොස් එහි තිබූ කිසිවක් නැවත භාවිතයට ගත නොහැකි තත්ත්වයට පත් වීමයි. අවසානයේදී තමාගේ පිස්ටන් මුදු සාදන සමාගම ටොයොටා සමාගමට විකිණීමට හොන්ඩා තීරණය කෙරිණි. මෙම චරිතයේ ඇති විශේෂත්වය වනුයේ ඔහු සෑම අවස්ථාවකදීම ඔහුට සිදුවන අවාසිය තමාගේ වාසිය බවට පත්කර ගැනීමටත්, බිඳ වැටීම් හමුවේ යළි නැගී සිටීමටත් ඇති හැකියාවයි. යුධ අවස්ථාවේදී ජපානයට ඇමරිකානුවන් බෝම්බ හෙළන විට තම ව්‍යාපාරය එයින් විනාශ වී යනවිට ත් එම යානාවලින් ඉවත හෙළන ලද ඉන්ධන බහාලුම් තම සගයෙකු සමඟ එකතු කර ඒවා සිය අමුද්‍රව්‍ය බවට භාවිත කරමින් ඒවායෙන් නව නිපැයුම් සිදුකිරීමට හොන්ඩා සමත් විය. යුද්ධය සහ යුද්ධය අවසන් වන කාලය වනවිට ජපානය දැඩි ඉන්ධන හිඟයකට මුහුණ පෑ අතර රථවාහන ධාවනය ද අපහසු විය. පවතින තත්ත්වය සඳහා නව විසඳුමක් සෙවූ මෙම තරුණයා ප්‍රථමවරට මෝටරයක් මඟින් ක්‍රියාකරන බයිසිකලයක් නිෂ්පාදනය කෙරිණි. මෙය ඉන්ධන නොමැතිව ක්‍රියාකළ හැකි නිසා ඉන්ධන ගැටලුවට ද විසඳුමක් බැවින් මේ සඳහා පවතින ඉල්ලුම ද ඉහළ යන්නට විය. නමුත් මෙහිදී ඉල්ලුමට සරිලන සැපයුම ලබාදීමට මොහුට ඒ සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය හිඟවිය. මෙයට ද අභියෝග කළ මෙම තරුණයා ජපානයේ එවකට පාපැදි විකිණීම සිදුකරන ව්‍යාපාරිකයන්ට තම නව නිෂ්පාදනය හඳුන්වා දෙමින් ඒවා ඇනවුම් කිරීමට නම් ඒ සඳහා අත්තිකාරම් මුදලක් ගෙවන ලෙස ද දැන්වීය. මෙම ක්‍රමවේද ඔස්සේ ඔහු ඉතා සාර්ථකව තම ව්‍යාපාරයේ මූලික අදියර සිදුකෙරිණි. මෙය ඔහුගේ ජීවිතය වෙනස් කරන සංධිස්ථානයක් වූ අතර මෝටර් බයිසිකල් පමණක් නිපදවූ හොන්ඩා ඉන්පසුව අඩු ඉන්ධන පිරිමැස්මක් සහිත මෝටර් රථ නිර්මාණය කිරීමටත්, ඔටෝ මොබයිල් යනාදී වූ විවිධ ක්ෂේත්‍ර කරා තම නිෂ්පාදන වපසරිය පුළුල් කිරීමටත් සමත් විය. මෙහිදී හොන්ඩා තරුණයා නවත්වන්නට හෝ මන්දෝත්සාහී කිරීමට කිසිවෙකුටත් නොහැකි වූයේ ඔහු සතු ධෛර්යය නිසාවෙන්මය. මෙසේ මෙම සොචිරෝ හොන්ඩාගේ චරිතය තුළින් අභියෝග හමුවේ නොසැලී කටයුතු කළ ප්‍රබලයෙකු කියා පායි. 

එමෙන්ම මිනිසාට යම් අරමුණක් කරා ගමන් කිරීමේදී විවිධාකාර අභියෝගයන්ට මුහුණදීමට සිදුවීම සාමාන්‍ය දෙයකි. ඔබට කිසියම් වූ අභියෝගයන්ට මුහුණදීමට සිදුවීම යනු ඔබ යම් ගමනක් යාමට ආරම්භ කර ඇති බවයි. එමෙන්ම ඔබ යම් ගමනක් නොයන පුද්ගලයෙකු නම් ඔබට අභියෝගයන්ට මුහුණදීමට ද සිදුනොවේ. එහෙයින් අරමුණු සාර්ථක කර ගැනීමට යන ගමනෙහිදී ඇතිවන අභියෝග පිළිබඳ ව ඔබ සතුටු විය යුතුය. ඒ ඔබ යම් ගමනක් යමින් සිටින බව එමඟින් ඔබටම පැහැදිලි වන නිසාවෙනි.

එසේ නම් කුමන ආකාරයේ අභියෝග පැමිණය ද එයට සාර්ථකව මුහුණදීම විනා කළ යුතු අන් විකල්පයක් නොමැති බව මෙමඟින් ඔබටත් වටහෙන සත්‍යයකි. එසේ අභියෝග ඔබ පසුපස නොඑන්නට ඔබේ සාර්ථකත්වය ඔබෙන් බොහෝ ඈත් වන්නට හැකියාවක් පවතී. 

එමෙන්ම යුද්ධ, දිළිඳු බව, වසංගත රෝග, ස්වභාවික ව්‍යවසන යනාදී වූ නේක අභියෝග හමුවේ ද ලෝකය දිනෙන් දින පීඩාවිඳින ආකාරය වර්තමානය වනවිට ඔබට, මට හොඳින්ම පසක් වී ඇත. නමුත් ලෝකය විනාශ වී යාමට නොඳී තවදුරටත් ආරක්ෂා වී ඇත්තේ ද මෙකී අභියෝගයන්ට කෙසේ හෝ අභියෝගාත්මක ව පිළිතුරු සෙවූ නිසාවෙනි. ලෝක යුද්ධය හමුවේ කඩා වැටුණු ජපානය නැවත සුපිරි බලවතෙක් ලෙස නැඟී සිටියේත්, සුනාමියෙන් විනාශ වූ රටවල් නැවත නැඟී සිටියේත් මිනිසා ඒවාට අභියෝගාත්මක ව මුහුණදුන් නිසාවෙනි. 

ඒකාකාරීව ගලායන ගංඟාවක ඇති ලස්සනට වඩා ගල්මුල් මත හැපෙමින් ගලායන ගංඟාවක ඇති සුන්දරත්වය කෙතරම් ද යන්න අමුතුවෙන් කිවයුතු නොවේ. කෙතරම් බාධක පෙරට පැමිණිය ද නොනැවතී ඉදිරියටම ගලන ගංඟාව මෙන් අභියෝග හමුවේ නොසැලී ඉදිරියටම ගෙන යායුතු ජීවිතය ද අපට පාඩම් රැසක් උගන්නාවි. ගිනිගෙන දැවුණද නැවත දළුලන වනාන්තරය ද, පිටාරගලා ගිය ද මල් පිපෙන ගිණිකඳු ද අභියෝග ජයගැන්ම පිළිබඳ ව මිනිසාට පාඩම් උගන්වාවි. එසේනම් තද සුළං සේම වැස්ස ද සමඟ නැගෙන දේදුන්න මෙන් අභියෝග හමුවේ නොසැලී අභියෝගයන්ට අභියෝග කරමින් ජීවිතය ඉදිරියටම රැගෙන යායුතුය. කෙදිනක හෝ ඔබට ඔබ ගැන ආඩම්බර වීමට නම් අභියෝගයන්ට අභියෝගයක් ම විය යුතුය. එසේ අද ඔබ මුහුණදෙන අභියෝග දිනෙක ඔබව සාර්ථකත්වයටම රැගෙන යනු ඇත. එහෙයින් ඔබ සුළඟට ගසාගෙන යන කඩදාසියක් නොවන්න, සුළං කපාගෙන යන කඩදාසියක් ම වන්න. 

Top