මේ ළඟදි හම්බුණු post එකක තිබුණා මෙන්න මෙහෙම වචන ටිකක්.
Bad news: Everything is temporary.
Good news: Everything is temporary.
අහම්බෙන් දැකලා හිත නතර වුණු මේ post එක ලොකු කතාවක් කියනවා කියලා මට හිතුනා. මට හිතෙන්නේ මේක අපේ ගොඩක් මිනිස්සු දුකින් ඉන්නෙ මේ නරක ආරංචිය හින්දා. ඒ කියන්නේ හැම දෙයක්ම තාවකාලික හින්දා. හැබැයි අනෙක් පැත්තට ගොඩක් මිනිස්සුන්ගෙ ජීවිතේට සතුට ලැබෙන්නේත් මේ හැම දෙයක්ම තාවකාලික හින්දා.
අපි යමු මේ පළවෙනි තැනට. ඒ කියන්නෙ නරක ආරංචියට. තව විදියකින් කිව්වොත් හැමදෙයක් ම තාවකාලිකයි කියන එකට. අපිට මේ ලෝකෙ ලැබෙන හැමදේම තාවකාලිකයි කියන පරම සත්‍ය හින්දා අපිට අද ලැබෙන සතුට හෙට වෙද්දි නැති වෙනවා. අද ඉන්න පිරිස හෙට වෙද්දි නැති වෙලා යනවා. ඒකෙන් අපේ ජීවිතේට දුක, කලකිරීම එකතු වෙනවා. තනිකම දැනෙන්න පටන් ගන්නවා. ඊයෙ තිබුණු සතුට අද නැති වෙනකොට මිනිස්සු අඬන්න පටන් ගන්නවා. ඒ සතුට නැති කළා, උදුර ගත්තා කියලා තවත් මිනිස්සුන්ට වෛර කරන්න පටන් ගන්නවා. මෙන්න මේ නිසා තමයි හැමදේම තාවකාලිකයි කියන එකේ තියන දුක. අද අපිට ආදරේ කරන කෙනා හෙට වෙද්දි වෙනස් වුනොත් ඒ දේ වෙන්නෙ මේ හැමදේම තාවකාලිකයි කියන ධර්මතාවය උඩ. අද අපි විභාගයකින් සමත් වෙලා සතුටු වුණාට, සමහර වෙලාවට උදම් ඇනුවට හෙට වෙද්දි ඒ සතුට නැති වෙන්න මොකක් හෝ හේතුවක් ඉස්සර වෙන්න පුළුවන්. මොකද හැමදේම තාවකාලිකයි. හැමදේම වෙනස් වෙනවා. මොකද අපි දන්න ප්‍රසිද්ධ කතාවක්නෙ "වෙනස් වන ලෝකයේ නොවෙනස්වන එකම දේ වෙනස් වීමයි කියන්නෙ." මේ කතා කොයි තරම් ඇහුවත් අපිට වෙනස්වීම් එක්ක දුක දැනෙන්න පටන් ගන්නවා. මොකද අපි හැමෝම මිනිස්සු. අපි අපේ ජීවිතේට පුද්ගලයෙක් ළං වුණත්, අජීවී වස්තුවක් ලැබුණත් ඒ දේ සදාකාලික ව වෙනස් නොවී අපි ළඟ තියේවි කියලා බලාපොරොත්තු වෙනවා. ඒ බලාපොරොත්තුව බිඳුනම, ඒ කියන්නෙ දේවල් වෙනස් වුණාම එතන ඉඳලා අපි දුක් වෙන්න පටන් ගන්නවා, අඬන්න පටන් ගන්නවා, අපේ ජීවිතේ ම ඒ දේවල් එක්ක සෘණාත්මක වෙන්න පටන් ගන්නවා. මේ හැමදේම නිසා තමයි "හැමදේම තාවකාලිකයි" කියන එක අපේ ජීවිතවලට නරක ප්‍රවෘත්තියක් වෙන්නෙ.
නමුත් මේ post එකේ දෙවෙනි වාක්‍ය විදියට තිබුණෙ "හැමදේම තාවකාලිකයි" කියන එක හොඳ ආරංචියක් කියලා. ඒ කියන්නෙ ඒක තමයි සතුට කියලා. හැමදේම තාවකාලික එක, හැමදේම කාලෙත් එක්ක වෙනස් වෙන එක නිසා අපේ ජීවිතේට කොහොමද සතුටක් ලැබෙන්නෙ, ඒක දුකක්නෙ කියලා ඔයා චෝදනා කරන්න පුළුවන්. නැතිනම් නෝක්කාඩු කියන්න පුළුවන්. හැබැයි එහෙම නෑ. ඒකෙ සතුටක් තියනවා. හිතන්නකො ඔයාගෙ ජීවිතේට ලොකු දුකක් කරදරයක් මේ දවස්වල තියනවා කියලා. ඒක නිසා ඔයා මේ දවස්වල ලොකු පීඩනයකින් ඉන්නෙ කියලා. හැබැයි මතක තියාගන්න හැමදේම තාවකාලිකයි කියන න්‍යාය මෙතනට අදාළයි කියලා. ඉතිං මේකත් තාවකාලිකයි. මේ දුකත් ඉක්මනින් ම ඔයාගෙ ජීවිතෙන් ඈතට යනවා. ඉතිං ඒක සතුටක් නෙවෙයිද. හැබැයි ඔයාට මෙහෙම තර්කයක් ගොඩනගන්න පුළුවන්. අපේ ජීවිතේ ඉන්න මිනිස්සු දේවල් වෙනස් වෙන එක දුකක් නිසා ඒකෙ සතුටු වෙන්න දෙයක් නෑනෙ කියලා. එහෙම නෑ. මොකද ඔයා ළඟ ඉන්න ඔයා ගොඩක් හොඳයි කියලා හිතන් ඉන්න මිනිස්සු වෙනස් වුණාම දුක දැනුනට ඔයා දන්නවද ඒකෙන් ඔයාට ගොඩක් හොඳ පාඩම් කියලා දෙනවා. මිනිස්සු වෙනස් වෙන්න පුළුවන් කියලා, අපේ ජීවිතේට තනිකම, වෙනස් වීම දරාගන්න පුළුවන් වෙන්න ඕනි කියලා, ඉතිං කොහොමද ඒක නරක වෙන්නෙ. ඒ විතරක් නෙවෙයි හිතන්නකො ඔයාට ඊයෙ ඇති තරම් සල්ලි තිබිලා අද ඔයාට එක සතයක්වත් නෑ කියලා. ඒත් කමක් නෑ. ඒ වෙනස්වීමෙත් සතුටක් තියනවා. ඔයාට ඇති කාලෙ වගේම නැති කාලෙත් ජීවත් වෙන්න ඒකෙන් කියලා දෙනවා. ඉතිං හැමදේම තාවකාලිකයි කියන එක ගොඩක් හොඳ දෙයක්.
හැමදේම තාවකාලික නොවුනා නම් මේ ලෝකෙ මීට වඩා අසාධාරණ වෙනවා. ඒනම් සතුට තියන මිනිස්සුන්ට හැමදාම අඩු නොවී එකම විදියට සතුට ලැබේවි.ඒ මිනිස්සු ඔවුන් විසින් ම ගොඩනගා ගත්ත comfort zone එකක බොහොම සතුටින් ජීවත් වේවි. ජීවිතේ දුක් විඳින මිනිස්සුන්ට එතනින් අඩියක් එළියට තියාගන්න බැරිව දුකේ ගිලිලා ඉඳීවි. සතුටක සේයාවක්වත් නැති වේවි. ඒක අසාධාරණ නැද්ද. අපේ ජීවිතේ ලස්සන වෙන්න නම්, දුක සතුට දෙක එකට සමබර ව අපිට ලැබෙන්න ඕනි. අපේ ජීවිතේට අත්දැකීම්, මතකයන් එකතු වෙන්න නම් දුක සතුට අඩු වැඩියක් නැතුව ලැබෙන්න ඕනි. නැත්නම් පොළොව පය ගහලා ජීවත් වෙන්න පුළුවන් සැබෑ මනුස්සයෙක් නිර්මාණය වෙන්නෙ නෑ. ඉතිං ඒ දේට හැමදේම වෙනස් වෙන්න ඕනි. සදාකාලික දේවල් ඇතුළෙ සම්පූර්ණ මිනිස්සු නිර්මාණය වෙන්නෙ නෑ.
ඇත්තටම ජීවත් වෙනවා කියලා කියන්නෙ හැමදේම තාවකාලිකයි කියන පොදු ධර්මතාවයට යටත් වෙන එක. ඒ දේට මුහුණ දෙන එකට. ඉතිං මේ post එකේ තිබුණු දේ 100%ක් ම ඇත්ත. අපේ ජීවිතේ හොඳ දේත්, නරක දේත් දෙකම වෙනස්වීම. ඉතිං අවසානයේ ඒ පොදු න්‍යාය අපේ ජීවිතේට ධනාත්මක ව ආරෝපණය කරගෙන තාවකාලික බව ඉදිරියේ සිනහනකින් සියලලට මුහුණ දීමට අධිෂ්ඨාන කර ගනිමු.