හොඳ ආදරවන්තයෙක් හෝ ආදරවන්තියක් වීමේ රහස (788)

post-title

අපි හැමෝම දන්නවා පෙබරවාරි මාසය කියලා කියන්නේ ආදරවන්තයින්ගේ මාසය කියලා. ඉතින් මේ මාසේ ආදරවන්තයින්ගේ දිනය සමරන්න කලින් හොඳ ආදරවන්තයෙක් වෙන්නේ කොහොමද කියලා පාඩම ඔයාට කියාදෙන්න තමයි මේ ලිපිය ලියන්නෙ. ඇත්තටම මේක ටිකක් ලොකු පාඩමක්. පාඩමක් කිව්වට ඔයා ජීවිතයට එකතු කරගන්න ඕන ගුණාංගයක්. ජීවිතය පුරාවටම විනෝදාංශයක් වගේ පවත්වාගෙන යන්න ඕනි වටිනා පුරුද්දක්. මේ ගුණාංගය හරි විදිහට පවත්වාගෙන ගියොත් තමයි ඔයාට හොඳ ආදරවන්තයෙක් ආදරවන්තියක් වෙන්න පුළුවන් වෙන්නේ.

ඒ බොහොම අපූරු ගුණාංගය තමයි self love. මොකක්ද self love කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයා ඔයාට ම ආදරේ කරන එක. ඔයා ඔයාට ම ආදරේ කරන පුරුද්ද, ගුණාංගය ඔයාගෙ ජීවිතේ පැළපදියම් කරගත්තොත් තමයි ඔයාට පුලුවන් වෙන්නේ තවත් කෙනෙක්ට හොඳ ආදරවන්තියක් ආදරවන්තයෙක් වෙන්න. ඔයා දැනටමත් එහෙම කරන කෙනෙක් නම් ඔන්න ඔයා සාර්ථකයි. දැනට එහෙම නැති, මේ ගැන දන්නේ නැති කෙනෙක් නම් අද ඉඳලම මේක පටන් ගන්න මේ ලිපිය අවසානය වෙනකල් කියවන්න.

ඔයාට ප්‍රශ්නයක් ඇති ඔයා කොහොමද ඔයාටම ආදරේ කරන්නෙ කියලා. ඒක කරන්නේ මෙහෙමයි. ඔයා හිතලා බලන්න ඔයා ඔයාගේ ආදරවන්තයාට එහෙම නැත්නම් ආදරවන්තියට ආදරය නිසා ඔහු හෝ ඇය වෙනුවෙන් කරන දේවල් මොනවද කියලා. එහෙම අත්දැකීමක් නැති කෙනෙක් නම් හිතලා බලන්න ඔයා ඔයාගේ සුරතල් සතෙක්ට එහෙම නැත්නම් ඔයාගේ සහෝදරයෙක්ට, යහළුවෙක්ට ආදරේ නිසා ඔවුන් වෙනුවෙන් කරන කැපකිරීම් මොනවද කියලා. ඔයාට තියෙන්නේ ඒ දේවල් ඔයා වෙනුවෙන්ම කරන්න.

උදාහරණයක් විදියට ඔයා ඔයාගෙ සහකරුවා හෝ සහකාරිය කැමති කෑමක් ඇයට හෝ ඔහුට අරන් දෙනවා කියලා හිතන්නකෝ. ඔයාට පුළුවන් වෙන්න ඕනෙ ඒ වගේ දෙයක් ඔයාටත් අරන් දෙන්න. ඔයාටම ඔයා තෑගි අරන් දෙන්න, ඔයාවම ඔයා අගය කර ගන්න, ඔයාවම ඔයා ලස්සන කරගන්න. ඔයා ඔයා වෙනුවෙන්ම කැප කිරීම් කරන්න.

ඔයා මහන්සි වෙලා exam එකක් pass වුණා කියලා හිතන්නකෝ. එතකොට ඔයා ඔයාට තෑග්ගක් අරගෙන දෙන්න. ඒ තෑග්ග සල්ලි වියදම් වෙන දෙයක් වෙන්න ඕනේ නෑ. ඔයා කැමති සින්දුවක් අහන එක, කැමති පොතක් කියවන එක, කැමති film එකක් බලන එක වගේ තෑග්ගක් වෙන්නත් පුළුවන්. මොකද මේ exam එකට දිවා රෑ නොබලා පාඩම් කරන්න, සාර්ථකව මුහුණ දෙන්න, නිවැරදි පිළිතුරු ලියන්න ඔයා ඔයාට ම ශක්තියක් වුණා. හිතන්න,  බැරි වෙලාවත් අසනීප වෙලා ඔයාට මේ exam එක ලියන්න බැරි වුණා කියලා. නැත්නම් මොනවා හරි හේතුවක් නිසා ඔයාට පාඩම් කරන්න බැරි වුණා කියලා. එතකොට ඔයාට අද මේ සතුට විඳින්න බෑ. ඉතින් ඒ කිසිම දෙයක් නොවී, ඔයාව ආරක්ෂා කරලා, ඔයාට පාඩම් කරන්න ඕනි ශක්තිය දුන්නේ ඔයාමයි. ඉතින් ඔයා ඔයාටම තෑග්ගක් දුන්නට කමක් නෑ නේද?

ඇත්තටම ඇයි අපි අපිට ආදරේ කරන්නෙ? ඒක ඔයාට හිතෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. මොකද අපි හැමදාමත් ඉගෙන ගත්තෙ අනිත් අයට ආදරේ කරන්න. අනිත් අයට උදව් කරන්න. අනිත් අයව අගය කරන්න. අනෙක් අයට තෑගි දෙන්න. හැබැයි අපිට අපිව අමතක වුණා. කොයි මොහොතක හරි මේ අනිත් අය කියන කුලකය හිස් වුනොත්, මේ අය අපේ ජීවිතේ ඈත් වුණොත්, අපිට ජීවත්වෙන්න අමතක වෙනවා. මොකද අපිට ආදරේ කරන්න කෙනෙක් නැති නිසා. තවත් හේතුවක් තමයි අපි තවත් කෙනෙක්ට ආදරය කරනවා නම් ගොඩක් වෙලාවට පෙරළා එයත් අපිට ආදරේ කරන්න ඕනි, එයත් අපි ගැන හොයලා බලන්න ඕනි, එයත් අපි වගේ කරන්න ඕනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි කියලා කොයි තරම් කවි ලිව්වත් මනුස්ස ස්වභාවය අනුව අපි බලාපොරොත්තු වෙනවා ඒ දේ. ඒ දේවල් අපිට නොලැබිලා යන මොහොතකදි අපි හිතින් ගොඩක් දුක් විඳිනවා, කඩා වැටෙනවා. ඒත් අපි අපිටම ආදරේ කරනවා නම් අපිට මේ වගේ ගැටළුවලට මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ නෑ. ඉතින් අපිට පුළුවන් වෙන කෙනෙකුට ආදරය කරනවට වඩා අපිට ආදරේ කරලා සතුටින් ඉන්න. අනිත් විශේෂම දේ තමයි අද වෙනකොට අපේ සමාජයෙන් සියදිවි නසා ගැනීම කියන දේ වාර්තා වෙන ප්‍රමාණය දවසින් දවස ඉහළ යනවා. තමන්ගේ ජීවිතය තමන් විසින්ම නැති කරගත් මිනීමරුවෙක් විදියට අවාසනාවන්ත මරණයකට උරුමකම් කියන්න මේ තරම් මිනිස්සු ප්‍රමාණයකට හිතට ශක්තිය ලැබිලා තියෙන්නෙ තමන් තමන්ට ම ආදරය නොකරන නිසා. තමන් තමන්ට ආදරය කළා නම් මැරෙනවා නෙවෙයි තමන්ගේ ශරීරයට පුංචි සීරීමක්වත් කරගන්න හිත දෙන්නෙ නෑ. මෙන්න මේ කාරණාව නිසාත් තමන් තමන්ට ම ආදරය කරන එක ගොඩක් වැදගත් වෙනවා.

කොහොමද තමන් තමන්ට ආදරය කරන එක එහෙම නැතිනම් self love කියන එක හොඳ ආදරවන්තයෙක් ආදරවන්තියක් නිර්මාණය කරන්නේ? මොකද මේ ලිපිය පටන් ගන්නකොටම මම කිව්වේ ඒ ගැනනෙ. තමන් ගැන හිතන, තමන්ට ආදරය කරන, තමන්ව ආරක්ෂා කරන, තමන්ව සතුටු කරන කෙනෙක්ට විතරයි තවත් කෙනෙක්ට ආදරේ කරන්න, ආරක්ෂා කරන්න, සතුටු කරන්න පුළුවන්කම තියෙන්නෙ. තමන්ගේ ජීවිතය ගැන වගකීම බාරගන්න ශක්තිය තියෙන ගැහැණු ළමයෙක් කියන්නේ පිරිමි ළමයකුට ලොකු ශක්තියක්. ඒ වගේම තමන්ගේ ජීවිතයට ආදරේ කරන පිරිමි ළමයෙක් කියලා කියන්නේ ගැහැණු ළමයෙකුට ආභරණයක්.

self love කියන එකත් එක්ක ඔයාට self confidence ඇති කරගන්නත් හැකියාව තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනි විශේෂ කාරණය තමයි self love කියන්නේ ආත්මාර්ථකාමී වෙනවා කියන එක නෙවෙයි. තවත් කෙනෙක්ව අභිබවා යනවා කියන එකත් නෙමෙයි. අනිත් කෙනාට ඕනි දෙයක් වුණාවෙ කියලා හිතලා තමන්ගේ වැඩේ කරගන්න එකටත් නෙවෙයි. අනිත් අයට උදව් කරන ගමන්, ප්‍රමුඛතාවය ලබා දීලා තමන්ව ජයග්‍රහණය කරා අරගෙන යන ආදරය එක්ක බැඳුණු දෙයක් තමයි self love කියන්නෙ.


ඔයාගෙන් කවුරු හරි ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කාටද කියලා, ඒ ප්‍රශ්නෙට උත්තරේ මම කියන එක නම්, ඒක තමයි self love. අපි ජීවත් වෙනකොට අපිට විවිධාකාරයේ මිනිස්සු හම්බ වෙනවා. සමහර මිනිස්සු අපිට ආදරණීය මතකයන් දෙනවා, තවත් සමහර මිනිස්සු අපට අමිහිරි මතක දෙනවා. ඒ කොයි වර්ගයේ මිනිස්සු කාලෙන් කාලෙට ඔයාගේ ජීවිතයට ආවත්, මුළු ජීවිත කාලය පුරාවටම වෙනස් නොවී ඔයා එක්කම ඉන්න එකම පුද්ගලයා ඔයා. ඉතින් මුලින්ම ඔයාට ආදරේ කරන එකේ කිසිම වැරැද්දක්වත්, පාඩුවක්වත් නෑ. ඉතින් මේ ආදරවන්තයින්ගෙ හොඳ ආදරවන්තයෙක්, හොඳ ආදරවන්තියක් වෙන්න නම් මේ ගුණාංගය පුරුද්දක් විදියට ඔයාගෙ ජීවිතේට එකතු කරගන්න. අනිවාර්යෙන්ම ඔයා දිනනවා. ඒක විශ්වාසයි.

Top