2022 අවුරුද්දේ ඉගෙන ගත්තු පාඩම් අතර මං ආසම වගේම වැදගත්ම පාඩම මේක කියලයි මං හිතන්නේ. අද මේ මොහොතේ 'මම' කියල සලකන පුද්ගලයාව ගත්තොත්, මං එයාව දකින්නේ මට මෙතුවක් කල් මුණ ගැහුණු මිනිස්සුන්ගෙ සහ අත්දකින්න ලැබිච්ච අත්දැකීම් වල නිර්මාණයක් කියල.
ඉතිං මං මට ආදරෙයි කියල මං කියාගන්නව නම් වක්‍රාකාරයෙන් මං ඒ කියන්නෙ මට මුණගැහිච්ච මිනිස්සුන්ට සහ ඒ අත්දැකීම් වලට ආදරෙයි කියලයි මට හිතෙන්නෙ.
සාමාන්‍යයෙන් දවසක් ගත්තම ඒ දවස ඇතුළෙ සිද්ධ වෙන ඇලීම් සහ ගැටීම් ප්‍රමාණය ගණන් කරන්න බැරි තරම්. අනායාසයෙන් සිද්ධ වෙන විනිශ්චයන් ගත්තමත් එහෙමයි. සමහර ඇලීම් සහ ගැටීම් මට වේදනාකාරී වගේම හරිම වෙහෙසකර බවක් ගේනකොට, සමහර විනිශ්චයන් හරිම වැරදියි නේද කියල හිතෙද්දි, මං මේ අවුරුද්දේ පොඩ්ඩක් ඒ ඒ ඇලීම් ගැටීම් සිද්ධ වෙනකොට, පොඩ්ඩක් නැවතිලා ඒ ගැන හිතන්න ගත්තා.
ඒ 'නැවතී හිතීම' ඇතුළේ මට ගොඩක් දේවල් පසක් වෙන්න ගත්තා. බාහිර දේවල් ගැන නෙමේ... මට මං ගැනම තේරෙන්න ගත්තා කිව්වොත් හරි. පුංචි කුමාරයා එක්ක අන්තිමට කරපු කතාබහේදිත් එයා මට කිව්වේ මාව අඳුරගන්න කියලනෙ මුලින්ම. ඉතිං කොහොමහරි ඔහොම ටික කාලයක් ගියාම "අපට මුණගැහෙන මිනිසුන් විටෙක අපට අපගේම ස්වයං ප්‍රතිබිම්බ පෙන්නුම් කරන වටිනා දර්පණ ලෙස ක්‍රියාකරයි" කියන දේ වැටහෙන්න ගත්තා.
ඔහොම යනකොට මේක හරිම ෂෝක් වැඩක් නෙ කියල මේකට ආස හිතුණා. ඒ කිව්වේ ජීවිතේ සිද්ධ වෙන ඒ ඒ සංසිද්ධීන් වලට ඉක්මනට ප්‍රතිචාර දක්වන්න කලිං පොඩ්ඩක් ඒ ඒ සංසිද්ධිය විශ්ලේෂණය කරල බලන්න හුරු උනා. අවසානේදි මට තේරුම් ගියපු වැදගත්ම දේ තමා "මාව දුකට පත් කරන්නෙ හෝ සතුටට පත් කරන්නේ බාහිර දේවල් නෙමේ ය, ඒක මගේ ම තෝරාගැනීම් වල ප්‍රතිඵලයක් ය" කියන එක.
මේ දේවල් අපි අනන්තවත් අහල කියවල තිබ්බත් අර ඕනෙම දෙයක් තමන්ට ම ප්‍රත්‍යක්ෂ වෙන මොහොත තියෙනව නේද.. ඒක කියල වැඩක් නෑ. මාරම ෂෝක්. කෙනෙක් මගෙන් අහන්න හෝ කියන්න පුලුවන්, ජීවිතේ සිද්ධ වෙන හැමදේම අපේ තෝරාගැනීම් නෙමේ නේද, අපි අකමැති දේවලුත් වෙනව නේද කියල...? ඔව් ඇත්තටම.
ජීවිතේ සමහර වෙලාවට සමහර කාල වලදි සිද්ධ වෙන දේවල් ගත්තම ඒවයෙ වැඩිහරියක් තියෙන්නෙම අපි කැමති දේවලටත් වඩා අකමැති දේවල්. මෙතන තියෙන ලස්සන ම සහ මට කියන්න ඕන වෙච්ච වැදගත් ම දේ තමා, "මොන දේ උනත් අපි ඒ දිහෑ දකින බලන විදිහ අනුව, ඒක හොඳ දෙයක් ද නරක දෙයක් ද කියල තීරණය වෙනව" කියල.
ඇත්තටම මේ mindset එකට අපිව හුරු කරගන්න එක මේ කියන තරම් ලේසි නෑ. මාත් 100%ක් මේ වැඩේදි තවමත් සාර්ථක නෑ. මාත් තවම මේ process එකේ ඉන්නේ. ඒ කිව්වේ මටත් තවම මොනාහරි අවුල් දෙයක් වෙච්චි ගමං සාමාන්‍ය සුපුරුදු හැසිරීම් රටා ටික තියෙනව. හැබැයි ඒ අනායාස හැසිරීම් රටා ටික ඉවර උනාට පස්සෙ ඉතුරු ටික මං දැන් manual පාලනය කරන්න හුරු වෙන ගමං ඉන්නේ. මට ඒ ගැන ගොඩක් සතුටුයි. මං කියන්නෙ මෙහෙම දෙයක්, සමහර දේවල් වලට අපි 'හුරු වෙලා ඉන්න' 'ප්‍රතිචාර රටා' ටිකක් තියෙනව, ඒ 'හුරුවීමට' විවිධ හේතු බලපාල තියෙන්න පුලුවන්. කොහොමහරි ඒ ප්‍රතිචාර රටා බොහොමයක වැදගත්ම ලක්ෂණය තමා ඒව අපි හදාගෙන තියෙන්නේ හෝ අපි ඒවට හුරු වෙලා තියෙන්නේ අපිව ආරක්ෂා කරගන්න, එහෙම නැත්නම් ඒ වෙච්ච සිද්ධියට කෙලින් මුහුණ නොදී ඒකෙන් පලායන්න, එහෙම නැත්නම් ඒකෙන් හැංගෙන්න.
මං කියන්නෙ නෑ ඒ ප්‍රතිචාර රටාවන් වැරදියි කියලා. කොහොම හරි අපි ඒවගෙන් පොඩි සැනසීමක් තාවකාලික වින්දනයක් ලබනවා. ඒත්, කෙනෙක්ට පුලුවන් 'හුරු වෙච්ච' 'ප්‍රතිචාර රටාවන්' කඩලා, ඒ ඒ සංසිද්ධින් විනිවිද ගිහිල්ල ඒවට මුහුණ දෙන්න. හැබැයි, ඒක අනිවාර්ය නෑ. ඒක තෝරාගැනීමක්.
මට හිතෙනව අන්න ඒ තෝරාගැනීම කරන්න කැමති සහ ඒකට ධෛර්යය තියෙන කෙනාට ජීවිතේ ලස්සන ලස්සන තෑගි අවසානෙදි ලබාදෙනව කියල. ඇත්තටම ඔයා ගොඩක් සංවේදි කෙනෙක් නම්, over think කරන කෙනෙක් නම්, ඔයාට මේ වැඩේ කරන්න මුල් කාලෙ ටිකක් අමාරුයි තමා. ටිකක් නෙමේ, සෑහෙන්න අමාරුයි. මං මේ අධෛර්යයට පත් කරනව නෙමේ. ඇත්ත කිව්වේ.
හැබැයි ඒ අයට තමා මේ වැඩේ කරගන්නව නම් කරගන්න වටින්නෙම.
ඇත්තටම මේක අතාරින්නෙ නැතුව මහන්සි වෙලා practice කරොත් ටික කාලයක් ගියාම මේක සුපුරුදු සිතිවිලි රටාවක් වෙනවා. එහෙම උනාම මට හිතෙනව අනිවාර්යයෙන් ජීවිතේ 'ඇත්තටම' හරිම නිදහස්, සතුටුදායක තැනක් වේවි කියල. ඒ වගේම ජීවත් වෙනව කියන එක 'දැනෙන්නත් ගනීවි' කියල. ඉතිං, උත්සාහ කරල බලන්න.
මොකද, මේක ඔයාටයි මටයි තියෙන එකම එක ජීවිතේ නිසා