ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික හරි තදින් අල්ලගන්න (777)

post-title

මේ ෆොටෝ එකේ ඉන්නේ ලන්ඩන් පාලමෙන් පැනලා සියදිවි හානි කරගන්න හදන පුද්ගලයෙක් සමග කතා බස් කරමින්, වැළඳ ගනිමින් ඔහුව ආරක්ෂා කරන සනසන නාදුනන පුද්ගලයින් පිරිසක්. ඔහුව බේරා ගැනීම වෙනුවෙන් තමයි ඔවුන් කාලය ගනිමින් වෙහෙසෙන්නේ. (ඡායාරූපයේ තොරතුරු අන්තර්ජාලයෙන්)

මිනිස්සුන්ගෙ ජීවිතවල අමාරුම මොහොතවල්, දරාගන්න බැරිම තැන් අඩු වැඩි වශයෙන් එනවා. කොච්චර ශක්තිමත් පුද්ගලයෙක් උනත්, දරාගන්න බැරි ම මට්ටමකට එන වෙලාවල් තියෙනවා. ධනය, බලය හෝ කිසිම දෙයකට මිනිස්සුන්ගෙ ජීවිතේ එන විවිධාකාර ගැටලුවලට ස්ථිර විසඳුමක් සොයන්න බැහැ. ප්‍රශ්නය මොකක්ද සහ ඒකට මුහුණ දෙන ආකාරය පුද්ගලයා අනුව විවිධයි.

කෙනෙක් ආදරෙන් පැරදිලා වේදනාවෙන් දරාගන්න බැරිව ඉද්දී, ජීවත් වෙන්න මාසයක් පමණක් ඇති බව වෛද්‍යවරු නියම කරන පුද්ගලයෙක් ඒ මාසය ආසාවෙන් ජීවත් වෙනවා. කෙනෙක් ආදරේ කරන කෙනෙක්ගෙ මරණයක් නිසා වේදනාවෙන්, නැවත එන්නෙ නෑ කියන දරුණුම වේදනාවත් දරාගනිද්දී තව කෙනෙක් විභාගයකට තියෙන දරුණු භීතිකාවක් නැත්තම් දරාගන්න බැරි පීඩනයකින් ජීවිතේට හානියක් කරගන්න හිතනවා. ඉතින් ඒ ප්‍රශ්නය මොන විදියට ආවත් පිටින් බලන කෙනෙක්ට කොච්චර සරල උනත් අදාළ පුද්ගලයා ඒ ප්‍රශ්නෙට මුහුණ දුන් ආකාරය, එයාට බලපාපු විදිය, දරාගත් පීඩනය දන්නෙ ඒ කෙනාම විතරයි. ඉතින් ප්‍රශ්නය සරල වුනා කියලා ඒ කෙනා දුර්වලයෙක්, ඊට වඩා ප්‍රශ්න වෙලත් අපි දරාගෙන ඉන්නවා වගේ දේවල් ඔයාගෙ වටපිටාවෙ ඉන්න කෙනෙක්ට කවදාවත් කියන්න සුදුසු නැහැ. ඔයා ඔච්චර දුර්වලයිද? අහන තැනින්ම අදාළ කෙනා තවත් මානසික පීඩනයට ලක් වෙනවා. පුලුවන් නම් ඒ කෙනා ශක්තිමත් කරන්න සහ ඔයිට වඩා ප්‍රශ්න තියෙන මිනිස්සු ගැන සහ ඔවුන් ඒ ප්‍රශ්න ජයගත් ආකාරය, ජීවිතය ලස්සන කරගත් ආකාරය පහදන්න. ඒත් කිසිම වෙලාවක ප්‍රශ්නයක් තියෙන මනුස්සයෙක්ව ප්‍රශ්න කරන්න එපා. ඔහු හෝ ඇයව පහත් කරන්න හෝ තව තවත් සෘණාත්ම දේවල් "අයියෝ ඔයාට මෙහෙම කරන්න තිබුනා, අරම කරන්න තිබුනා, ඔයා ඇයි යාලු උනේ, ඇයි ඔයා එච්චර නපුරු වුනේ, ඔයා ඒ දේ නොකර හිටිය නම් ඔහොම වෙන්නෙ නෑ" ආදී ප්‍රශ්නයක් උනාට පස්සෙ ඒ ගැන නැවත ආපස්සට හැරවිය නොහැකි සිදුවීම් මතක් කරලා අදාළ කෙනාව තවත් පීඩාවට පත් කරන්න එපා. 

කොල්ලෙක් එක්ක යාලු වෙලා breakup වුන කෙල්ලෙක්ට, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙලා දුකින් ඉද්දී, ඔයාමයි ඉල්ලගෙන ලෙඩ දාගත්තෙ වගේ උත්තර වලින් ඒ කෙනා තවත් පීඩාවට පත් වෙනවා. කළ යුත්තේ එයාගෙ ගැටලුවට විසඳුමක් හොයන එකයි. කවුරු හරි ඔයාගෙන් එහෙම විසඳුමක් බලාපොරොත්තු වෙන්නෙ එයාට ඒ ගැන කතා කරන්න ඉන්න විශ්වාසම කෙනා ඔයා නිසා වෙන්න පුලුවන්. ප්‍රශ්නයක් විසඳගන්න ඔයා ළඟට එන කෙනෙක්ට එයා තුළ වැරදිකාරී හැඟීමක් ඇති කිරීම එයාගෙ මානසික පීඩනය වැඩි කරන්න හේතුවක්.

කෙනෙක් වැරැද්දක් හෝ කරපු දෙයක්, නැත්තම් තමන්ට වුන දෙයක් නිසා වේදනාවෙන් පීඩනයෙන් ඉන්නවා නම් එයා තව කෙනෙක්ගෙ උපදෙස් බලාපොරොත්තු වෙන්නෙ තමන්ගෙ වැරැද්ද ගැන විමසන්න දැනගන්න නෙවෙයි. දුක් වෙන්නෙ සහ පීඩාවට පත්වෙලා කෙනෙක් ඔයා එක්ක ගැටලුවක් කතා කරන්නෙම ඒ කෙනා එයාගෙ වැරැද්ද තේරුම් අරගෙන. නමුත් හරවන්න බැරි සිදුවීම් නිසා අවුල් වුන මනසට සහනයක් ඉල්ලගෙන.

බහුතරයක් මිනිස්සු බයයි තමන්ගෙ පීඩනයන්, තමන්ගෙ‍ ප්‍රශ්න ගැන අනික් අය එක්ක කතා කරන්න. හේතුව කවුරුත් ඔවුන්ව අහන් ඉඳීවි කියලා විශ්වාසයක් නැතිකම. ඔවුන් බයයි ඔවුන්ව වරදවා වටහා ගනී කියලා. හැම නරකක්ම වෙන්නෙ තමන් නිසා කියලා හිතනවා. තමන්ගෙ මානසික ප්‍රශ්න ගැන අනික් අය දැනගත්තොත් තමන් මානසික ලෙඩෙක් කියලා හිතයි කියලා ඔවුන් බය වෙනවා. ඉතින් සමාජය ඉස්සරහ "මම හොඳින්" කියලා තනිවම විඳවනවා. 

කවදාවත් ඔයා එක්ක ප්‍රශ්නයක් කතා කරන විසඳුමක් බලාපොරොත්තු වෙන කෙනෙක් අරමයි මෙහෙමයි කියලා විනිශ්චය කරන්න එපා. ඔයාගෙ මට්ටමින් මනින්නත්, අනික් අයගෙ ජීවිත සමග සසඳන්නවත් එපා. පුලුවන් හැම කෙනෙක්ටම හොඳ සවන් දෙන්නෙක් වෙන්න. එහෙම කෙනෙක්ට ඕන ආදරණීය සවන් දෙන්නෙක්. තේරුම් ගන්න පුලුවන් හදවතක්. අමාරුම කාලය තද කරගෙන අල්ලගෙන අත් හරින්නෙ නැතිව ඉන්න බැඳීමක්. හැම මනුස්සයෙක්ටම අඩුවැඩි වශයෙන් එන ජීවිතේ අමාරුම කාල පහු කරලා දවසක ආපහු හැරිලා බැලුවම තමන්ටම හිතෙනවා මෙච්චර සරල දෙයක් වෙනුවෙන් තමන් කොච්චර පීඩා වින්දද කියලා. මිනිස්සු අත්දැකීම් තුළිනුයි පරිණත වෙන්නේ, ජීවිතේ පාඩම් ඉගනගන්නේ, දරාගැනීම්වලට හුරු වෙන්නේ. ඉතින් ජීවිතේ අමාරුම දවස් පහුකරන්න මිනිස්සුන්ට හයියක් වෙන්න. ඔයා මේ ගෙවන්නෙ ජීවිතේ අමාරුම දවස් නම් තදින් අල්ලගෙන ඉන්න. වැටෙන තැන්, රිදෙන තැන්, අවංක බැඳීම්, හැම දෙයක්ම ඔයාට හොඳින් තේරුම් ගන්න, බොහෝ පාඩම් ඉගෙනගන්න මේ අමාරුම කාලෙ ඔයාට ලැබෙන අවස්තාවන් ගැන ඔබටම ස්තූතිවන්ත වෙන්න. ඉතින් ඔයාගෙ ජීවිතේ අමාරුම දවස් ටික හරි තදින් අල්ලගන්න. අන් කවරදාටත් වඩා ඔයාට ආදරේ කරන්න. හොඳින් සලකන්න. ඔයාගෙ ජීවිතේ පරෙස්සමින් අල්ලගෙන ඉස්සරහට අරන් යන්න. හැම අමාරු කන්දක්ම තරණය කරලා අවසානයේ පල්ලමක් ද ඇති බව අමතක නොකරන්න.

Top