ඔයාගෙ සිහින ලෝකය ස්ථීරව ම සැබෑ කරගන්න පුංචි රහසක්. (756)

post-title

අපි හැමෝටම අරමුණු තියෙනවා. එහෙම නැත්නම් ඉලක්ක, බලාපොරොත්තු, හීන මේ එක එක නම්වලින් හඳුන්වන අනාගතයේ පිලිබඳ අදහස් අපි හැමෝටම තියෙනවා. ඉස්සර අපේ ඒ විදියට තිබුන බලාපොරොත්තු අද වෙනකොට ඉෂ්ට වෙලා තියෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඉස්සර තිබුන බලාපොරොත්තු අද වෙනකොට ඉෂ්ට නොවී, නොහිතපු දේවල් වෙලා තියෙනවා වෙන්නත් පුළුවන්. හැබැයි මං අද ඔයාලට කියන්නේ ඔයාලගෙ බලාපොරොත්තු, හීන, අරමුණු, ඉලක්ක මේ ඕනි නමකින් හඳුන්වන ඕගොල්ලන්ගේ අනාගතය පිළිබඳ ඔයාලාගෙම හිතේ පැලපදියම් වෙලා තියෙන ඔයාගෙම දැක්ම යථාර්ථයක් කරගන්න බොහොම ලේසි ක්‍රමවේදයක් ගැන.

අපි සාමාන්‍යයෙන් අපේ ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙලා වැඩ කරන එක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඒක අපි අනිවාර්යෙන්ම කරන්න ඕනේ දෙයක්. ඒකට හේතුව තමයි, අපේ ඉලක්ක කොයි තරම් ලේසි දේවල් වුණත්, අමාරු දේවල් වුනත් ඒවා සාක්ෂාත් කරගන්න මහන්සි වෙන එක අනිවාර්ය දෙයක් හින්දා. හිතන්නකෝ ඔයා කවදහරි දවසක මේ ලංකාවේ ජනප්‍රියම ගායකයා හෝ ගායිකාව වෙන්න සිහින දකින්නෙක් එහෙම නැත්නම් සිහින දකින්නියක් කියලා. ඔයා ඒ වෙනුවෙන් ඔයාගේ අවශ්‍ය ඉගෙනීම් කටයුතු, හඩ පාලනය ඒ වගේම ගීත ගායනය පිළිබඳව තවත් බොහෝ දේවල් නිරන්තරයෙන් ම ප්‍රගුණ කළ යුතුයි. ඊට අමතරව ඔයාට මෙහෙම පුංචි දෙයක් කරන්න පුළුවන්. ඔයා හැමදාම හිතන්නේ "මට කවදාහරි මේ ලංකාවේ ඉන්න ජනප්‍රියම ගායකයා වෙන්න ඕනි" කියල නම් මේ මොහොතේ ඉදන් ඒ හිතන සිතුවිල්ල පොඩ්ඩක් වෙනස් කරගන්න. 

ඔයා මේ මොහොතේ ඉඳන් හිතන්න පටන් ගන්න මම මේ වෙලාවෙ ලංකාවෙ ඉන්න ජනප්‍රියම ගායකයා කියලා. ඔයාට හිතන්න පුළුවන් ඔයා මේ වෙලාවේ ලොකුම ලොකු වේදිකාවක ගොඩක් ලොකු ජනකායක් ඉස්සරහ ගීත ගායනා කරනවා කියලා. එහෙමත් නැත්නම් ඔයාව මේ ලංකාවෙ තියෙන ජනප්‍රිය youtube channel එකකින්, එහෙමත් නැත්තම් ජනප්‍රිය TV channel එකකින් ඉන්ටවිව් කරනවා කියලා. මේ වෙලාවේ ඔයාගෙන් අහන ප්‍රශ්න, ඔයා ඒවට දෙන උත්තර මේ හැමදේම ගැන ඔයාට පුළුවන් හිතින් හිතන්න. ඔයාට පුලුවන්නම් මේ සිතුවිලිත් එක්ක ඔයාගේ දවස අවසාන කරන්න, ඒ වගේම දවස පටන් ගන්න ඒ කියන්නේ රාත්‍රියේ නින්දට යන වෙලාවටත්, උදෑසන අවදි වන වෙලාවටත් මේ සිතුවිලි ඇතුළෙ එක්ක ජීවත් වෙන්න එතනින් ඔයාගේ ඉලක්කය සාක්ෂාත් කරගන්න ඕනි ලොකු ශක්තියක් ලැබෙනවා. ඒ වගේම ඔයාට පුලුවන් නම් ගායකයෙක් ගීත ගායනා කරන පින්තූරයක් ඔයාට හැම වෙලාවෙම පේන තැනක එල්ලලා තියාගන්න, ඒ පිංතූරය දකින හැම වෙලාවෙම අනාගතය දවසක ඉන්න ඔයා විදිය මැවිල පේන්න පටන් ගනීවි. ඔයාගෙ හිත පුංචි දේකින් හරි කඩා වැටෙන කොට මේ පින්තූර දැකලා ඔයාට ආයෙමත් වැඩ කරන්න හිතේවි. මේ හැමදේම ඔයාගේ හීනෙට යන්න අවශ්‍ය ශක්තිය ඔයාට අනිවාර්යෙන්ම විශ්වයෙන් හොයල දෙන හොඳම හොඳ පුරුදු. ඔයා ඔයාගේ හීනය වෙනුවෙන් නිරන්තරයෙන් ම මහන්සි වෙලා වැඩ කරන කෙනෙක් වුනත් ඔයාට හීනය ගැන තියෙන්නෙ අවිනිශ්චිතතාවයක් නම්, එහෙමත් නැත්තම් ඔයා නිරන්තරයෙන්ම සෘණාත්මක දේවල් හිතන කෙනෙක් නම් සමහරවිට ඔයාගේ අසීමිත මහන්සිය වතුරේ යනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන්ම ඔයා ඔයාගේ හීනය ඇතුලෙ ජීවත් වෙන්න. 

ඔයාගේ හීන ඉෂ්ට කරල දෙන්න ඔයාට ඉන්න ලොකුම මිතුරා තමයි ඔයාගේ යටිහිත. ඔයාට පුලුවන්නම් ඔයාගේ යටිහිත යාලු කරගන්න ඔයා හිතනවාටත් වඩා ලොකු දුරක් ඔයාට යන්න පුළුවන්. යටිහිතට නිරන්තරයෙන්ම ඔයා අද ඉන්න තැන නෙවෙයි ඔයා අනාගතේ යන්න කැමති තැන ගැන කියනවනම් ඔයාගෙ යටිහිත අනිවාර්යයෙන්ම ඔයාට ඒ තැන සකස් කරල දෙන්න මහන්සි වෙනවා. මේ විදිහට ඔයා අනාගතයේ යන්න කැමති තැන අද ඉන්න තැන විදියට ඔයාට ම කියාගන්න එකෙන් අපි කරන්නේ ඔයාගේ යටිහිතට ඔයා යන්න කැමති තැන ඒත්තු ගන්වලා, එතනින් ඔයාට අවශ්‍ය ශක්තිය අරන් දෙන එක. මොකද ඔයා හැම වෙලාවෙම හිතන්න ගත්තොත් මම දුප්පත්, මට සල්ලි නෑ, මම ගායකයෙක් වෙන්න තරම් සුදුසු නෑ, මගේ ගීත කවුරුත් අහන්නෑ, මගේ කටහඬට කවුරුත් කැමති නෑ කියලා ඔයාගේ යටි හිත හදන්නේ ඔයා ඒ හැම වෙලාවෙම හිතෙන දේවල් ඔයාට ඉෂ්ට කරලා දෙන්න. ඒ නිසයි ඔයා අනාගතය වෙනුවෙන් දකින සුබ සිහිනය තුළ ජීවත් වෙමින්, ඒ ජීවිතය පිළිබඳ ඔයාගේ යටි හිතට ඒත්තු ගැන්විය යුත්තේ. මේක වෙන කිසිම කෙනෙකුට ඔයා වෙනුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඔයාගේ හීන ඉෂ්ට කරගන්න ඒක කරන්න පුළුවන් ඔයාට ම විතරයි. ධනාත්මක චින්තනය, ස්වයං යෝජනා, ආකර්ෂණ නීතිය වගේ දේවල් හරහා කරන්නෙත් මීට ටිකක් විතර සමාන දෙයක්. ඉතිං ඔයාට මේ පුංචි දෙයින් පටන් ගත්තොත් ලොකු ගමනක් යන්න පුළුවන්. ඔයා දන්නවද මීට අවුරුදු ගානකට කලින් අනුරාධපුරේ එක තරුණ පිරිමි ළමයෙක්ට ඕනි වෙනවා රටම දන්න නළුවෙක් වෙන්න. තරුණ කිව්වට ඉතිං මෙයා ඉස්කෝලේ යන කාලෙ ඉඳලම ඉන්නේ නළුවෙක් වෙන හීනෙ. අපි කතාවට කියන්නේ නළු සීන් එකේ කියලා. ක්ලාස් එකකට ගියත් අඳින්නේ, පලඳින්නේ, බෑග් එක දාගෙන යන්නේ, කොණ්ඩෙ හදාගෙන යන්නෙ තමන් නළුවෙක් කියලා හිතාගෙන. ඇත්තටම ලෝකෙට නළුවෙක් නොවුනට, ඔහුට ඔහු නළුවෙක්. ඇත්තටම මෙයාට නළු උණ. කතා කරන්නේ, ඇවිදින්නෙ මේ හැමදේම නළුවෙක් විදිහට. මෙයා හිතින් නළුවෙක් වෙලා ඔහුව interview කරන වැඩසටහන්වලටත් සම්බන්ධ වෙනවා. නාන කාමරයේ දොර තමයි මෙයාගෙ නිවේදකයා. වටේ තියන බිත්ති තමයි මෙයා දිහා බලාගෙන ඉන්න ප්‍රේක්ෂක ජනතාව. ඉතින් මේ තරුණයා ඒ ප්‍රේක්ෂක ජනතාවත් එක්ක හිනා වෙනවා. මෙහෙම ඉන්නකොට ඔහුගේ අඳුරන මාර්ගයකින් ඔහුට කෙනෙක් කතා කරලා කියනවා ටෙලි නාට්‍යයක චරිතයක් දෙන්න හෙට පේරාදෙණියට එන්න කියලා. ඒ සැණින් ම සූදානම් වෙන මේ තරුණයා නළුවෙක් වෙන්න බලාපොරොත්තු පොදි බැඳගෙන පහුවදා උදේම පේරාදෙණියට එනවා. පේරාදෙණියෙ ස්ටේශන් එකේ ඉදලා ඔහු අදාල පුද්ගලයාට නැවත දුරකථන ඇමතුමක් දෙනකොට, ඒ පුද්ගලයා කියනවා අද තියන්න තිබුණු shoot එක අපි හෙටට කල් දැම්මා හෙට එන්න කියලා. ආයෙමත් අනුරාධපුරයට යන එකත් පාඩුවක් හින්දා වගේම, පේරාදෙණියෙ අඳුරන කිසිම කෙනෙක් නැති හින්දත් ඔහු තීරණය කරනවා පසුවදා උදේ වෙනකම් පේරාදෙණිය ස්ටේෂන් එකේ ම ඉන්න. ඉතින් එදා දවස පේරාදෙනිය ස්ටේශන් එකේ ඉදලා පහුවදා උදේම ඔහු shoot එක තියෙන තැනට යනවා. ඒ යන්නෙ මම නළුවෙක් කියන දේ හිතේ තියාගෙන, ඒ නළු ජීවිතයේ බොහෝ ඉදිරියට හිතින් ගමන් කරමින්. ඉතිං මේ විදියට ප්‍රධාන චරිතයක් බලාපොරොත්තුවෙන් ගිය ඔහුට සිද්ධ වෙන්නේ ප්‍රධාන නළු නිළියෝ රඟපානවට වඩා මීටර් සීයක් විතර දුරින් පොතකුත් අතේ තියාගෙන ඇවිදන් යන්න. ඒ පළමු අත්දැකීම. ඉන්පස්සෙ නළුවෙක් වීමේ සිහිනයත් අරගෙන අනුරාධපුරයේ මේ තරුණයා කොළඹට එනවා. ඒ සතියක් පාසා පැවැත්වෙන රංගන පාඨමාලාවකට. උදේ පාන්දර 2.45 බස් එකෙන් අනුරාධපුරයෙන් පිටත් වෙන මේ තරුණයා පාන්දර 4.30 - 5.00 වෙද්දි කොළඹට එනවා. පිටකොටුවේ floating market එක ළඟ ඉඳන් මේ පාන්දර සීතලේ ඔහු හිතනවා මං මේ ඇවිත් ඉන්නෙ ජීවිතේ ජයගන්න. මම නළුවෙක්, මම නළුවෙක්, මම නළුවෙක් කියන දේ ඔහු ආයෙ ආයෙ හිතනවා. මේ උදේ පාන්දර ඔහු තුළ තියෙන ඒ හොඳ සිතුවිලි ඔහු පරිසරයට නිකුත් කරනවා. ඔහු ඔහුගෙ හීන ඇතුලේ මේ මොහොතේ ජීවත් වෙනවා. මේ අතරෙ ඔහුට සමහර සතිවල පාඨමාලාවට එන්න බැරි වෙනවා. ඒ මුදල් ප්‍රශ්න හින්දා. නමුත් තවමත් ඔහු ඉන්නේ තමන් නළුවෙක් කියන හීනෙ ඇතුලේ. මේ හින්දම දවසක් ඔහු ඔහුගේ මිතුරෙක් එක්ක රංගන පාඨමාලාවට කලින් දවසේ කොළඹට හරියටම කියනවා නම් කොට්ටාවට ඇවිත් රස්සාවල් හොයන්න පටන් ගන්නවා. දවසක් දෙකක් හොයලා මේ දෙන්නා kfc එකෙක් රස්සාවකට යනවා. එතන කළමනාකාරතුමාටත් මේ තරුණයා කියන්නේ අපි රඟපානවා, නාට්‍ය කරනවා කියලා. ඇත්තටම මේ හදවතින් නළුවා kfc එකේ අතුගාන, මොප් කරන තැන ඉඳලා හැමදේම කරනවා. තමන්ගෙ වයසෙ අයට කෑම කන්න මේසෙ පිහදාලා දෙනකොට ඔහුගේ ඇස්වලට කඳුළු එනවා. හැබැයි ඔහු ඒ කඳුළු දරාගෙන ඔහු ඔහුට ම සපථ කරගන්නවා මම නළුවෙක් කියලා. ඒ විතරක් නෙවෙයි මේ තරුණයා නිර්මාංශිකයෙක් හින්දා මාස 4ක් විතර යනකම් kfc එකේ ඔහුගේ රාත්‍රී ආහාරය වෙන්නේ සෝස් සහ බත්. මේම ඉඳපු ඔහුට ඇත්තටම නළුවෙක් වෙන්න, එහෙම නැත්නම් රඟපාන්න අවස්ථාවක් හම්බ වෙනවා. ඔහුගේ කැපවීම, අධිෂ්ඨානය, සිහිනය ඇතුළෙ ජීවත්වීමේ ප්‍රතිඵල සැබැවින්ම මල්ඵල ගැන්වෙනවා. ඉතින් කුඩා කාලේ ඉඳන් හදවතේ ජීවත් වූ නළුවා ඔන්න පුංචි තිරයේ ඇත්තටම පේන්න පටන් ගන්නවා. විශේෂ ම දේ තමයි කොට්ටාවෙ අතුරුගිරිය පාරෙ එක කාලෙක මේ තරුණයා රස්සාවල් හොයාගෙන ඇවිදගෙන යනවා. තවත් කාලෙක ඒ පාරෙම රෑට වැඩ ඇරිලා පයින් ඇවිදන් යනවා. තව ටික කාලෙකට පස්සේ ඔහු ඒ පාරෙම තමන්ගෙම බයික් එකෙන් යනවා. ඉන් ටික කාලෙකට පස්සේ ඔහු ඒ පාරෙම තමන්ගෙ කාර් එකෙන් යනවා. එක කාලෙක රස්සාවල් හොයාගෙන, තවත් කාලෙක තමන්ගෙ ම බයික් එකේ, තවත් කාලෙක තමන්ගෙම කාර් එකේ ගිය ඒ අමරණීය මතක පිරුනු ඒ පාරම ඔහු ඔහුගේ ම සැලෝන් එක විවෘත කරනවා. අද වෙනකොට ඔහුගේ ම කියලා ව්‍යාපාර කීපයක් ම ඔහුට තියනවා. මේ සියලු දේ අතරේ ඔහු එකිනෙකට වෙනස්, විවිධාකාරයේ චරිත ඔස්සේ ඔහු දන්නා කාලයේ පටන් ජීවත් වූ ඒ සිහින ලෝකය තුළ සැබෑවට ම ජීවත් වෙනවා. වෙන කවුරුත් නෙමෙයි, ඔයත් මමත් දන්න ජනප්රිය නළු "සංගීත් ප්රභූ". තව ටිකක් දන්න විදියට කිව්වොත් නාඩගම්කාරයෝ ටෙලි නාට්යයේ "කවඩියා". ඒ ඔහුගේ කතාව. ඔහු කවදාහරි දවසක තමන් දිනන ඒ ලෝකය ඇතුළෙ දන්නා කාලේ ඉඳලම ජීවත් වුණා. ඒ වගේම ඒ සිහිනය වෙනුවෙන් අනේකවිධ කැපවීම් කළා. මහන්සි වුනා. ඉතිං එදා ඔහු බලාපොරොත්තු වූ ඒ නළුවාගේ ජීවිතය, ප්‍රේක්ෂක ආදරය, ටියුෂන් පන්තියට කොණ්ඩෙ හදාගෙන, නළුවා කියලා හිතාගෙන ඇඳුම් ඇඳගෙන ගිහින් බලාපොරොත්තු වෙච්ච ඒ ආකර්ෂණය අද ඔහුට ලැබෙනවා. එදා මැව් ඒ සිහින ලෝකය ඔහු අද හැබැහින් දකිනවා. හැබැහින් විඳිනවා.

ඉතින් මේ කතාවෙන් ඔයාට ගන්න තවත් දෙයක් තියෙනවා. ඒ තමයි ඔයාගේ හීනෙ ඇතුලේ මේ විදියට ජීවත් වෙලා ඉන්න එක විතරක් ඒ හීනෙට යන්න ප්‍රමාණවත් නෑ. අනිවාර්යෙන්ම ඒ වෙනුවෙන් අවශ්‍ය කැපකිරීම්, පුහුණුවීම්, අධ්‍යයන කටයුතු මේ හැමදේම කරන්න ඕනි. මොකද ඔයා නිරන්තරයෙන්ම මේ වගේ හීන දකින්න විතරක් ඔයාගේ කාලය කැප කළොත්, ඔයාගෙ ජීවිතේ වටිනාම කාලය නාස්ති වෙලා යන්න පුළුවන්. ඒ වගේම තව දෙයක්. ඔබ ඔබේ සිහිනය තුළ ජීවත් වීම ඔබට ම පමණක් සීමා කර ගත හැකි නම්, එහෙම නැත්නම් ඔබට සැබවින්ම ආදරය කරන පිරිස අතරට පමණක් ගෙන යා හැකි නම් වඩාත් වටිනවා. ඊට හේතුව තමයි මේ ලෝකය අපේ හීනවලට හිනා වෙනවා. ඒ දේවල් ඔබට අදාල නෑ. නමුත් ඒ දේවල් නිසා ඔයාගෙ හිත කැඩිලා බැරිවෙලාවත් ඔයාගෙ ගමන නතර වුනොත් හෙට මේ ලෝකයට අති දක්ෂ ගායකයෙක්, අති දක්ෂ රංගන ශිල්පියෙක්, විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයෙක්, වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක්, විද්‍යාඥයෙක් අහිමි වී යන්න පුළුවන්. ඒ නිසා පරිස්සමෙන් ඔයාගේ හීන ආරක්ෂා කරගෙන, ඒ හීන ඇතුළෙ ජීවත් වෙන්න. 

ඒ දේවල් කොහොම වුණත් මම දන්නවා දැනටමත් ඔයා ඔයාගේ සිහිනය වෙනුවෙන් බොහෝ කැපකිරීම් කරන බව. බොහෝ වෙහෙස මහන්සි වී වැඩ කරන බව. ඒ වගේම මම දන්නවා ඔබ කිසිවකින් නොසැලෙන අයෙක් බව. ඉතින් ඒ සියල්ල ම අතරෙ මේ පුංචි දේත් අත්හදා බලන්න. අනිවාර්යෙන්ම ඔයාගේ හීනේ කවදහරි දවසක ඔයාගෙ ඇස් ඉස්සරහම යථාර්ථයක් වේවි. ඉතින් ජීවිතේ ගොඩයන ගමනට මේ පුංචි දේත් එකතු කරගන්න. අනිවාර්යෙන්ම ඔයා දිනනවා. ඒක ස්ථීර යි.

Top