“ඔබත් හොඳ සවන් දෙන්නෙක් ද? ” (749)

post-title

(පුද්ගල මානසික සෞඛ්‍යයහි පිරිහීම සහ එය හඳුනාගැනීම ලිපි මාලාවේ පළමු ලිපිය) 

අපි හැමකෙනෙක්ම වගේ ගෙවන්නේ කියන තරම් පහසුත් නැති.. පෙන්වන තරම් සරලත් නැති ජීවිතයක්.. ඇත්තටම බැලුවොත් මේ ජීවිතේ හරිම සංකීර්ණයි වගේම අපහසුයි. ඒක පැණි රසයි වගේම හරිම තිත්තයි.. ජීවිතේ ගෙවෙන සෑම දිනයක පැණි රස විතරක් ඉතිරෙනවට අපි ආස කළාට තිත්ත රසත් අනිවාර්යයෙන්ම විඳින්න වෙනවා. මට නම් අවශ්‍ය කරන්නේ සතුට පිරුණු ජීවිතයක් විතරයි කියලා සිතුවත්, දෛවය අපිට ඒ තරම්ම කාරුණික වෙනව ද ?

අපි හිතන්නෙවත් නැති ප්‍රශ්න, වේදනාවන් හරිම කටුක විදිහට අපිව සොයාගෙන එනවා. අකමැත්තෙන් උනත් අපිට ඒ දේවල් විදගන්න වෙනවා. දරා ගන්න වෙනවා.. ඔව්, ඒක ලේසි නෑ තමයි.. අපි ආදරෙන් රැකගත්තු, පරිස්සම්කරපු, හීන දැකපු බොහොමයක් දේවල් අපේ ඇස් ඉස්සරහම අහිමි වෙලා යනවා. නැත්තම් වෙන කෙනෙකුට අයිති වෙනවා. කාටවත්ම කිසිම වරදක් නොකරන කෙනෙක්ට වුනත් හේතුවක් නැතුවම අපහාස, චෝදනා විදින්න වෙනවා. අපි ගොඩක් විශ්වාස කරන අය අපිව විශ්වාස නොකර ඉන්නවා. ආදරණීයන්ගෙන් නොසිතුව ලෙස ප්‍රතික්ෂේප වෙන්න සිදුවෙනවා. සමහර කාලවලදී කිසිම හේතුවක් නැතුවම අපි කරන කිසිම වැඩක් සාර්ථක නොවෙන අවස්ථා එනවා.

ඇත්තටම ජීවිතේ කියන්නෙ එහෙම දෙයක්.. අපේ ගමනාන්තය සැමවිටම පැහැදිලිව, ඍජුව දිස්වන්නේ නැහැ. එය බොහොමයක් බාධක, අභියෝග මැදින් දිව යන්නක්. කිසිම කෙනෙකුට ඒ දේවල් දරාගන්න, විදගන්න පහසු නැහැ. මිනිසුන් විවිධාකාරයි. පුද්ගල හැසිරීම, දරාගැනීම සම්පූර්ණයෙන්ම තීරණය වන්නේ ඒ ඒ පුද්ගලයාගේ මානසික සහ ශාරීරික ශක්තිය මතයි. ඒ හැකියාව පුද්ගලානුබද්ධව වෙනස් වෙනවා.

ඇතැම් අය ඔවුනට පැමිණෙන ගැටලුවලට පහසුවෙන් මුහුණ දෙනවා.. පිළිතුරු සොයා ගන්නවා.. තවත් පිරිසක් ඒ ගැටලු පහසුවෙන් ඉවතලනවා.. ඒ වගේම තමයි තමන්ට පැමිණෙන ගැටලු පහසුවෙන් දරාගන්න බැරි පිරිසකුත් ඉන්නවා.. මේ ඕනිම අවස්තාවක සිටින අයෙක්ට වුවත් තමන්ට යම් ගැටලුවක් පැන නැගිවිට ඊට ශක්තිමත්ව මුහුණ දෙන්න තවත් කෙනෙකුගෙන් උපකාරයක් අවශ්‍යම වෙනවා. ඒ කියන්නේ හොඳ සවන්දෙන්නෝ.. එයාල තමයි මෙතනදි අවශ්‍යම පිරිස වෙන්නෙ.

සමහර ගැටලුවලදි අපිට අවශ්‍යවන්නේ උපදෙස් නෙමෙයි. යම් වේදනාවකදි ‘මම තනි වෙලා නෑ’ කියලා දැනෙන හැඟීමකට හැමකෙනෙක්ම කැමතියි. හිතේ තියෙන වේදනාව කිසිම හිඩසක් නැතිවම තමන්ගේ සමීපතම කෙනෙක්ට කිව්වම ඒ වේදනාව තරමක් තුනී වෙනවා. වේදනාවෙන් ඉන්න මිනිස්සු හරිම කැමතියි ඉවසීමෙන් එයාල කියන දේ අහන් ඉන්න කැමති අයට. එවන් විටකදී එයාලට හොඳ සවන්දෙන්නෙක් ඇර වෙන කිසිම දෙයක් අවශ්‍ය නොවෙන්නත් පුලුවන්. ඒක එයාට එයා තනි නෑ කියලා දැනෙන හරි ශක්තිමත් හැඟීමක්..

ජිවිතේදී හොඳ සවන්දෙන්නෙක් ලැබෙන මිනිස්සු හරිම වාසනාවන්තයි. දහසක් ගැටලුවලින් පීඩා විදින කෙනෙක්ට ඒක වටිනවා වැඩියි. අසීරු අවස්තාවක එයාව තේරුම් ගන්න කිසිම කෙනෙක් නැති බව එයාට දැනුනොත් ඒක තමයි භයානකම දේ වෙන්නෙ. ඒ තනිකම, පීඩාව, කාංසාව දිගින් දිගටම පැවතුනොත් එයාගෙ මානසික සුවය ටිකෙන් ටික අහිමි වෙන්න පටන් ගන්නවා. මේ ලිපිය ලිවීමේ ප්‍රධාන හේතුව තියෙන්නෙත් මෙතනයි. ජිවිතයේ කාටමහරි හොඳ සවන්දෙන්නෙක් වෙන්න ඔයාට පුලුවන්ද.. ? 

මේ ලිපිය කියවන ඔබත් ජීවිතේ ඇතැම් අසීරු අවස්තාවලදි හොඳ සවන්දෙන්නෙක් නොමැතිවීමෙන් අසරණවෙලා ඉන්න ඇති.. එමනිසාම ඒ වේදනාව ඔබ හොඳින්ම දන්නවා. පුද්ගල මානසික මට්ටම් විවිධාකාර නිසා ඒ ඒ පුද්ගලයින්ගේ දරාගැනීමේ ශක්තියත් ඒ හා සමානුපාතිකව වෙනස් වෙනවා. යම් කෙනෙකු අසීරු මොහොතක තනිවී ඇති බව ඔබට වැටහෙනවා නම් ඔබට පුලුවන් ඒ කෙනාට උපකාර කරන්න. ඔහු හෝ ඇය ඔබෙන් මහවිශාල උපකාර බලාපොරොත්තු නොවේවි.. එවන් විටක ඔවුන්ට අවශ්‍යවන්නෙ ශක්‍තියක් පමණයි. ඔවුන්ට හොඳ සවන්දෙන්නෙක් වීම පමණයි..

‍යම් පුද්ගලයෙක් වටා දහස් ගණනක් සමීපතයින්, මිතුරන් උන්නත් ඔවුන් සියල්ලම ඔහුට මෘදු ලෙස නොසළකන්න පුලුවන්. ඔහුව තේරුම් නොගන්න පුලුවන්. මොහොතක් සිතා බලන්න ඔබ වටා මහ විශාල පිරිවරක් සිටියත්, යම් ගැටලුවක් පැන නැගි විට ඔබව තේරුම් ගන්නේ, උපකාර කරන්නේ, ඔබ සමඟ සිටින්නේ කීයෙන් කී දෙනාද ? අප වටා සිටින බොහොමයක් පිරිස අතරින් වැඩි පිරිසක් අවස්තාවාදීන් නේද ?

ඔබ ඔබේ ජීවිතයට ආදරය කරනවා වගේම සියල්ලන්ම තම ජීවිතයට ආදරය කරනවා. යම් පුද්ගලයෙකුට උපකාර කරන්න ඔබ ඒ පුද්ගලයාගේ සමීපතම අයෙක් වීමටම අවශ්‍ය නැහැ. ඔබට ඒ කෙනාට හොඳ සවන්දෙන්නෙක් වෙන්න හැකි නම් කවදාවත් ඒ අවස්තාව මඟ හැර ගන්න එපා. මක්නිසාද පසුදිනක ඔබට එය පසුතැවිල්ලක් ගෙන එන්නටත් ඉඩ ඇති නිසා..

" හිතේ තියෙන හැමදේම මට කියන්න.. මම අහගෙන ඉන්නේ.."

" ඔයාට හැමදාමත් මම ඉන්නවා.."

" ඔයා තනිවෙලා නැහැ.. "

" අපි කොහොමහරි විසදුමක් හොයාගමු.."

ඒ වගේ පුංචි වචනත් ඇති යම් පුද්ගලයෙක්ට මානසිකව කඩා නොවැටී ශක්තිමත්ව දරාගෙන ඉන්න. එයාට එයා තනි නෑ කියලා දැනෙන්න.. ඔයාට හොඳ සවන්දෙන්නෙක් වෙන්න මහලොකු දේවල් අවශ්‍ය වෙන්නෙ නැහැ. යම්දෙයක් හොඳින් තේරුම් ගන්න පුලුවන් ලොකු කන් දෙකක් තිබීමම ඊට ප්‍රමාණවත් වෙනවා. ඔබේ සවන් දීමේ හැකියාව, තේරුම් ගැනීම සහ අවබෝධය ඊට බොහෝසෙයින් වැදගත් වෙනවා. සමාජයීය, ආර්ථික හෝ දේශපාලනික වශයෙන් මොනයම් හෝ අයුරකින් ගැටලුවකින් පීඩා විදින පුද්ගලයෙක්ට හොඳ සවන්දෙන්නෙක් වීමෙන් ඔබට බොහෝ ප්‍රතිලාභ අත්විදින්නට පුලුවන්. ඒ අතරින් ආත්ම තෘප්තිය, සැනසීම ඉහළින්ම තිබිය හැකිය. ඔබට හැකි සෑමවිටම හොඳ සවන්දෙන්නෙක් වෙන්න. ඔබට හැකි පමණින් එවන් පුද්ගලයින්ට උපකාර කරන්න. ශක්තියක් වෙන්න.. 

පුද්ගලයෙක්ගේ බාහිර ස්වරූපය සහ හැසිරීම, ඒ පුද්ගලයාගේ මානසික මට්ටම නිරූපණය කරන කැඩපතක් වෙනවා. යම් පුද්ගලයෙකු සියුම්ව නිරීක්ෂණය කිරීමෙන් එය වටහා ගත හැකිය. විශේෂයෙන් අද්‍යතනය ඩිජිටල් යුගයෙහි මිනිසුන් හඳුනා ගැනීමට ඔවුන්ගේ සමාජ මාධ්‍ය ගිණුමත් බොහොමයක් උපකාරී වෙනවා. ඒ ඒ පුද්ගලයින්ගේ මානසික මට්ටම අනුව ඔවුන් එහි හැසිරෙන ආකාරය වෙනස් වෙනවා. ඉච්ඡාභංගත්වය, හීන පෞරුෂය, කාංසාව, මානසික අවපීඩනය, විශාදය වැනි බොහෝ මානසික ව්‍යාකූලත්වයන් පුද්ගල සමාජ මාධ්‍ය ගිණුම් මඟින් හඳුනාගත හැකිය. මෙසේ වත්මන් සමාජය විවිධ මනෝ ව්‍යාධීන්ට හා ගැටලුවලට මුහුණ දී ඇති අතර එවන් ගැටලු නිරාකරණය කර ගැනීමේ අවශ්‍යතාවත් වඩාත් කැපී පෙනෙන්නේ එබැවිනි.

(පුද්ගල මානසික සෞඛ්‍යයහි පිරිහීම සහ එය හඳුනාගැනීම ලිපි මාලාවේ පළමු ලිපිය)

Top