පැහැදිලි දැක්මකින් අරමුණු වෙත ළඟා වන්න (738)

post-title

තාක්ෂණීකරණය වූ සමාජ සංදර්භය තුළ වර්තමානයේ පුද්ගලයාට ජීවත් වීම එතරම් පහසු කාර්යයක් නොවේ. මන්ද සෑම පුද්ගලයෙකුට ම තම පුද්ගල අවශ්‍යතාවයන් ඉටු කර ගැනීම සඳහා නොනවතින තරඟයක යෙදීමට අද වන විට මිනිසාට සිදු වී ඇති නිසාවෙනි. එවන් අවස්ථාවන්වලදී තමන් කිසිවිටෙකත් නොසිතූ මාර්ගයන් ඔස්සේ පවා ද ගමන් කිරීමට ඔවුන්ට, විටෙක සිදුවනු ඇත. එසේ වුවත් සෑම පුද්ගලයෙකු ම පැහැදිලි දැක්මක් සහ පැහැදිලි අවබෝධයක් සහිත ව නිවැරදි මාර්ගයෙහි ගමන් කරමින්, තම අරමුණු ජය ගැනීමට, සාර්ථකත්වය ළඟා කර ගැනීමට කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ. 

මෙම සංකීර්ණ ජීවන ගමන තුළ මිනිස් ජීවිතය යන්න එකී ගමනෙහි එක්තරා නැවතුම්පොළක් පමණකි. එසේම මිනිස් ජීවිතය බාධක, අභියෝග සහිතව ගලා හැලෙනා ගංඟාවක් වැනිය. එකී ජීවන ගමන තුළ සෑම පුද්ගලයෙකුට ම තමාට ම කියා තම සිත තුළට කාවැද්දූ කිසියම් හෝ අනාගත සිහිනයක් තිබෙන්නට පුළුවනි. එසේ තම සිහිනය පසුපස ඔබ හඹා යන විට ඔබට ඕනෑම අවස්ථාවක බාධක, අභියෝග හමුවිය හැකිය. නමුත් එවන් අවස්ථාවන්වලදී ඔබ මතක තබා ගත යුත්තේ එසේ ඔබට එල්ල වන සෑම බාධකයක් ම, අභියෝගයක් ම ඔබේ අරමුණට යන්නට මඟ පෙන්වන තවත් එක් කොටසක් වන බවයි. මෙවන් අවස්ථාවන්වලදී තම අරමුණ, අභිප්‍රාය කුමක්ද?, එම අරමුණ කරා ගමන් කරන්නට තමා මේ දක්වා මොන තරම් කැප කිරීම් කර ඇත්ද?, තමන් ඒ අරමුණ කරා ගමන් කරනුයේ කවුරුන් වෙනුවෙන්ද? යන්න පිළිබඳ ව ජීවන ගමන තුළ මඳක් නැවතී සිතීම තුළින්, ඔබේ ජීවිතයට පැමිණෙන කඩා වැටීම් හමුවේ ඔබට නවතින්නට ඉඩ නොදී යළිත් ඔබට නැඟී සිටීමට ධෛර්යයක් සැපයෙනු ඇත.

සමාජ සංදර්භය තුළ බොහෝ පොහොසත්, සාර්ථක මිනිසුන් සිටියද ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු පළමුව සාර්ථක වූ පුද්ගලයින් නොවේ. ලොව අංක එකේ ධනවතුන් වන ජෙෆ් බෙසොස්, බිල් ගේට්ස්, ජැක් මා, උසේන් බෝල්ට්, ජේ.කේ.රොලිං යනාදී වූ වර්තමානයේ දැකිය හැකි චරිත මෙන්ම වෝල්ට් ඩිස්නි, ඒබ්‍රහම් ලින්කන්, හෙන්රි ෆෝඩ්, තෝමස් අල්වා එඩිසන් යනාදී වූ අතීතයේ සිටි පුද්ගලයින් ද අපට කියා දෙනුයේ තමාගේ දැක්ම පැහැදිලි වන තරමට තම අරමුණු ජය ගැනීම පහසු වන බවයි. මෙම සියලුදෙනාම තම ජීවිතයේ එක් වරක් හෝ ඊට වැඩි වාර ගණනක් අසාර්ථක වී ඇත. එහෙත් ඔවුන් තම අවසානය සලකුණු කළේ සාර්ථක පුද්ගලයන්ගේ නම් ලැයිස්තුවට තම නම ද එක් කරමිනි. එසේම මයිකල් ජෝර්ඩන් යනු ද අසාර්ථකවීම් රැසකට මුහුණ දුන්, එහෙත් සාර්ථකත්වය අත්පත් කර ගත් ඇමරිකානු පැසිපන්දු ඉතිහාසයේ රන් සලකුණක් තැබූ විශිෂ්ට ක්‍රීඩකයෙකි. මොහු ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගත් අති දක්ෂ ක්‍රීඩකයෙකු වුවත් මොහු මුල් අවධියේ දී නිරන්තර අසාර්ථකවීම් හේතුවෙන් පීඩා විඳි පුද්ගලයෙකි. නමුත් මොහු එවන් අසාර්ථකවීම් හමුවේ වුවද තව තවත් උනන්දු වෙමින් සාර්ථකත්වය හමුවන තුරුම තම ගමන අත්නොහැර ගමන් කළ පුද්ගලයෙකි. එම උත්සාහය, උනන්දුව නිසාම ඔහුට අවසානයේ දී තමන් සිහින දකින ලද ඉලක්කය වෙත ළඟා වීමට අවස්ථාව උදාවිය. මේ අනුව පැහැදිලි වනුයේ සෑම සාර්ථක මිනිසෙකුම මෙහෙයවනු ලබනුයේ ඔවුන්ගේ අරමුණු මත වන බව ය. 

කිසියම් පුද්ගලයෙකුට තම ජීවිතය පිළිබඳ ව කිසියම් වූ බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් එම පුද්ගලයා සතුව අරමුණක්, සිහිනයක් තිබිය යුතුමය. පුද්ගලයෙකුගේ ජීවිතය තුළ ඔහුට අරමුණක් නොමැති නම් එම පුද්ගලයා, ගොඩබිමක් හරිහැටි සොයා ගැනීමට නොහැකි, තමන්ගේ ගමන් මාර්ගය හරිහැටි නොදන්නා සාගරය මැද අතරමං වූ නැවක් වැනිය. එසේ වුවත් එවැනි පුද්ගලයන් ද කෙසේ හෝ තමාගේ සාර්ථකත්වය ළඟා කර ගත යුතුය. ඒ සඳහා වෙනස් වීමට නම් ඔබේ ඇතුළාන්තයට ගොස් තමන්ට තිබෙන අරමුණු, සිහිනයන් හරිහැටි අවබෝධ කර ගනිමින්, මුල සිට යළිත් ගොඩනැගෙන්නට පටන් ගත යුතුය. ලෝකය වෙනස් කළ විශිෂ්ට මිනිසුන් ලෝකය ජය ගනු ලැබූයේ මුල සිට එනම් බිංදුවෙන් පටන් ගෙනය. ඒ වන විට ඔවුන් සතුව කිසිඳු දෙයක් නොතිබිණි. නමුත් ඔවුන් සතුව ඔවුන්ව ජීවත් කරනු ලැබූ සිහිනය පමණක් ම පැවතිණි. ඔවුන් එම සිහිනය වෙනුවෙන් තම ඇතුළාන්තයෙන් ම සටන් වැදිණි. එහෙයින් ඔබත් නොලැබුණු දේ කෙරෙහි පසුතැවිලි නොවී, ගෙවී ගිය අතීතය දෙස ආපසු හැරී නොබලමින් අද සිට ඉදිරියට සැලසුම් සහගත ව, පැහැදිලි දැක්මක් ඔස්සේ ඔබේ සිහිනය සොයා යන්නට ඔබේ ඇතුළාන්තයෙන් ම අලුත් පියවරක් තබන්න. ඔබේ සිහිනය කරා යන ගමනෙහි ඔබට පැමිණෙන සෑම පරාජයක් ම තමන්ගේ සිහිනය වෙනුවෙන් කැප කරන ලද නිර්භීත පියවරක් ලෙස ම සිතන්න. 

මේ අයුරින් පුද්ගලයාගේ දැක්ම පැහැදිලි වන තරමට ම අරමුණ ළඟා කර ගැනීමට ද පහසු වනු ඇත. නමුත් තමාට පැහැදිලි අරමුණක් නොමැති නම් ඔබ කොහි යයිද?, කොහි නවතීවිද? කියා සිතා ගැනීමට ඔබටවත් නොහැකි වේවි. කෙසේවෙතත් ඔබ නිවැරදි මාර්ගය කරා ළඟා වූ දිනෙක ඔබේ සිත ඔබ ගැන ම ආඩම්බර වේවි. සතුටු වේවි. එදිනට ඔබ මුලු ලොවක් දිනා අවසන් ය. එහෙයින් ඔබ පැහැදිලි දැක්මක් ඇතිකර ගන්න. අරමුණු, ඉලක්ක කරා කෙමෙන් කෙමෙන් පිය නගන්න. එවිට ඔබට ඔබේ සිහින ජය ගැනීමට අපහසු නොවනු නිසැකය.

Top