‘ජයග්‍රහණයට පියවරු දහසක් ඇත. පරාජය අවජාතක ය.' (734)

post-title

අපි හැමෝම කැමතියි ජයග්‍රාහකයන් වෙන්න. ජයග්‍රාහකයන් විදියට මුළු ලෝකයට ම කියන්න. හැබැයි මං ඔයාලට පුංචි අභියෝගයක් කරනවා. ඔයාලට ජයග්‍රාහකයෙක් වෙන්න ඕනේ නම් ඉස්සර වෙලාම පරාජිතයෙක් වෙලා ඉන්න. ඇත්තටම ජයග්‍රහණය පරාජය මේ හැමදේම සම සිතින් දරා ගන්න පුළුවන් කියලා අපි කතාවට කිව්වත්, එහෙම වෙන්න ඕනේ කියලා අපි හැමෝම දන්නවා උනත් පරාජය කියන්නේ අපි හැමෝටම හරිම කටුක අත්දැකීමක්. ඒ පරාජයේ ප්‍රමාණය ලොකු උනත්, පොඩි උනත් ඒක ඒකට මුහුණ දෙන පුද්ගලයාට හරිම කටුක අමිහිරි මතකයක්, අත්දැකීමක්, ඒ වගේම කිසිදාක බලාපොරොත්තු නොවන්නක්. මොකද කිසිම කෙනෙක් කවදාවත් පරාද වෙන්න බලාපොරොත්තු තියා ගන්නේ නෑ, ඒ වගේම පරාද වෙන්න හීන දකින්නෙත් නෑ. හිතන්නකෝ ඔයා මේ වෙලාවේ ඉන්නේ සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දීලා ප්‍රතිඵල අපේක්ෂාවෙන් කියලා. මේ විභාගයට ඔයා චුට්ටක්වත් මහන්සි නොවී, පොඩ්ඩක්වත් පාඩම් නොකර නම් මුහුණ දුන්නේ ඒ වුණත් ඔයත් හිතනවා මේ ලෝකෙ තියෙන මොකක් හෝ ආශ්චර්යයකින් ඔයාට A9ක් එනවනම් කියලා. ඔයා හිතින් ඒ අවස්ථාව මවාගෙන සතුටු වෙනවා, පුදුම වෙනවා. ඒක තමයි ජයග්‍රහණයක් වෙනුවෙන් හැමෝගෙම හිතේ තියෙන අහිංසක බලාපොරොත්තුවේ ස්වභාවය.

අපි දැන් යමු ඉතිහාසයට. ඉතිහාසයේ ඉඳන් අද වෙනකන් අපි ජයග්‍රාහකයන් විදියට, එහෙම නැත්තම් වීරවරයන් විදියට සලකන කිසිම කෙනෙක් පරාජිතයෙක් නොවී වෙලා තියෙනවද. මේ සඳහා අපිට තියෙන හොඳම උදාහරණය තමයි අපේ බුදුරජාණන් වහන්සේ. උන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න, එහෙමත් නැත්නම් සත්‍ය අවබෝධ කරගන්න කොයි තරම් නම් කාලයක් පරාජිතයෙක් විදිහට විවිධ ක්‍රම ඔස්සේ අසාර්ථක වුණා ද. ඒවගේම ඉන්පස්සෙ උදාහරණවලට එනව නම්, විදුලි බුබුල හොයාගත්ත තෝමස් අල්වා එඩිසන්, සුප්‍රසිද්ධ හැරී පොටර් කතා මාලාවේ නිර්මාතෘවරිය ජේ.කේ.රෝලින්, වර්ණභේදවාදය වෙනුවෙන් හඩ නැගූ නෙල්සන් මැන්ඩෙලා, කෝච්චිවල තේ තේ විකුණන දුප්පත් ජීවිතයක සිට පසුව ඉන්දියාවේ අගමැති ධුරයට පත් නරේන්ද්‍ර මෝදි ආදී බොහෝ චරිත අපිට හමු වෙනවා. මේ හැමෝම පරාජිතයන් විදියට කාලයක් සමාජගත වෙලා හිටියා. මේ ලෝකේ බොහෝ ගැරහුම්වලට ලක්වුණා. නමුත් අවසානයේ ඔවුන් මුළු ලෝකයේම වන්දනීය, පූජනීය, නොමැකෙන, නොමියන චරිත බවට පත්වුණා.

ඉතින් ඔබත් එක්වරක් හෝ පරාජිතයෙක් වෙලා ඒ රහ අත්විඳින්න. අපි මුලින්ම පරාජිතයෙක් වෙලා, පසුව ජයග්‍රාහකයෙක් වෙනකොට ඒ ජයග්‍රහණයේ රසය සහ පරාජය රසය කියන දෙකම හරි හරියට අත්විඳින්න පුළුවන් වෙනවා. 

ඇත්තටම මොකද්ද පරාජයක් කියලා කියන්නේ. අපි පරාද වෙනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ අපි මොනයම් හෝ දෙයකින් කඩා වැටෙනවා කියන එක. ඒක විභාගයක් අසමත් වුණා වෙන්න පුළුවන්, ආදරයක් අහිමි වුණා වෙන්න පුළුවන්, හදිසි අනතුරකට මුහුණ දුන්නා වෙන්න පුළුවන්, කොතැනකදී හෝ ප්‍රතික්ෂේප වුණා වෙන්න පුළුවන් එහෙම නැත්නම් මොනවහරි දේකට හිත රිදුනා වෙන්නත් පුළුවන්. මේ දේවල්වලට අමතරව තවත් බොහෝ දේවල්වල දී අපි පරාජයන්ට මුහුණ දෙනවා. ඒ වගේම මොනයම් හෝ ආකාරයකින් පරාජයකට ලක් නොවුණු කෙනෙක් මේ ලෝකෙ නැහැ. සමහරවිට ඔයා මුහුණ දීලා තියන පරාජය මොකක්ද කියලා ඔයාටම හිතෙන තරමට අනිත් අය මුහුණ දීලා තියෙන පරාජයන් බරපතල ඒවා වෙන්නත් පුළුවන්. 

ඉතින් කොහොම වුණත් පරාජයක් කියලා කියන්නේ දුක් වෙන්න ඕන දෙයක් නෙමෙයි. ඔයා ගොඩක් සතුටු වෙන්න ඕනේ දෙයක්. නමුත් ඇත්තටම මොන විදිහේ පරාජයක දි වුණත් අපිට අවංකව ම සතුටු වෙන්න බෑ. ඒක තමයි ඇත්තම කතාව. එහෙනම් අපි මොනවද එතනදි කරන්න ඕනේ. අපිට සතුටු වෙන්න බෑ තමයි හැබැයි අපිට පුළුවන් දුක් නොවී ඉන්න. ඉතින් ඔයාට පුලුවන් පරාද උනාම දුක් නොවී එතන දි ශක්තිමත් වෙන්න. පරාද උන ගමන් ගමන් කඳුළු එනකොට ම ඒ කඳුළු අතරින්, හිනා වෙලා ඔයාට ඔයාට ම කියා ගන්න පුළුවන් නම්, මම දිනනවා, අනිවාර්යෙන්ම දිනනවා, මට පුළුවන්, මම ශක්තිමත් කෙනෙක් කියලා ඒ තමයි ඔයා පරාජයත් එක්ක ජයග්‍රහණයේ මාවත හදාගන්න පළවෙනි පියවර. පරාද වුනාම අඬ අඬා ඉන්න කාලය වෙන් කරනවා කියලා කියන්නේ ම ඔයා කියන්නෙම ඔයා ජයග්‍රහණය කරන්න යන කාලය වැඩි වෙනවා කියන එක. එහෙමත් නැත්නම් ඔයාට ජයග්‍රහණය වෙනුවෙන් මහන්සි වෙන්න තියෙන කාලය අපතේ ගිහිල්ලා, තව අමතර කාලයක් ඒ වෙනුවෙන් වැය කරලා, සමහර විට ඔයා මාසෙකින් ජයග්‍රහණයකයෙක් වෙන්න තියෙනවා නම් ඒ කාලය මාස දෙකක්, තුනක් දක්වා වැඩි වෙනවා කියන එක. මං මේ කතා කළේ පරාජිතයෙක් වෙලා වෙලා ඉන්නකොට ඔබ කරන්න ඕනෙ දේවල්, එහෙම නැත්නම් ඔබට කරන්න පුළුවන් දේවල්. ඒ ඔබ වෙනුවෙන් ඔබට.

අපි අපි වෙනුවෙන් අපිටම දේවල් කර ගන්නවා වගේම අපිට පුළුවන් අනිත් අය වෙනුවෙන් දේවලුත් කරන්න. ඔයා දන්න කෙනෙක් හෝ නොදන්න කෙනෙක් යම් ආකාරයක කඩාවැටීමකට මුහුණ දීලා ඉන්නවනම් ඉන්නවා නම් ඔයාගෙ හැසිරීම කොයි වගේ වෙනවද. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන කතාවක් තමයි ජයග්‍රහණයට පියවරු දහසක් ඉන්නවා. පරාජය අවජාතකයි කියලා. ඒක ඇත්තම ඇත්ත. අපේ ජීවිතයේ කඩාවැටීම්වලදී අපි ළඟ ඉඳන් අපේ එක කඳුළක් පිහ දාන්න, අපිව ධෛර්යමත් කරන්න එක්කෙනෙක්වත් නැතිවුනත්, අපි ජයග්‍රහණයන්වල දි අපි වටේ ඉඳන් අත්පොඩි ගහන්න දහසක් දෙනා එකතු වෙනවා. ඒත් ඔයත් මමත් මුහුණ දෙන, මුහුණ දීලා තියන ඇත්ත. හැබැයි අපිට පුළුවන් ඒ ඇත්ත වෙනස් කරන්න. අපිට පුළුවන් අනිත් කෙනෙක්ගෙ පරාජයකදී ඔවුන් එක්ක ඉන්න. ඔවුන්ව දිරිමත් කරන්න. මං මේකට පුංචි උදාහරණයක් ගන්නම් මේ ඊයේ, පෙරෙයිදා වෙච්ච සිදුවීමකින්. මෙවර නත්තල් දවසේ සිරස ලක්ෂපති වැඩසටහනට පුංචි පොඩ්ඩන් හය දෙනෙක් සහභාගි වෙනවා. ඒ අතරින් hot seat එකට ආපු පුංචි දියණියට ප්‍රශ්නයක් ලැබෙනවා රොබින් හුඩ්ගේ සතුරා කවුද කියලා. එතනදි ඇය පිළිතුරු දුන්නට පස්සේ නිවැරදි පිළිතුර කියන්න කළින් අනෙක් පොඩ්ඩෝ පස් දෙනාගෙන් ඒ ප්‍රශ්නෙ ඇහුවම මුලින්ම උත්තර දෙන්නෙ එතැන ඉන්න පුංචිම පුතා. ඔහු නමින් සන්කේත් දිල්නුක. ඔහු දෙන්නේ වැරදි පිළිතුරක්. ඔහු ඒ පිළිතුර වෙනුවෙන් පෙනී සිටින කොට ම සිරස ලක්ෂපති වැඩසටහනේ පූරකවරයා, චන්දන සූරියබණ්ඩාර මහතා ඒ පිළිතුර වැරදියි කියලා දැන දැනම ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා. ඔව් මමත් හිතන්නේ ඒක තමයි උත්තරේ කියලා සංකේත් එක්ක එකඟ වෙනවා. නිවැරදි පිළිතුර සටහන් වෙනකොට චන්දන මහත්මයා සංකේත් පුතාට කියන්නේ අපි දෙන්නගෙ උත්තරේ වැරදි කියලා. ඒ අවස්ථාවේ ඇති අවස්ථාවේ දී ඔහු ඒ පුංචි දරුවා වෙනුවෙන් පෙනී සිටියා. ඒ අවස්ථාවේ පුංචි සංකේත් ව තනි නොකර, ඔහුට ශක්තියක් වුණා. ඉන් පස්සේ ඔහුව ලගට අරගෙන නම මොකක්ද, කොහේ ඉඳන්ද ආවෙ කියලා අහනකොට ම ගිරවෙක් වගේ ඔහු ඔහුගේ සියලු විස්තර, ආස දේවල්, පොත් ලියපුවා, ඒවගේ අන්තර්ගතය, එයාගෙ දැනුම හැමදේම අහන්නත් කලින් ගිරවෙක් වගේ ලක්ෂපති වේදිකාවේ දිග හරිනවා. ඔහු hot seat එකට ආවේ නැතත් ප්‍රේක්ෂකයන්ට ඔහු සැබෑම ජයග්‍රාහකයෙක්. ඒ විතරක් නෙමෙයි කවදා හෝ දිනක නිතැතින්ම ඔහු මේ මුළු ලෝකයම ජයග්‍රහණය කරාවි. එවැනි ඡන්ද චන්දන සූරියබණ්ඩාර මහත්මයා ඔහු පරාජිතයෙක් විදිහට කොනකට කලා නම්, ඔහුට කතා කරන්න අවස්ථාවක් නොදුන්න නම්, සමහරවිට ඒ පුංචි හිත කඩා වැටෙන්න, මම පරාදයි කියලා සිතුවිල්ලක් ඔහුගේ හිතේ තැන්පත් වෙන්න ඒක එක හේතුවක් වෙන්න වේවි. නමුත් ඔහුට ලබා දුන්න ඒ අභිමානය, අවස්ථාව, තනි නොකිරීම හින්දා ඒ පුංචි වීරයා ව අපිටත් හඳුන ගන්න අවස්ථාව හම්බවුණා. ඉතින් ඔබටත් පුළුවන් ඒ වගේ වෙන්න. ජයග්‍රාහකයන්ට සුභ පතන්න, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න, අත්පුඩි ගහන්න එක්රොක් වෙනවා වගේම, පරාද වුණු, හිතින් වැටුණු, කලකිරීමට පත් වුණු අය වෙනුවෙනුත් ඔබේ කාලය වෙන් කරන්න. ඔවුන් ව තනි නොකර ඔවුනුත් වැදගත් පුද්ගලයන් බව, වටිනා පුද්ගලයන් බව ඒත්තු ගන්වන්න. සමහරවිට අපි,ඔබ හිතනවට වඩා වැඩි දුරක් ඔවුන් යන්න පුළුවන්. ඉතින් ඔවුන් ඒ ගමන ගියාම ඔබටත් පුළුවන් අවංකවම සතුටු වෙන්න. අද පරාජිතයෙක් වුණු ඔහු එදාට ජයග්‍රාහකයෙක් විදියට ඔබට හදවතින්ම ස්තුතිවන්ත වේවි. 

එක්වරක් හෝ පරාද වෙච්ච මනුස්සයෙක් කවදාවත් ජීවිතයට බය වෙන්නේ නෑ. අද වෙනකොට ලංකාවේ ජනප්‍රිය නළුවෙක්, ගායකයෙක් වෙලා ඉන්න කෝකිල පවන් ජයසූරිය "මා නොවන මම" වැඩසටහනට ඇවිල්ලා කියනවා, "ආච්චි සීයයි මට හුරු කළා බිංදුවෙ ඉඳන් එන්න. මං දන්නවා බිංදුව…...25න් පටන් ගත්තම බිංදුව දන්නෙ නෑ. 50න් පටන් ගත්තම 50ම ඕනි. බිංදුවෙන් පටන් ගත්ත්ම බිංදුව දන්නවා…...එදා වැඩසටහන්වලට ගියේ 120 බස් එකේ නැගලා. මං ආච්චිගෙ සාරිපොටේ එල්ලිලා තමයි මේ ගමන ආවෙ. සියගේ කරට නැගලා මං හරි ආසයි වාහන එලවන්න. හදිස්සියේ 50 ඉඳන් බින්දුවට වැටුනොත් මට නම් ප්‍රශ්නයක් නෑ. එතන ඉඳන් යන්න පුළුවන්. මං දන්නවා බිංදුව." මේ ජීවිතයේ අනේකවිධ දුක් කම්කටොළු, පරාජයන් හමුවේ ඉදිරියට විත් අද කලාවේ හිනිපෙත්තේ වැජඹෙන අතිදක්ෂයෙකු ගේ කතාව. ඉතින් ඇයි ඔබ පරාද වෙන්න බය හිතන්නේ. ඒක ලැජ්ජාවක්, මදිපුංචිකමක්, අවමානයක් කියලා හිතන්නේ. පරාජය, කඩාවැටීම තමයි ඕනෑම කෙනෙක්ගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍ය වෙන්නේ. ඔබ මේක කියවන මොහොතේ පරාජිතයෙක් නම් මේ තමයි හොඳම වෙලාව නැගිටින්න.ඉතිං අපි නැගිටිමු. ඒ වගේම මේ මොහොතේ ඔබ දන්න කිසියම් හෝ කෙනෙක් මොනයම් හෝ දෙයක් නිසා පරාජයක් අත් විඳිනවා නම් අර බහුතරයක් දෙනා අතරෙන් අයින් වෙලා ඔබ ඔහුට ශක්තියක් වෙන්න. ඒක සමහරවිට ඔබ ජීවිතේ කරගන්න විශාලම පින වෙන්න පුළුවන්. ඔබට හැමදාමත් සිහිකරමින් සතුටු විය හැකි කාරණාවක් වෙන්නට පුළුවන්. ඉතින් මේ ඒකට හොඳම අවස්ථාව. 

මං මුලදි කියපු හේතු හෝ වෙනයම් කුමන හෝ හේතුවක් නිසා ඔබ ජීවිතයේ පරාජයකට, යම් කඩා වැටීමකට ලක් වෙන වෙලාවට කියන්න පුංචි මන්තරයක් මං දැන් ඔයාලට දෙන්නම්. 

ජීවිතේ කඩා කඩාවැටීමක් වෙන හැම වෙලාවකම හොඳට, ගැඹුරෙන් හුස්මක් අරන් පපුවට අත තියාගෙන all is well (හැමදේම හොඳින්) කියලා ඔයාගේ හදවතට ම කියන්න. එක පාරක් කිව්වම ඔයාගේ හදවතට දැනෙන්නේ නැත්නම්, ඔයාගේ හදවතට දැනෙනකම් ඕනෑම වාර ගණනක් කියන්න. ඉන්පස්සෙ ඔයාගේ මුහුනට ලස්සන හිනාවක් ඒවි. ඒ හිනාවත් එක්ක ඔයාගේ ගමන යන්න පටන් ගන්න. ඔයා දිනනවා සත්තයි. 

Top