වරක් දෙවරක් නොව අනේක වාරයක් අසමත් වුවද ජීවිතය ජයගත් ලෝක ධනවතා - ජැක් මා (327)

post-title

සමාජයේ කෙනෙකුට පිළිගැනීමක් ලැබෙන්න නම් එක්කෝ ඔහු බොහොම ධනවත්, කුලවත් පවුල් පරිසරයකින් පැවත ගෙන එන කෙනෙක් වෙන්න ඕනි. එහෙමත් නැත්නම් කුඩා කළ සිට ම බොහෝම දක්ෂ, උනන්දු සහගත කැපී පෙනෙන හැකියාවන්ගෙන් යුත් අයෙක් වෙන්නට ඕනි. එහෙම නැතුව මේ දෙකෙන් එකක්වත් නැති කොටින්ම කිව්වොත් නිකන් පිස්සෙක් වගේ ජීවත් වෙන මනුස්සයෙකුට ලෝකයක් ම වෙනස් කරන්නට, ලෝකෙ ම ධනවතෙකු වෙන්නට පුළුවන් කමක් තියෙනව ද? ධනවතෙකු වෙනවා තබා තමන්ගේ ම ගෙදර මිනිස්සුන්ගෙන්වත් පිළිගැනීමක් ඇතිව ජීවත් වෙන්න ඒ වගේ මනුස්සයෙකුට පුළුවන් ද? ඇත්තටම බැහැ කියන එකයි බොහෝ දෙනෙක්ගෙ ම මතය, පිළිගැනීම වෙන්නේ. ඒත් ඇත්තටම මේ ලෝකෙ තමන්ගේ ක්ෂේත්‍රයේ හිණි පෙත්තට ම ගිය මිනිස්සු හැමෝම මං කලින් සඳහන් කළා වගේ සමාජයේ පිළිගැනීමකට ලක් කරන බොහොම ධනවත්, කුලවත් පවුල්වලින් පැවත ගෙන ආව පුද්ගලයින් ද? එහෙමත් නැත්නම් කුඩා කාලයේ ඉඳන්ම බොහොම කැපී පෙනෙන ලක්ෂණවලින් පිරි පුද්ගලයින්ද? නැහැ. කිසිසේත්ම මේ ලෝකෙ ඉහළට ම ගිය මිනිසුන් බහුතරයක් ඒ වගේ කිසිම ලක්ෂණයක් පෙන්නුම් කළ පුද්ගලයින් නෙවෙයි. 

ඉතින් අද අපේ කතාවේ කතා නායකයත් අන්න ඒ වගේ චරිතයක්. ඒ කියන්නේ කවුරුත් ගණන් ගත්තේ නැති දඩබ්බර ගති ලක්ෂණවලින් පිරි නිකන් පිස්සෙක් වගේ ජීවත් වුණ චරිතයක් කියල තමයි කවුරුත් එකළ ඔහුව හදුන්වල තියෙන්නෙ. ඒ වෙන කවුරුත් නෙවෙයි, ඔබ අන්තර්ජාලය නිරතුරු පරිශීලනය කරන කෙනෙක් නම් ඔබ ඔහුව නිසැකයෙන් ම හදුනනවා ඇති. එහෙම නම් කව්ද ඔහු? ඔහු අන්තර්ජාලයේ දැවැන්ත ව්‍යාපාරයක් වූ අලි බබා සමාගමේ නිර්මාතෘවරයා නොහොත් ජැක් මා. ඉතින් ජැක් මා අද චීනයේ පමණක් නෙවෙයි ලෝකයේ ම සිටින විශාල ම ධනවතුන් අතරින් කෙනෙක් වුණාට තමන්ගේ ජීවිතයේ මේ තාක් දුර ගෙවා ගෙන ආව මොහුගේ ජීවිත කතාව නම් ඒ තරම් සොදුරු එකක් නෙවෙයි.

ප්‍රතික්ෂේප වීම්, අසමත්වීම් වලින් පස්සේ කෙනෙක්ට හිතෙනවා නම් තමන් සතුව ඉදිරියට කරන්න තියෙන දේවල් වලත් සැඟවිලා තියෙන්නේ තමන්ගේ නුසුදුසුකම් විතරමයි කියලා ඇත්තටම ජැක් මා ට අනුව නම් ඒක විහිළුවක් විතරයි. මොකද මොහුගේ ජීවිතයේ ලද ප්‍රතික්ෂේප වීම්, අසමත් වීම් සහ ඔහුව නොපිළිගැනීම් පිළිබඳව ඔහු සිතන්නට, දුක් වෙන්නට, කඩා වැටෙන්නට ගියා නම් අද ඔහුගේ ලෝක ප්‍රකට සමාගම තබා ඔහුගේ නම චීනය තුළවත් හදුනන්නේ නැති වෙන්නට පුළුවන්.

වර්ෂ 1964 සැප්තැම්බර් 10 වන දින චීනයේ දකුණු නැගෙනහිර හැංග්ෂු පළාතේ සාමාන්‍ය පවුලක උපත ලද මොහු පවුලේ වැඩිමහල් දරුවා. ඔහුට බාල සහෝදරියන් දෙදෙනෙකු වූ අතර මව සහ පියා සංගීතඥයින් වීමෙන් කුඩා කළ සිට ම ඔහුට මුහුණ දෙන්නට වූයේ දැඩි ආර්ථික අපහසුතා වලටයි. කුඩා කළ සිටම අධ්‍යාපනය සඳහා එතරම් දක්ෂතා නොදැක් වූ දරුවෙක් වුණු ජැක් ඔහුගේ පාසලේ පළමු වසරේදි ම දෙවරක් අසමත් වන්නට වූ අයෙක් වීම විශේෂත්වයක්. ඒ වගේම කෙසේ හෝ ප්‍රාථමික වසරවල් සමත් වූ ජැක් අනතුරුව මුහුණ දුන් ද්විතීයික විභාගයද තුන් වරක් අසමත් වන්නට වුණා. එහෙත් මෙකී සියළු අසමත් විම් හරහා ඉතාමත් අසීරුවෙන් තම ජයග්‍රහණයන් ද අත්පත් කර ගනිමින් කෙසේ හෝ පාසල් අධ්‍යාපනය අවසන් කළ මොහුගේ මීළඟ අභිප්‍රාය වූයේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට අවස්ථාව උදා කර ගැනීමයි. එහෙත් විටින් විට සිය අධ්‍යාපනයට අවස්ථාව ඉල්ලා සිටියද ඔහු ගැන කිසිදු තැකීමක් එම විශ්වවිද්‍යාලය විසින් සිදු කරන්නට උත්සහ කළේ නැහැ. පසුව හොංෂුහි සාමාන්‍ය විශ්වවිද්‍යාලයකට ඇතුළත් වූ මොහු ඉංග්‍රීසි භාෂාව පිළිබඳ උපාධියක් ලබා ගන්නට සමත් වුණා. 

ජැක් මා පවසන ආකාරයට තමා ඉල්ලුම් කළ රැකියා තිහකට වැඩි ප්‍රමාණයකින් ඔහුව ප්‍රතික්ෂේප වී තිබෙනවා. ඒ වගේම පොලීසියට ඉල්ලුම් කළ අවස්ථාවකදී එහි තිබූ සම්මුඛ පරරීක්ෂණයකට ගිය පුද්ගලයින් පස් දෙනාගෙන් හතර දෙනෙක්ම තේරරී පත් වුණු අතර නොතේරුණු එකම පුද්ගලයා ද මොහුම වුණා. ඒ විතරක් නෙවෙයි එක්තරා වෙළඳසැළකට සේවකයින් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණයනට ගිය විසි පස්දෙනාගෙන් විසි හතර දෙනෙකුම තේරී පත් වුණු අතර එහිදී ද නොතේරුණු එකම පුද්ගලයා ජැක් මා වුනා. 

පසුව ඔහුට ප්‍රථිපලයක් ගෙන එන්නට ඔහු ඉගෙනගත් ඉංග්‍රීසි භාෂා දැනුම සමත් වූයේ මසකට ඩොලර් 12ක වැටුපක් ලබා ගනිමින් හොංෂු විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි ගුරුවරයෙකු ලෙස සේවය කිරීමට හැකි වීමෙනුයි. පසුව ඔහුට ලැබුණු අපුරු අවස්ථාවක් ලෙසින් භාෂා පරිවර්තකයෙකු ලෙස ඇමරිකාවේ සංචාරය කිරීමට අවස්ථාව ලැබීමෙන් එය ඔහුගේ ජීවිතය වෙනස්ම මගකට යොමු කරලන්නට හැකියාව ලැබුණා. 

චීනයෙන් ඇමරිකාවට සංචාරය කළ පසු අන්තර්ජාලය පිළිබඳව දැන ගැනීමට ලැබුණු ජැක් හට මේ පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරන්නට අවශ්‍ය වුණා. පසුව අන්තර්ජාලය වෙත චීනය රැගෙන ගිය හැකි බව සහ එමගින් තම රටට වැඩක් ගත හැකි බව අවබෝධ කොට ගත් මොහු චීනයට පැමිණි වහාම සිය මිතුරන් කිහිප දෙනෙකුට මේ පිළිබඳව කියා දෙන්නට වුණා. එහෙත් මිතුරන්ගෙන් ඔහුට සතුටුදායක පුවතක් නම් අසන්නට ලැබුණේ නැත. මිතුරන් පැවසූයේ මොහුට පිස්සු බවටයි. පසුව ජැක් තුළ තිබූ දැඩි උත්සහය දුටු එක් මිතුරෙකු පසුව මොහුට මුදල් ණයට දී ඇත්තේ Chinapage නමැති වෙබ් අඩවිය ආරම්භ කිරීමටයි. පසුව චීනය සහ චීනයේ නිෂ්පාදන පිළිබඳව සඳහන් වුණු මෙමගින් වසර හතරක් යන තෙක්ම ජැක් හට කිසිදු ආදායමක් ලබන්නට හැකි වුණේ නැහැ. පසුව විවිධ පරිවර්ථනයන් කරමින් ඉදිරියට කරගෙන ගිය මෙම වෙබ් අඩවියෙන් පසු 1999 වසරේදී සිය බිරිඳ සහ 18 දෙනෙකුගෙන් යුක්තව අන්තර්ජාලය ඔස්සේ ව්‍යාපාර කරලීමට හැකි මගක් පෑදීමේ ප්‍රථිපලයක් විදිහට අලිබබා සමාගම ආරම්භ වන්නට වුණා. පසුව ඉතා අපහසුවෙන් ආරම්භ කළ මෙම කටයුත්තට සෝෆ්ට් බෑන්ක් නම් සමාගම මගින් ඩොලර් මිලියන 20ක් ද තවත් සමාගමක් මගින් ඩොලර් මිලියන 5ක් ද ආයෝජන වශයෙන් ලැබුණු පසු අවසානයේදී ඔහුවත් නොසිතූ ලෙසින් ඔහුගේ බලාපොරොත්තුව සීඝ්‍රයෙන් උඩු දුවන්නට පටන් ගත්තා. 

පසුව චීන ජාතිකයන් තුළ තමන් නොදන්නා දෙයක් හරහා ව්‍යාපාර කිරීම හා ඊට මුදල් යට කිරරීමට ඇති අවිනිශ්චිතභාවය හේතුවෙන් බැංකුවක අනුමැතියකින් තොරව ගණුදෙනු කළ හැකි Alipay ක්‍රමය ද හදුන්වාදීමත් මගින් ඔහුගේ අන්තර්ජාල ව්‍යාපාරය තවදුරටත් දියුණු වන්නට විය. පසුව ඒ හරහා බැදුණු අතිරේක සේවාවන්ද රැසක් සමගින් තවදුරටත් වර්ධනය වූ ජැක් මා සහ ඔහුගේ ව්‍යාපාරය අද වන විට මුළු මහත් ලෝකය තුළම ප්‍රචලිත වී හමාරයි. ඉතින් ඔහුගේ දේශනයකදී ඔහු සිය පිරිසට පවසා ඇත්තේ මෙවන් දෙයක්.

මට තියෙන ප්‍රධානතම කණගාටුවක් තමයි වර්තමානයේ තරුණ ළමයින්ට බලාපොරොත්තුවක් නැහැ. ඔවුන්ට නිසියාකාර දැක්මක් නැහැ. ඔවුන් නිතරම නැති දේවල් ගැන කියවමින් දුක් වෙනවා, කණගාටු වෙනවා. මමත් ඒ වගේ සියළු දේ අහිමිවී මානසිකව ඇද වැටුණු අවස්ථා තිබුණා. ඒත් මම මගේ අවස්ථාවන් හරියටම ගන්නේ කොහොමද කියලා ඉගෙන ගත්තා. අනිත් අයට දෝෂාරෝපණය කරමින් නැති දේ ගැන වධ වෙනවා නම් අපට කවදාවත් නැගිටීමක් නැහැ. පරාජයන් හා බිඳ වැටීම් වලදී සමාජයට චෝදනා කරනවා වෙනුවට ඒ පරාජය තුළින්ම නැගී සිටීමේ ආත්ම ධෛර්යය ඇති කර ගත යුතුයි. අද දවස අමාරුයි. හෙට ඊටත් වඩා අමාරුයි. නමුත් හිරු පායන්නේ හෙට නම් ඔබ හෙට ජීවිතය අතහැරියොත් කවදාවක් ඔබට ආලෝකය දකින්නට බැරි වේවි.

ඉතින් ආලෝකය දකින්න නම් අපිට අද කොච්චර අමාරු වුණත් අදත්, හෙට කොච්චර අමාරු වුණත් හෙටත් අල්ලගෙන ඉන්නම වෙනවා. නැත්නම් වෙන්නේ අන්තිමේ්දී එළියක් දකින්නේවත් නැතිව අදුරේම අවසානයට යන්නයි. 

පළමු වසරේ අසමත් වීම් වලදී ඔහු ජීවිතය අතහැරිය නම්, රැකියාවන්ගෙන් වන ප්‍රතික්ෂේප විම් වලින් ඔහු ජීවිතය අතහැරිය නම්, තමන්ගේ සමීපතම යහළුවන් පවා පිස්සෙක් ලෙසට ඔහුව දුටු විට ඒ තුළින් ඔහු කඩා වැටුණ නම් අද මේ ලිපිය ලියන්නවත් ඔහුව උදාහරණයකට ගෙන ජීවිතයක් හදා ගන්නටවත් අද ජැක් මා කෙනෙක් තබා තවත් ලෝක ප්‍රකට ධනවතෙකුද බිහිවන්නේ නැහැ. 

ඉතින් පළමු වසරේ පටන්ම අසමත් වූ ඔහු අද ලොවක් හදුනන ජැක් මා නම්. ඔබේ අසමත්වීම් වලින් ඔබට නිකුත් කරන පණිවිඩය තුළද ඔබට දැන් හිතන්න දේවල් බොහොමයක් ඇති. එහෙම නම් හෙමිහිට හිතන්න. හරිම දේ හිතන්න. ලබන සතියේදීත් අපි නැවත හමුවෙමු අළුත් හුස්මකට ඉඩක් අරගෙන හුස්මකට වෙනසක් සමගින්.

Top