ඔයත් ස්වාධීන කෙනෙක් කියලා ඔයා හිතනවා ද? (727)

post-title

ස්වාධීනත්වය එහෙමත් නැත්නම් independent කියන්නේ මොකක්ද? ඇත්තට ම ස්වාධීනත්වය කියන්නේ කියන්නෙ අපි යම් කෙනෙක් හෝ යම් දෙයක් මත යැපෙන්නේ නෑ කියන එක. ඒකට විරුද්ධ වචනය තමයි පරාදීනත්වය. එහෙම නැත්නම් dependent. ඒ කියන්නේ කෙනෙක් හෝ යම් දෙයක් මත යැපෙනවා කියන එක. සාමාන්‍යයෙන් අද independent කියන වචනය කාන්තාවන් අතර හරිම ජනප්‍රියයි. ඕනෑම ප්‍රසිද්ධ අප්‍රසිද්ධ කාන්තාවක් independent කියන වචන මත පදනම් වෙලා සමාජය ඉස්සරහ බොහොම උජාරුවට කතා කරනවා. මේ ලිපිය ලියන මමත් ගැහැණු ළමයෙක්. ගැහැණු ළමයෙක් වෙලත් තමන්ගේ පාර්ශවයට ම පහර ගහනවා කියලා ඔයාට හිතෙන්නත් පුළුවන්. හැබැයි මේ පහර ගැසීමක් නෙවෙයි. මට හැඟෙන, දැනෙන ආකාරයට පුංචි නිවැරදි කිරීමක්. ඒ වගේම කියන්න ඕනි, කාන්තා පාර්ශවය මේ ස්වාධීනත්වය කියන අදහස පාවිච්චි කරන්න පටන් ගන්නෙ ටිකක් මෑත කාලීනව. නමුත් පිරිමි පාර්ශවය නම් ඉතා ඈතම ඈත අතීතයේ පටන් බොහොම අභිමානයෙන් මේ ස්වාධීනත්වය කියන වචනෙ පාවිච්චි කරනවා. ඉතින් මේ දෙගොල්ලො වෙනුවෙන් ම තමයි මේ ලිපිය ලියන්නෙ.

ඇත්තටම independent වෙන්න අපි මොනවද කරන්න ඕනේ. ඔයාට හිතෙන්නෙත් අපි ඉගෙන ගෙන හෝ නොගෙන අපිට ජීවත් වෙන්න, අපේ දෙමාපියන් බලාගන්න අවශ්‍ය තරම් මුදල් උපයන්න රැකියාවක් කළාම ඒක independent කියලද. එහෙමත් නැත්නම් සරලව කියනවා නම් කාටවත් අත නොපා ජීවත් වන තරමට අපි යම් මුදලක් ඉපයීම independent ද? ස්වාධීනත්වය කියන්න මේ හැමෝම භාවිතා කරන නිර්වචනය 100%ක් නිවැරදි එකක් නෙවෙයි. මේක ස්වාධීනත්වයේ එක් කොටසක් විතරයි. මේකට හරියට ම කියන්න පුළුවන් ස්වාධීනත්වය කියලා නෙවෙයි මූල්‍යමය ස්වාධීනත්වය කියලා. ඇත්තට ම මූල්‍යමය ස්වාධීනත්වය කියන දේ ස්වාධීනත්වය කියන එකට සමාන කරන්න බෑ. අපි මූල්‍යමය වශයෙන් ස්වාධීන වුණු පළියට අපිට කවදාවත් බෑ සම්පූර්ණයෙන්ම අපි එහෙම independent එහෙම නැත්නම් ස්වාධීන චරිත කියලා හඳුන්වලා දෙන්න. මොකද අපි යම් මුදලක් ඉපයූ පමණින් අපි අනෙක් අය මත යැපෙන්නේ නැති චරිත බවට පත් වෙන්නේ නැහැ.

මං කියන්නම් සල්ලිවලට අමතරව අපි අනෙක් අය මත යැපෙන අවස්ථා. බොහොම ලේසි තැනකින් පටන් ගත්තොත්, ආදරය. ආදර සම්බන්ධතාවක් ගත්තොත් එතනදි අපි අනික් කෙනාගෙන් මූලිකව ම ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ විතරක් නෙමෙයි රැකවරණය, අනෙක් පාර්ශවයෙන් ලැබෙන උදව්, අපි වෙනුවෙන් කාලය වෙන් කර ගැනීම වගේ එකී මෙකී නොකී නොයෙක් දේවල් ගොඩක් බලාපොරොත්තු වෙනවා. ආදරය කරද්දි අපි අනෙක් පාර්ශ්වයෙන් කිසිවක් බලාපොරොත්තු වෙන්න හොඳ නෑ කියලා කතාවට කිව්වට අපි කොයි කවුරුත් ආදරේදි මේ දේවල් බලාපොරොත්තු වෙනවා. මේ දේවල් එකක් හරි නොලැබුණොත්, ඔයාට දුක හිතෙන්නේ නැද්ද, තරහ එන්නෙ නැද්ද, ඒ පාර්ශවය එක්ක රණ්ඩු වෙන්නෙ නැද්ද, කෙටියෙන් කිව්වොත් ඔයාට ඒක මානසිකව බලපාන්නෙ නැද්ද. බලපානවා නේද? තවත් කෙනෙක්ගෙ හැසිරීමක යම් වෙනස්කමක් අපිට මානසික ව යම් බලපෑමක් ඇති කරනවා කියලා කියන්නේ අපි ඒ පුද්ගලයා මත යම් ආකාරයකට යැපෙනවා කියන එක.

ආදරේදි විතරක් නෙමෙයි. අපි ළඟ තියෙන හැම බැඳීමකදි ම මේ වගේ. අම්මා තාත්තා, යහළු යෙහෙළියෝ ආදී හැම බැඳීමකදි ම. කොටින්ම මේක ලියන මමත් කියවන ඔබ මත යැපෙනවා. මොකද කියවන්න කෙනෙක් නැත්නම් ලිවීමේ අරමුණු සපුරාගත නොහැකි නිසා.

මේ ඔක්කොම පැත්තකින් තිබ්බත් අපි යම් රටක ජීවත් වෙනකොට ඒ රටේ ආර්ථික දේශපාලන තත්වය මත අපි යැපෙනවා. අපි ස්වාධීන ව ඡන්දය පාවිච්චි කරලා තෝරාපත් කර ගන්න මහජන නියෝජිතයන්ගේ තීරණ මත නිර්මාණය වන රාජ්‍ය මත අපි ම ආයෙත් යැපෙනවා. දේශපාලනය පැත්තෙන් එසේ වෙනකොට ආර්ථිකමය පැත්තෙනුත් එහෙමයි. දිනෙන් දින බඩු මිල ඉහළ යද්දී ස්වාධීන ව තීරණය කරගත් මිලකට අපිට පුළුවන්ද අපිට අවශ්‍ය දේවල් මිලදී ගන්න. ඒක කවදාවත් කරන්න බෑ.

ඒ විතරක් නෙවෙයි අපි සමාජය මත යැපෙනවා. අපි මොනවා හරි දෙයක් කරද්දි ගෙදර අම්මා තාත්තට අමතරව රටේ මිනිස්සු මොනව හිතයිද, කියයිද කියලා ටිකක් හරි හිතනවා. මොනවා හරි දෙයක් වුණත් මුලින්ම හිතෙන්නේ සමාජෙට මුහුණ දෙන්නෙ කොහොමද කියලා. ඔය අතරේ සමාජයට බම්බු ගහගන්න කියලා ජීවිතය විඳින අයත් ඉන්නවා. ඔයත් ඒ වගේ කෙනෙක් නම් ඔයාට මේ සමාජයෙන් එල්ල වෙන ඕනෑම ආකාරයේ ප්‍රතිචාරයක දී නොසැලී ඉන්න පුළුවන්ද කියල පොඩ්ඩක් හිතල බලන්න. මං ඒකෙන් අදහස් කළේ සමාජය ඔයාට හොඳක් කිව්වොත් විශේෂයෙන් සතුටු නොවී ඉන්නත්, සමාජය ඔයාට වරදක් කිව්වත් විශේෂයෙන් දුක් නොවී ඉන්නත් ඔයාට පුලුවන්ද කියල හිතල බලන්න. එහෙම තියනවනම් ඔයා සමාජය මත යැපෙන්නේ නෑ. නැත්නම් ඔයත් සමාජය මත යැපෙන්නෙක්. අපි සමාජයෙන් ගෞරවය, ආදරය, පිළිගැනීම ආදිය බලාපොරොත්තු වෙනවා කියලා කියන්නෙ ම අපි සමාජය මත යැපෙනවා කියන එක. 

තවත් අවස්ථාවක් තමයි අපි ලබාගන්නා ජයග්‍රහණයන්. අපි උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුවා කියලා හිතන්නකෝ. අපි ඒ ලබාගත් ජයග්‍රහණය ගැන අවුරුදු ගණනාවකට පස්සෙත් හරිම අභිමානයෙන් කතා කරනවා. ඒ වගේම අපි එතනට එන්න කරපු කැපකිරීම් ගැන හරිම සතුටින්, සමහර වෙලාවට ඇස්වල කඳුළු පුරවගෙන මෙනෙහි කරනවා. මං මෙච්චර දුක් විඳලා මෙතැනට ආවේ කියලා හැමෝම එක්ක කියනවා. ඇත්තටම එතනට එන්න තනි පුද්ගලයෙක්ගේ මහන්සියක් විතරක් ප්‍රමාණවත් ද. ඒ වෙනුවෙන් අතිවිශාල ප්‍රතිශතයක් ඔවුන් කැපවී ඇති බව නියතයි. නමුත් ඒ වෙනුවෙන් කැප වූ දෙමාපියන්, ගුරුවරුන්, මග පෙන්වන්නන් ආදී බොහෝමයක් පිරිසක් සිටිනවා. උදාහරණයට ගත් උසස් පෙළ සමත්වීම විතරක් නෙවෙයි. අපි අපේ මුළු ජීවිත කාලය මුළුල්ලේම ලබාගන්න සියලුම ජයග්‍රහණයන් පසුපස බොහෝ දෙනෙක් සිටිනවා. ඉතින් ඔබ කොහොමද ජයග්‍රහණයක දී වත් ස්වාධීන වෙන්නේ?

ඉතින් මේ දේවල් එක්ක ඔයාට තවමත් හිතෙනවද යම් රැකියාවකින් මුදලක් ඉපයූ පමණින් අපි ස්වාධීන වෙනවා කියලා. අපි සෑම විටම අන් අයගෙන් ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා. ඒක උදව්වක්, උපකාරයක් විතරක් නෙවෙයි. හිත සනසන වචනයක්, පුංචි හිනාවක් වෙන්නත් පුළුවන්. නිකමට හිතන්න ඔයා පාරේ යනකොට ඔයා හිනාවුනු කෙනෙක් ඔයා එක්ක ආපහු හිනා උනේ නැතොත් ඔයාගේ හිතට එන්නේ මොන වගේ හැඟීමක්ද කියලා. මිනිසා කියලා කියන්නේ ඇත්තට ම සමාජ ජීවියෙක් කියන එක අපි දන්නවා. ඉතින් අපි මේ තරම් සංකීර්ණ, මේ තරම් අන්තර් සම්බන්ධිත සමාජය ඇතුළෙ කොහොමද ස්වාධීන වෙන්නේ. 

ඇත්තටම අපි ස්වාධීන වෙන්නෙ. ඒක කරන්න පුළුවන් ද. මේ කියන තත්වය යටතේ ඒක හරිම අමාරුයි නේ. හැබැයි එක විදියක් තියෙනවා. මං මේක කියන්නේ මගේ ආගමට අනුව. අපිට පුළුවන් නම් ආගමානුකූලව සත්‍ය අවබෝධ කරගන්න, සතුටක දී හෝ දුකක දී ආගමානුකූලව එයට මුහුණ දෙන්න, එවිට අපි ස්වාධීනයි. උදාහරණයක් විදිහට ගන්න බුදුරජාණන් වහන්සේ. බුදුන් වහන්සේ සෑම අංශයකින් ම ස්වාධීන වූ අයෙක්. බුද්ධ චරිතය අධ්‍යයනය කිරීමේ දී අපට එය මනාව පැහැදිලි වෙනවා. අනෙක් ආගමික නායකයො එහෙමයි කියලා මම විශ්වාස කරනවා. කෙලින්ම අපට ඒ තත්ත්වයට පත් වෙන්න බැරි උනත් අපිට පුළුවන් නම් පුංචි පුංචි සමාජ වෙනස්වීමවල දී නොසැලී ඉන්න, යහපත් ගතිගුණ අපේ ජීවිතයට හුරු කරගන්න අපිට පුළුවන් ටිකෙන් ටික හරි ස්වාධීනත්වයට ළඟා වෙන්න.

ඉතින් ඇත්තටම ස්වාධීනත්වය කියන ලේබල් එක මුදල් මත පදනම් වෙලා ගහගන්නෙ නැතිව ස්වාධීනත්වය මූල්‍යමය ස්වාධීනත්වය අතර තියෙන වෙනස හඳුනාගෙන හදවතින් ම ස්වාධීන පුද්ගලයන් බවට පත් වෙමු.

Top