ප්‍රතික්ෂේප වීම අලුත් ඇරඹුමකි ! (719)

post-title

 ඔබ අප මෙතෙක් ගත කළ ජීවිත කාලයේ බොහෝ අවස්ථාවන්වලදී, කුමන හෝ කාරණයකදී එක් වරක් හෝ ප්‍රතික්ෂේප වීමකට ලක්වී තිබෙනවා. සැබවින්ම තම ජීවිත කාලයේදී එක් වරක් හෝ එසේ ප්‍රතික්ෂේප නොවුණු අයෙක් නම් සිටින්නටත් නොහැකියි. ඒ ප්‍රතික්ෂේප වීම යන්න එතරම්ම සාමාන්‍ය කාරණාවක් වන නිසයි. එය ඕනෑම අයෙක්ට පොදු කාරණාවක් වන නිසයි. එය කිසිසේත්ම ඔබට පමණක්ම විශේෂ වූවක් නොවන නිසයි. ඉතින්, ප්‍රතික්ෂේපවීම් ඔබ දරා ගත යුත්තේ ඉහත කාරණාවන් නිසාමයි.

මිනිසෙකු තම ජීවිත කාලයේදී ප්‍රතික්ෂේප වීමට ලක් වන අවස්ථා විවිධාකාරයි. ඇතැම් අයෙක් උපන් අවස්ථාවේදීම ප්‍රතික්ෂේප වීමකට ලක්වෙනවා. හයක් හතරක් නොතේරෙන ළදරු වියේදීම ප්‍රතික්ෂේප වීමකට ලක්වන්නට හැකි ද කියා ඇතැමෙක් ප්‍රශ්න කරන්න පුලුවන්. ඔව් පුලුවන්. එය එම දරුවාගේ උවමනාවකින් නොවුනත් දෙමාපියන් විසින් තමන්ගේ දරුවාව ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. එවැනි සිදුවීම් මොනතරම් මේ සමාජයේදී අපට අහන්නට දකින්නට ලැබෙනවා ද? ඉතින් එම දරුවා ජීවිතය අරඹන්නේම ප්‍රතික්ෂේප වීමක් තුලින්මයි.

ළමා කාලයේදීත් දරුවන් ඕනෑතරම් ප්‍රතික්ෂේපවීම්වලට මුහුණ දෙනවා. ඒ නිවසේදී දෙමාපියන් අතින් හෝ සහෝදර සහෝදරවරියන් අතින්, පාසලේදී ගුරුවරුන් අතින් හෝ අනෙක් සිසුන්, මිත්‍රයින් අතින් වගේම නෑදෑයින් හා අසල්වැසියන් නිසාවෙනුයි. තරුණ වියේදී එම ප්‍රතික්ෂේපවීම් පෙරටත් වඩා දරුණුවට සිදු වන අවස්ථා එමටයි. ස්වභාවයෙන්ම තරුණ විය ඉක්මනින්ම සිත් රිඳවීම් ඇතිවන සංවේදී සිතුවිලි පිරි ආදරණීය යුගයක් බව ඔබත් දන්නවා ඇති. මා සිතන්නේ ප්‍රතික්ෂේපවීම් වඩාත් දරුණුවටම ඔබට දැනෙන්නේ මේ වකවානුවේදී කියලයි. මේ කාලයේදී කුඩා ප්‍රතික්ෂේප වීමක් වුවත් තදින්ම සිතට කාවදින බව සත්‍යයක්. පවුලෙන්, ආදරණීයන්ගෙන්, හිතමිත්‍රාදීන්ගෙන්, රැකියා ස්ථානයෙන් ආදී විවිධ සමාජ තලයන් අතරින් මෙම කාලයේදී ඔබ ප්‍රත්කිෂේපවීම්වලට ලක්වෙනවා. ජිවිතයේ සැදෑ සමයේදීත් මෙම කාරණාව එලෙසම ක්‍රියාත්මක වන අවස්ථා එමටයි. ඇතැම් විට ඔබ ආදරයෙන් උස්මහත් කළ දරුවන්ගෙන් පවා ඔබට ප්‍රතික්ෂේප වීමට සිදුවෙනවා.

ප්‍රතික්ෂේප වන්නේ ඔබම පමණ ද?

නැහැ..! ප්‍රතික්ෂේප වීම සමාජයේ දක්නට ලැබෙන ඉතාමත් සුලබ කාරණයක් බව ඔබට දැන් වැටහෙනවා ඇති. ඔබ මම අප සියලුදෙනාම ඉහත කුමන ආකාරයේ හෝ ප්‍රතික්ෂේප වීමකට මුහුණ දී තිබෙනවා. ඇතැම් විට මේ මොහොතේත් මුහුණදෙමින් සිටිනවා. ප්‍රතික්ෂේප වීම සැබවින්ම වේදනාකාරියි. මුල් කාලයේදී එය ඔබට දරාගැනීමට අසීරු වනවා වන්නට පුළුවන්. මා මේ ලිපිය ලිවීමේ මූලිකම අරමුණ ප්‍රතික්ෂේප වීමකදී ඔබ තවත් දුර්වල තත්වයකට පත් නොවී කටයුතු කරන්නට අත්වැලක් සැපයීම පමණයි. එය ක්‍රියාත්මක කිරීමේ හැකියාව උත්පාදනය විය යුත්තේ ඔබ තුලින්මයි. ඔව්..! ඔබව යළි නගා සිටුවිය හැක්කේ, ඔබව යළි ගොඩනගා ගත හැක්කේ ඔබටම පමණයි.

ඔබව ප්‍රතික්ෂේප වන්නේ ඇයි?

කුමන හෝ සමාජ තලයකින් ඔබව ප්‍රතික්ෂේප වීමට බොහෝ හේතුන් බලපෑ හැකියි. ඇතැම් විට අන් අයට නොමැති ඔබේ විශේෂ යහපත් මානව ගුණාංග, හැසිරීම් නිසා ඔබව ප්‍රතික්ෂේප වෙන්න පුලුවන්. එහි ප්‍රතිවිරුද්ධ පැතිකඩ වන ඔබේ අයහපත් මානව ගුණාංග, හැසිරීම් නිසා ඔබව ප්‍රතික්ෂේප වන්නට පුලුවන්. ඔබේ දුර්වල සිතුවිලි, දුර්වල ක්‍රියාකාරකම් හා දුර්වල දක්ෂතා නිසාවෙනුත් ඔබව ප්‍රතික්ෂේප වීම්වලට ලක්වෙනවා. ඇතැම් විට කිසිඳු වරදක් නොමැතිවත් ඔබව ප්‍රතික්ෂේප වීමකට ලක් විය හැකියි.

ප්‍රතික්ෂේපවීම් හමුවේ ඔබ කළ යුත්තේ කුමක් ද?

පළමුව ප්‍රතික්ෂේප වීමට ඇති බිය ඔබ තුළින් ඉවත් කර ගත යුතු වෙනවා. තවදුරටත් ප්‍රතික්ෂේප වීම යන කාරණය ඔබ ඔබව දුර්වල කිරීමට පැමිණි කාරණයක් ලෙස සිතීම බැහැර කළ යුතු වෙනවා. යම් පුද්ගලයෙක් හෝ පිරිසක් අතින් ඔබ ප්‍රතිකිෂේප වූවා නම් එසේ වීමට හේතුව ඔබම හොඳින් කල්පනා කර අවබෝධ කරගන්න. එය ඔබේ දුර්වලතාවයක් නිසා සිදු වූවක් නම් එම දුර්වලතාවය ඔබෙන් දුරස් කරගන්න උත්සාහ කළ යුතු වෙනවා. ඔබේ වරදක් නිසාවෙන් ඔබ කුමන හෝ සමාජ තලයකින් ප්‍රතික්ෂේප වූවානම් එම වරද නිවැරදි කරගන්නා තෙක් ඔබ වරින් වර නැවත එවැනිම ආකාරයකින් ප්‍රතික්ෂේපවීම්වලට ලක් විය හැකියි. ඔබේ වරදක් නොමැතිව ඔබ කුමන හෝ පුද්ගලයෙක්, පිරිසක් අතින් ප්‍රතික්ෂේපවීමකට ලක්වන්නේ නම් එවැනි පුද්ගලයින්ගෙන් හැකිතාක් වෙන්ව කටයුතු කිරීම වැදගත් වෙනවා. එසේම එවැනි පුද්ගලයින් නිසාවෙන් දුර්වල නොවීමට තරම් ඔබේ සිත ශක්තිමත් කර ගත යුතු වෙනවා. 

ප්‍රතික්ෂේප වීම අලුත් ඇරඹුමක් බව ඔබ දන්නවා ද?

ලෝක ප්‍රසිද්ධ හැරී පොටර් කෘති මාලාව නිර්මාණය කළ ජේ. කේ. රෝලින් ඊට ප්‍රථමව ප්‍රකාශකයින් දොළොස්දෙනෙකු අතින් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ලෝක ජනාධාරයට පත් ඉන්දීය නළු අමිතාබ් බච්චන් මුල් කාලයේදී ඉන්දියාවේ සියලු රේඩියෝ නාලිකාවන්ගෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා. දක්ෂ, දැවැන්ත ව්‍යාපාරිකයකු වන අලිබබා සමාගමේ නිර්මාර්තෘ ජැක්මා පාසල් විභාගවලින්, හාවර්ඩ් විශ්ව විද්‍යාලයෙන්, රැකියා බොහොමයකින් බොහෝවරක් ප්‍රතික්ෂේප වී තිබෙනවා. ටයිටැනික් චිත්‍රපටයෙන් අතිශය ජනාධාරයට පාත්‍ර වූ කේට් වින්ස්ලට් ඊට ප්‍රථමව තරබාරු යුවතියක වීම නිසා වසර හතක් රඟපෑමෙන් ප්‍රතික්ෂේප වී තිබෙනවා.

ඔබ ප්‍රතික්ෂේප වූ වාර ගණන කොපමණ ද?

එක්වරක්, දෙවරක්, තිස්වරක් හෝ ඊටත් වඩා වාර ප්‍රමාණයක් ඔබ ප්‍රතික්ෂේප වී තිබෙන්න පුළුවන්. එම ප්‍රතික්ෂේප වූ වාර ගණනට ඔබ නැවත ජීවය ලැබූ වාර ගණන සමාන බව ඔබ දන්නවා ද? ප්‍රතික්ෂේප වීම ලැජ්ජාවක් හෝ දුර්වලකමක් බවට පත් නොකොට එය අලුත් ආරම්භයක් කරගන්න ඔබට පුළුවන්. ප්‍රතික්ෂේප වීමක දී ඒ ගැනම සිතමින් වේදනා විඳමින් සිටීමෙන් ඔබට අත්වන යහපත් නොමැති තරම්. ප්‍රතික්ෂේප වීම කෙතරම් වේදනාකාරී වුවත් එය ඔබේ ජිවිතයේ දී ඔබ ලබන විශාලම අභිප්‍රේරණය යි. ඔබ ප්‍රතික්ෂේප වන වාර ප්‍රමාණය තරමටම ඔබ ශක්තිමත් වන වාර ප්‍රමාණය වැඩි වෙනවා. සාර්ථකත්වයට සමීප වන වාර ප්‍රමාණය වැඩි වෙනවා.

පහසුවෙන් හිමි වන දේ ට වඩා අසීරුවෙන්, ස්වෝත්සාහයෙන් උපයා ගන්නා දේ හි වටිනාකම බොහෝ වැඩියි..!

කුමන හෝ සමාජ තලයකින් ඔබව යලියළිත් ප්‍රතික්ෂේප වූවාට කමක් නැහැ. එය සාමාන්‍යයයි. නමුත් තත්ත්වය වටහාගන්න. ඒ අනුව තමාව නිර්මාණය කරගන්න. නව සැලසුම් සකස් කරගන්න. ඒවා ක්‍රියාත්මක කරන්න. බාධක හමුවේ දුර්වල නොවන්න. කඩා වැටෙන හැමවිටම නැවත නැවතත් නැගිටින්න. කිසිම විටෙක බලාපොරොත්තු අත් නොහරින්න. ඔබව දුර්වලකරන, අසරණකරන, බිඳදමන, වේදනා ගෙන දෙන පුද්ගලයින්ගෙන් හැකිතාක් දුරස්වන්න. සැමවිටම ඔබට අභිප්‍රේරණයක් ගෙන එන, ආදරය කරන පුද්ගලයින් ඇසුරු කරන්න. වඩාත් වැදගත්ම කාරණය නම් කිසිවකු නොමැති වුවත් ඔබ ඔබටම ආදරය කරන්න. ඔබ ගැන සිතා, ඔබ වෙනුවෙන්ම පළමුව තීරණ ගන්න..! 

මුල හොඳින් සවිමත් ශක්තිමත් ගසක කඳ වරින් වර සිඳ දැමුවත් එය නැවත නැවත ජීවය ලබනවා සේම, ඔබව කෙතරම් ප්‍රතික්ෂේප වූවත් නැවත නැවතත් උත්සාහ කරන්න. කිසිම විටෙක ඔබ ඔබව අත් නොහරින්න වග බලා ගන්න.. ප්‍රතික්ෂේප වූවාට කමක් නැහැ.. නැවතත් ජීවය ලබන්නට ඔබට ඕනා තරම් අවස්ථා තිබෙනවා.. ඔබට අවශ්‍ය සාර්ථකත්වයට ඔබ පිය මනින තෙක්ම අත් නොහැර යලියළිත් උත්සාහ කරන්න ඔබට පුළුවන්..! ඔබ අනිවාර්යයෙන්ම කළ යුත්තේත් එයයි..!

Top