සාපයක් වුණ කොරෝනා ආශිර්වාදයක් කර ගන්නෙ කොහොමද? (716)

post-title

කොරෝනා හින්දා ගොඩ යන මිනිස්සු නැද්ද? මං ඔයාගෙන් මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් ඔයා මොකද කියන්නේ. එක්කෝ ඔයා මං පිස්සු කියලා හිතලා බනීවි. නැත්නම් මොකක් හරි උත්තරයක් දෙයි. ඇත්තට ම ඔයාගේ උත්තර ගොඩේ ඉන්නේ කළුකඩ මුදලාලිලා, ගෙදර ඉඳන් පඩි ගන්න මිනිස්සු, දේශපාලඥයෝ වගේ අය නම් කිව්වට තරහ වෙන්න එපා ඔයා තවම ඉන්නේ බොහොම පහළ තැනක. එහෙම නැත්නම් එක රාමුවකට කොටුවෙලා.

කැමති ද ඔය රාමුවෙන් ටිකක් එළියට එන්න. එහෙනම් කියවල බලන්නකෝ. කොරෝනත් එක්ක අපේ සාමාන්‍ය ජීවන රටාව සම්පූර්ණයෙන් ම වෙනස් වුණා. වෙනදට ඉස්කෝලෙ යාලුවො එක්ක පන්ති කාමරයේ ඉගෙන ගන්න, පිට්ටනියෙ දුවල පැනල ඉන්න දරුවෝ zoom ඉස්සරහ කොටු වුණා. වසර 13ක පාසල් ජීවිතයේ අග්‍රඵලය නෙළාගත් සරසවි සිසුන්ටත් අවසානෙට වුණේ ඒක. රැකියා කරන, නොකරන, බාල මහලු, තරුණ, වැඩිහිටි මේ හැමෝටම ගෙයක් ඇතුළෙ කොටුවෙලා ඉන්න සිද්ධ වුණා. අන්තිමට අපි දකින්නේ ගෙදර අය විතරක් ම වෙච්චි කොට එකම කට්ටිය ව දැකලත් ඇති උනාද මන්දා. මේත් එක්ක බොහෝ දෙනෙක්ට මානසික, සමාජයීය, ආර්ථික, අධ්‍යාපනික පැත්තෙන් බොහෝ අවහිරතාවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. බොහෝ දෙනෙක් මේකෙ නරක ම දැක දැක, දකින, අහන, පේන, හිතෙන හැමෝම ව විවේචනය කර කර කල් මැරුවා. දන්නෙම නැතිව කොරෝනා නාමයෙන් අති සාර්ථක ව අවුරුදු 02ක් කලා දැම්මා.

මම දැන් කියන්නම් කොරෝනා හින්දා ඔයාට හොඳ විදියට හිතන්න තිබුණු ඒත් නරකට හිතපු පැති ගැන.

ඔයා පාසල් යන, බාහිර ක්‍රියාකාරකම් කරන ක්‍රියාශීලි ශිෂ්‍යයෙක් නම් ඔයා හිතනවා මට දැන් නටන්න විදිහක් නෑ, ක්‍රීඩා කරන්න විදිහක් නෑ, රඟපාන්න විදිහක් නෑ, තරඟවලට සහභාගි වෙන්න විදිහක් නෑ කියලා. එහෙම හිතලා දුක් වෙනවා. හැබැයි මං කියන්නේ ඔයාට පුලුවන් ඔයාගේ ක්ෂේත්‍රයට අදාළ දැනුම හොයන්න, නවීකරණය වුණු දේවල් එහෙම නැත්නම් updates හොයන්න, බලන්න, ඒ වගේම ඔයාගේ ක්ෂේත්‍රය ගැන තියෙන දැනුම අනිත් අයට බෙදාදෙන විදියට කටයුතු කරන්නත් පුළුවන්. Youtube channel එකක්, blog එකක්, tiktok වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්.

ඔයා අධ්‍යාපනයට යොමු වෙලා ඉන්න, පාසල් යන, අමතර පන්ති යන, විශ්ව විද්‍යාලයේ ඉන්න, සාමාන්‍ය පැවැත්මට එල්ල වුණු පහර ගැන කලකිරීමෙන් ඉන්න කෙනෙක් නම් මං කියන්නේ මේ ඔයාගේ හොඳම කාලේ. ඔයාගේ අතරමඟට කැපවෙන කාලය, මුදල් යහපත් විදියට පාවිච්චි කරලා ඔයාට පුලුවන් දැන් තවත් ටිකක් මහන්සි වෙන්න ඔයාගේ අරමුණු, ඉලක්ක වෙනුවෙන්. 

ඔයා ව්‍යාපාරයක් කරලා කොරෝනා එක්ක පාඩු විඳින ව්‍යවසායකයෙක් ද. එහෙනම් ඔයාට පුලුවන් ඔයාගේ ව්‍යාපාර රාමුව ටිකක් වෙනස් කරලා, අලුත් දෙයක්, අලුත් මාධ්‍යයකින්, අලුත් විදියට ඔයාගේ පාරිභෝගිකයන්ට ලබා දෙන්න.

මේ මොකුත්ම නැතිව කොහොමත් ගෙදරට වෙලා ඉන්න කෙනෙක් නම් ඔයාට පුළුවන් වෙනදට වඩා දැන් ඇස ගැටෙන, කතාබහට කරන, ළඟ දැවටෙන ඔයාගේ ආදරණීය පවුලේ සාමාජිකයන්ට තවත් ටිකක් ළං වෙන්න. ඔවුන් ව තව ටිකක් තේරුම් අරන් ඔවුන්ට තවත් ආදරණීය වෙන්න.

මං මේ කිව්ව සිව් ආකාරයේ පිරිසට අමතරව, තවත් බොහෝ දෙනෙක් ඉන්නවා මේ හින්දා බොහෝ පීඩනයට පත්වෙලා කලකිරීමෙන් ජීවිතය ගෙවන.

හැබැයි මං කියන්නේ මේ ලිපිය කියවන ඔයා ළග ස්මාර්ට්ෆෝන් එකක්, ටැබ් එකක් ලැප්ටොප් එකක් වගේ ඕනෑම ආකාරයක internet connection තියෙන උපාංගයක් තියෙනවා. ඔයා ඕකෙන් දවස තිස්සෙම netflix එකේ ෆිල්ම් බලනවා, Youtube එකේ තේරුමක් නැති content තෝරා ගෙන ඒ මත වැටිලා ඉන්නවා, facebook/ instagram එකේ ඇලිලා ඉන්නවා, ගේම් ගහනවා නම් ඇත්තට ම ටිකක් මීට වඩා හිතන්න. මොකද මේ වෙලාවේ තමන්ගේ කටයුතුවලට ඔහොම උපකරණයක් නැතුව දහසක් දෙනා අසරණ වෙලා ඉන්නවා. ඒ වගේම ඔයා ළඟ තියෙන ඔය උපාංගය මේ වෙලාවේ ඔයාගේ හිතේ තියෙන ප්‍රශ්නවලට ගොඩක් විසඳුම් ගේන එකක් වෙන්න පුළුවන්.

ඔයාට පුලුවන් ඔයාගේ දැනුම අනිත් අයට බෙදා ගන්න ඔයා ඇබ්බැහි වෙලා ඉන්න social media පාවිච්චි කරන්න. ඔයා ලියන්න පුලුවන් කෙනෙක් නම් බ්ලොග් එකක් කරන්න, ඔයාගේ දැනුම නිර්මාණශීලී ව youtube video, tiktok වගේ දේවල්වලින් එළියට අරන් ඇවිත් හැමෝම එක්ක බෙදා ගන්න පුළුවන්.

ඔයාගේ ව්‍යාපාරය ටිකක් වෙනස් කරලා, online ක්‍රමයට හරවගන්න පුළුවන් නම් මේ කාලේ හරිම වැදගත්. ව්‍යාපාරය මොන ක්ෂේත්‍රයට අයිති එකක් උනත්, දියුණු වෙන ලෝකේ තාක්ෂණයත් එක්ක මුසු කළොත් හිතාගන්න බැරි තරම් ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්. ඔයාට ඕනෙ දැනුම හොයන්න ඇති තරම් වෙබ් සයිට් වැනි, බ්ලොග්ස්, youtube channel වගේ දේවල් තියෙනවා.

ඔයාට ඉගෙන ගන්න දේවල්වලට අවශ්‍ය දැනුම හොයන්න මේ තාක්ෂණය බොහොම වැදගත් විදියට පාවිච්චි කරන්න. 

ඒ වගේම කාලයක් තිස්සේ ඔයාට ඉගෙන ගන්න අවශ්‍ය ඒත් ඉගෙන ගන්න වෙලාවක් නැති වුනු දේවල් තියෙනවා වෙන්න පුළුවන්. ඒ තවත් භාෂාවක්, ICT වගේ දෙයක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් ඉගෙන ගන්න ඕනේ තරම් online course තියනවා. දැන් ලංකාවේ වගේම පිටරට Course එක්කත් අපිට මේ තාක්ෂණය හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. මේ වෙලාවේ මුදල් අපහසුතා තියෙන අයට සම්බන්ධ වෙන්න පුළුවන් free courses තියෙනවා. ඒ වගේම youtube tutorial, blog articles වගේ දේවල්වලින් බොහොම පිළිවෙලට මේ දේවල් ඉගෙන ගන්නත් අවස්ථාව තියෙනවා.

මහන්න, ගොතන්න, කෑම හදන්න වගේ දේවලවලට ආස අයට ඔන්න ගෙදර ඉඳන් ඒ දේවල් පුරුදු වෙන්න, ඒ ගැන හොයන්න පුළුවන්. ඒ වගේම මේ දේවල්වලින් ඔයාගෙම කියලා පුංචි ව්‍යාපාරයක් පටන් ගන්නත් ඔයාට පුළුවන්.

ඒ වගේම ඔයා හිතන් ඉන්න ඔයාට පුලුවන් කියල හිතෙන දේවල් ටිකට අමතරව තව දේවල් කරන්න උත්සාහ කරන්න. උදාහරණයක් විදියට ලස්සනට සින්දු සිංදු කියන්න පුළුවන් ඔයාට රසට කෑම හදන්නත් හැකියාව ඇති. ඇත්තටම ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් දක්ෂ කෙනෙක්. ඒ නිසා ඔයාගේ හිතට එන හැමදේම අත්හදා බලන්න උත්සාහ කරන්න. සාර්ථක වෙන්න ලොකු ඉඩක් තියෙනවා. හැබැයි වැරදි දේවල් නෙවෙයි. 

ඒ වගේම ඇති හැකි අයට නැති බැරි අය වෙනුවෙන් දෙයක් කරලා පින් සිද්ධ කරගන්න මේක ගොඩක් හොඳ, සුදුසුම කාලයක්.

ඇත්තටම මට අනුව නම් කොරෝනා ආවෙ අපිට අපිව ම හඳුනාගෙන, අපේ ශක්තීන් වැඩි දියුණු කරගෙන, දුබලතා මඟහරවා ගෙන, වැරදි අඩුපාඩු නිවැරදි කර ගෙන, අද දවසේ ජීවත් වෙන්න අපිට කියලා දෙන්න.

ඉතින් ඇයි තවත් කලකිරීමෙන් ඉන්නේ. දැන්ම ඉඳලම වැඩ පටන් ගන්න. කොයි තරම් කිව්වත් බෑ වගේ හිතෙනවා නම්, මේ ටිකත් කියවන්නකෝ. ඇත්තටම මං මේ ලිපිය ලියන දවසටත් වඩා ඔයා මේක කියවන දවස වෙනකොට අපේ රටේ තත්ත්වය දරුණු වෙලා, ඔයාව ගැටලු වැඩි වෙලා තියෙන්න පුළුවන්.

හැබැයි හැම වෙලෙම හිතන්න ඔයා ඔය ඉන්නවටත් වඩා මේ පුංචි රට ඇතුලෙ, ලෝකෙ ඇතුලෙ දුක් විඳින, පීඩා විදින මිනිස්සු ඉන්නවා. ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි වගේම ඔයා ගොඩක් ඉදිරියෙන් ඉන්නෙ කියලා. මොන විදිහේ ප්‍රශ්නයක් හිතේ තිබ්බත් අලුත් බලාපොරොත්තුවක් ජීවිතයට ඇති කරගෙන, හදවතින්ම හිතලා නැවුම් හිනාවක් ඔයාට ම දෙන්න. ඔයාගේ ගෙදර අයට දෙන්න. සමහර විට ඔයා හිතනවට වඩා ඔයාලගේ ජීවිත මොහොතකට සුන්දර වෙන්න පුළුවන්. මොකද මේ ලෝකේ උපයගන්න අමාරු, ඒ වගේම වටිනාකමින් වැඩි ම දේ තමයි අවංක සතුට. නිකන් ඉන්න ගමන් දුක්විඳලා තැනකට ආව මිනිස්සු, ජීවිතයේ අභියෝගවලට අභියෝග කරලා ජීවිතය දිනපු මිනිස්සු ගැන බලන්න, කියවන්න. දුක් විඳිනවා කියන්නෙ දුප්පත් තත්වයෙන් හෝ යමක් කමක් ඇති මට්ටමේ හෝ ඉඳලා තමන්ගේ හීනය වෙනුවෙන් දුක් විඳපු මිනිස්සුන්ට. හැම වෙලේම හිතන්න දුකක් දුකක් විඳිනවා කියලා කියන්නේ සොබාදහම ඔයාට තවත් ශක්තිමත් වෙන්න හොඳ අවස්ථාවක් දීලා කියලා. ඉතින් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන ජීවිතයට ශක්තිය එකතු කරගන්න. කොරෝනවලට අදාල නොවුනත් පුංචි උදාහරණ කතාවක් කියන්නම්. 2019 රයිගම් සම්මාන උළෙලේ බොහොම අපූරු සිද්ධියක් සිද්ධ වෙනවා. අවුරුදු 24කට පස්සේ වසරේ ජනප්‍රියත ම නිළියට සහ වසරේ විශිෂ්ඨතම නිළියට හිමි සම්මාන ද්විත්වය ම එක් තරුණ රංගන ශිල්පිනියක් විසින් දිනා ගනු ලබනවා. ඇය අවුරුදු 12ක් මේ රංගන ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. 07 වතාවක් විශිෂ්ටත ම අංශය යටතේ සම්මාන සඳහා නිර්දේශ වෙනවා. ජීවිතයේ බොහෝ හැලහැප්පීම්, දුක් කම්කටොළු මධ්‍යයේ ඇය අවසානයේ Records එක්ක ම Awards ගන්නවා. ඒ රංගන ශිල්පිනි ශලනි තාරකා. මේ සම්මාන ද්විත්වය ම දිනා ගත්තට පස්සේ ඇය ඒ වේදිකාවෙ ඉඳන් අපූරු කතාවක් කියනවා. ඒ කතාව ඇයගේ වචනයෙන් ම කියනවා නම්, "මගේ ජීවිතේ තේමා පාඨය තමයි අර තියෙන්නෙ, සැඩ සුළං එනවා, අරක එනවා, මේක එනවා, හැබැයි වසන්ත කාලය එනවා කියලා. මං හිතන්නේ වසන්ත කාලය ආවා කියලා." ඔබටත් පුළුවන් නම් මගේ ජීවිතයට වසන්තය ආවා කියලා ආඩම්බරෙන් කියන්න ඒක කොයි තරම් නම් වටිනා දෙයක්ද. 

හැම වෙලාවෙම ජීවිතයට ඕනේ දැනුම, අත්දැකීම් එකතු කරගන්න. තමන්ට තියෙන මේ ප්‍රශ්න හැමදේම මටමයි කියලා, ජීවිතයට බනින්නෙ නැතිව උත්සාහ කරලා ඔය ඉන්න තැනින් එක අඩියක් ඉදිරියට තියන්න. ඒකට මේ තමයි හොඳම කාලය. ඇයි ඉතිං මේ වගේ වටිනා කාලයක දී සෘණාත්මක දේවල් ගැන හිතලා හිතින් දුක් විඳ ඉන්නෙ. ජීවිතයට එන සතුටු දේවල්වලට වගේම ජීවිතේට එන දුක්වලටත් ස්තුතිවන්ත වෙන්න. එතකොට ඒ හැම දුකක් ඇතුළෙම තියෙන යහපත් දෙයක්, සතුටක්, ධනාත්මක දෙයක් හොයාගන්න ඔයාට පුළුවන්. කොරෝනා කාලේ ජීවිතේ ගොඩ යන දේවල් මමත් එකතු කරගත්තා කියන සතුට ඔයත් ඔයාගේ ජීවිතයට දෙන්න. මේ ගෙවිලා යන්නේ ඉතාම වටිනා කාලයක්. ඔයාගෙ මේ ගෙවිලා යන එක දවසක්වත්, එක තත්පරයක්වත් ආයේ කවදාවත් ම ඔයාට ලැබෙන්නේ නෑ. මේ ලැබිලා තියෙන නිදහස, අසීමිත කාලය ඔයාගෙ ජීවිතේ වටිනාකම වැඩි කරන, සතුට උපද්දවන්න කටයුතු කරන්න පුළුවන් කාලයක් කරගන්න. ජීවිතයට විශේෂයෙන් වටිනා දවස් තියාගන්න එපා. හැම දවසකටම සමාන වටිනාකමක් දෙන්න. එතකොට හැම දවසක් ම ඔයාට වටිනා දේවල් තිළිණ කරාවි.

ඉතින් ලිපිය කියවන්න ගන්නකොට ඔයා හිටිය තැනට වඩා ටිකක් ඔයාගේ සිතිවිලි වෙනස් වෙලා ඇති කියලා හිතනවා. ඔයා ගොඩක් දක්ෂ, ක්‍රියාශීලී, ගොඩක් හොඳ ගතිගුණ තියෙන, බොහොම දුර්ලභ ගණයේ වටිනා මනුස්සයෙක්. ජීවිතය දිනන අවශ්‍ය ශක්තිය ඔයාගේ ළඟ තියෙනවා. එහෙනම් අද ඉඳලා පටන් ගන්න. ඔයාටත් පුළුවන් ඔන්න කොරෝනාවලින් ගොඩ යන කෙනෙක් වෙන්න. Best of Luck..

Top