සතුට වෙනුවෙන් කැපවෙන්න, ඒ වගේ ම කැපකිරීම් කරන්න. (704)

post-title

එක දවසක් මං සහභාගි වුණු පාඨමාලාවක ගුරුවරයෙක් අපෙන් අපූරු ප්‍රශ්නයක් අහනවා. ඔයාලගෙන් කවුද

දිව්‍යලෝක යන්න කැමති? හැමෝම අත් උස්සනවා අපි කැමතියි කියලා. ඊට පස්සෙ ඔහු අහනවා, ඔයාලගෙන්

කවුද මැරෙන්න කැමති? කවුරුවත් ම අත් උස්සන්නෙ නෑ. දිව්‍යලෝකෙ යන්න හැමෝම කැමතියි. හැබැයි

මැරෙන්න කවුරුවත් කැමති නෑ. මැරෙන්නෙ නැතුව අපිට දිව්‍යලෝකෙ යන්නත් බෑ කියලා අපි හැමෝම දන්නවා.



අපි හැමෝගෙම සාමාන්‍ය ජීවිතේ තත්ත්වෙ තමයි ඒක. අපි හැමෝම කැමතියි අලුත් දේවල් කරන්න, වෙනස්

දේවල් කරන්න. හැබැයි අපි කැමති නෑ අපි ඉන්න තත්ත්වෙන් මිදෙන්න. එහෙම නැත්නම්, දේවල් අතාරින්න. 

ඇත්තටම දෙයක් අතාරින්න නැතිව තවත් දෙයක් ලබාගන්න පුළුවන් ද? එහෙම නැත්නම්, අපි ආසයි, අපිට

ඕනි කියලා අපිට ගොඩ පිටින් ම බදා ගන්න පුළුවන්ද? ආර්ථික විද්‍යාවේ එන ආවස්ථික පිරිවැය සංකල්පය 

හරහා අපට පැහැදිලි කරන, විකල්ප අතරින් හොඳම විකල්පය තෝරාගන්න න්‍යායෙදිත් කැමැත්තෙන් හෝ

අකමැත්තෙන් අනෙක් විකල්ප අතාරින්න අපිට සිද්ධ වෙනවා. ඇත්තට ම තෘෂ්ණාව කියන දේ අදාළ වෙන්නෙ

සල්ලි, ඉඩකඩම්, දේපල ආදී දේවල්වලට විතරක් නෙවෙයි. අපේ ජීවිතේ හීන, ඉලක්ක වගේ දේවල්වලටත්

තෘෂ්ණාව හරස් වෙන වෙලාවල් ඕනි තරම් තියෙනවා.



මෙහෙම හිතන්නකෝ, ඔයාට තව අවුරුදු දහයකින් ඕනි ලෝකයේ ඉන්න හොඳ ම, දක්ෂ ම සංගීතඥයා වෙන්න. 

හැබැයි, අද මේ වෙලාවේ ඔයාට ඕනි දවස තිස්සෙ ම ෆිල්ම් බල බල ඉන්න. අද දවසේ ඔයාගෙ කැමැත්ත වෙලා

තියෙන ෆිල්ම් බැලීම කියන දේ කැප කරන්නෙ නැතිව කවදාවත් ඔයාට ඔයාගෙ ඉලක්කයට යන්න බෑ. 

සංගීතඥයෙක් වෙන්න උපතින් ම ලැබුන ගායන හැකියාව විතරක් ප්‍රමාණවත් වෙන්නෙ නැහැ. ඒකට අවශ්‍ය 

බොහෝ දේවල් එක්කාසු කර ගන්න නම් අනිවාර්යෙන් ම ඔයාට ඔයාගෙ කාලය කැප කරන්න ම වෙනවා. සරලව ම කිව්වොත්, සංගීතඥයා කියන දිව්‍ය ලෝකෙට යන්න නම්, ෆිල්ම් බලනවා කියන එක මරන්න ම වෙනවා එකපාරට ම සම්පූර්ණයෙන්ම නැතත් ටික ටික හරි මරන්න වෙනවා.

සමහර වෙලාවට අපිට අපේ හීනවලට, ඉලක්කවලට යන්න බොහෝ දේ කැප කරන්න සිද්ධ වෙනවා. ඒ දේවල්

හරිම දුෂ්කර කාර්යයන් වෙන්න පුළුවන්. හැබැයි දවසක ඔයා ඒ වෙනුවෙන් ගොඩක් සතුටු වෙයි. මං අද මෙතන

ඉන්නෙ මේ තරම් දේවල් කැප කරලානෙ කියලා ඔයා හදවතින් ම ආඩම්බර වෙන ගමන්, අනික් අයටත් ඒ දේවල්

ගැන කියාවි.

අපිට ජීවිතේ සමහර වෙලාවට තෝරාගැනීම් ලබා දෙනවා. ඒවා හරිම දුෂ්කර තෝරා ගැනීම්. හිතන්නකො, ඔයාට

ශිෂ්‍යත්වයක් ලැබෙනවා ඔයා කැමති ම විදේශ විශ්ව විද්‍යාලයකින් ඔයා කැමතිම විෂයයට අදාළ ව, නොමිලේ ම, 

උපාධියක් හදාරන්න. ඔයා ඒකට යනවා නම්, ඔයාට ඉන්න එකම නෑදෑයා වෙච්ච, ඔයාගෙ අම්මව දාලා යන්න

ඕන. අම්ම ව බලාගන්න කිසිම කෙනෙක් නෑ කියලා හිතන්න. මේ වගේ වෙලාවක ඔයා කොයි තරම් පීඩනයකට

ලක් වෙයිද? එක පැත්තකින් ඔයාගෙ හීනෙ. අනිත් පැත්තෙන් ඔයාගෙ අම්මා.

මෙන්න මේ වෙලාවට අපි අපේ බුද්ධියෙන් මේ ගැන කිරනවා, මනිනවා වගේම, හදවතත් ප්‍රයෝජනයට ගන්න ඕනි. කතාවට කියනවනෙ හදවතින් හිතලා තීරණ ගන්න එපා කියලා. හැබැයි මානුෂී‍ය බව කියන දේ හැමදාම අපි අපේ ළඟ තියා ගත යුතු දෙයක්. ඒක විශ්වයේ තීරණවලට තදින් ම බලපාන දෙයක්. මේ වගේ අවස්ථාවක මම නම් දෙපාරක් නොහිතා මට ලැබුණු ලක්ෂ ගානක් වටින ශිෂ්‍යත්වය ප්‍රතික්ෂේප කරලා අම්මා ළඟ ඉන්නවා. මොකද අපේ ජීවිතයට අධ්‍යාපනය, රැකියාව, මුදල් සමාජ තත්ත්ව‍ය වගේ දේවල් කොයි තරම් වැදගත් වුනත්, මේ හැමදේටම වඩා අපිට ජීවය දුන්න දෙමව්පියන් ව වටින්න ඕනි නිසා. හැබැයි ඒ මගේ තීරණය. ඔබ දැකලා ඇති බොහෝ උසස් නිලතලවල ඉන්න අය මාධ්‍යයට ඇවිත් කියනවා, මගේ අම්ම ව මට මග ඇරුනා, මගේ තාත්තා ව මට මග ඇරුනා. මගේ ආදරේ මට මග ඇරුනා කියලා. ලෝකෙට පේන්න නොකිව්වත් බොහෝ අය එහෙම දේවල්වලට හිතින් හිතලා දුක් වෙනවා. ඒ නිසා අනිවාර්යෙන් ම ඔබේ ඉලක්ක සපුරා ගන්නකොට අත්හරින දේවල් ගැන මානුෂී‍ය විදියටත් හිතන්න.

මේ දෙක අතර පොඩි පරස්පරතාවයක් තියෙනවා වගේ ඔබට හිතෙන්න පුළුවන්. සරලව ම කියනවා නම් අපි කවදහරි අපේ ජීවිතේ සැඳෑ සමය ගත කරන කොට, ජීවිතය දිහා එක මොහොතක හෝ ආපස්සට හැරිලා බලනකොට, ජීවිතේට ම වේදනාවක් ඇති නොවෙන කැපකිරීම් කරන්න. හෘද සාක්ෂිය ඔබට ම කතා කරලා බනින, කැප කිරීම්වලින් ඈත් වෙන්න. මොකද අපේ ජීවිතේ අන්තිම කාලේ අපිව ජීවත් කරන්නේ අපේ අතීත මතකයන්. ඒවට පුළුවන් අපේ හදවතට ම සතුටක් ගේන්නත්, අපි ව මැරි මැරී උපද්දවන්නත්. 

පුද්ගල සංවර්ධනය පිළිබඳ දේශකයෙක්, කර්තෘවරයෙක් ආදී ක්ෂේත්‍ර ගණනාවක නියැලෙන කැලුම් වැලිගම මහතා ඔහුගේ ජීවිතය වෙනස් කරන කතා කියන අපූරු පොත් පෙළේ පළමු පොතේ එක තැනක අපේ ජීවිතයේ වැදගත් දේවල් ගැන මෙහෙම සටහන් කරනවා. ඔහුට අනුව, අපේ ජීවිතයට අපි මුලින්ම එකතු කරගන්න ඕනි වැදගත් ම දේවල් තමයි අපේ දෙමව්පියන්, ජීවන සහකරු හෝ සහකාරියගේ සතුට, අධ්‍යාපනය, යහපත් ජීවන පැවැත්ම, යහපත් ආකල්ප වගේ දේවල්. ඉන් පස්සෙ තමයි අපි එතරම් වැදගත්කමක් නැති (පළමු කාණ්ඩය තරම්) රැකියාව, මුදල්, ධනය, බලය වගේ දේවල් ජීවිතයට එකතු කරගන්න ඕනි.

ඉතිං ජීවිතය වෙනුවෙන් කැපකිරීම් කරන්න. අනිවාර්යෙන්ම පුළුවන් උපරිමයෙන් හොඳට ඉගෙන ගන්න. හොඳ රැකියාවකට යන්න. මුදල් හම්බ කරන්න. සාර්ථක වෙන්න. හැමදාම සතුටින් ඉන්න. හැබැයි ලෝකෙට පේන්න නෙවෙයි, හදවතින් ම සතුටින් ඉන්න. සරලව ම කිව්වොත්, සාර්ථකත්වය = සතුට. ඒක තමයි හැමෝගෙම ජීවන සමීකරණය. ඉන් එහා දෙයක් කවදවත්, කාගෙවත් ජීවිතයකට ලැබෙන්නෙ නෑ. තාවකාලික ව ඒක එහෙම නෙවෙයි කියලා හිතලා වැඩ කළත්, කවදා හෝ අවබෝධ වෙන සදාකාලික සත්‍ය තමයි ඒ.

ඉතිං මානූෂීය, සාධාරණ, අවංක, කල්පවතින සතුටක් වෙනුවෙන් කැප කරන්න. අනිවාර්යෙන්ම ඔයා සාර්ථක වෙනවා. ඒක ස්ථීරයි.

Top