"කවදාවත් උත්සාහය අත්හරින්න එපා" (700)

post-title

හැමදාම හිතට ළංවෙන whatapp status සමූහයක් එක්ක ජීවිතේට අපූරු යහපාඩම් කියාදෙන යෙහෙළියක් අලිබබා සමූහයේ සම නිර්මාතෘ ජැක් මා ගේ ප්‍රකාශයක් උපුටලා දක්වලා තිබුණෙ මේ විදියට. ඉතින් මේ උපුටා ගැනීම ඒ පෝස්ටුව ඇතුළේ හරි අපූරුවට ගලාගෙන ගියේ මෙහෙමයි.

"කවදාවත් උත්සාහය අත්හරින්න එපා. අද දවස අමාරු වේවි. හෙට ඊටත් වඩා දරුණු වේවි. ඒත් ඉර පායන්නේ පහුවෙනිදා නම් , ඔබ හෙට ජීවිතය අතහැරියොත් ඔබට කවදාවත් ආලෝකය දකින්න බැරිවේවි"

ඇත්තටම මේ ජැක් මා කීව මේ දේවල් එක්ක හිතනකොට නොදැනීම හිත අපටත් රහසේ ම අපේ අතීත ජීවිතේ ආයිමත් අපට මතක් කරලා දෙනවා නේද? අපේ අතීත මතක අතරෙ හරි අපූරු දේ අපි ළඟට ගේනවා නේද? ඇත්තටම හිතලා බැලුවොත් අපි දැන හෝ නොදැන අර ආලෝකමත් ඉර දිහාව බලන්න හීන ගළපනවා නේද? හරි ම අපූරුවට. පොඩ්ඩක් හිමීට හිතලා බැලුවොත් ආයෙ ආයෙම හිතට එබිකම් කරලා අර නොදැකපු ඉර වෙනුවෙන් අපි ජීවිතේ කොයිතරම් පියවර ලස්සනට හිමි හිමීට තියන්න ඇතිද? ආපහු අඩිය තියන්න හිතෙන හැම වාරෙකදි ම , මොන වදයක්ද මේ කියලා අතාරින්න හිතෙනකොට ම අර යටි හිතේ හැංඟිලා තිබුණු ඒ අදිටන ආයෙමත් අපට අපේ වගකීම මතක් කරලා දුන්නේ හරි අපූරුවට නේද?

අපිට අපේ උපතත් එක්කම ලැබුණු යම් යම් අඩුපාඩුකම් පියවගන්න අපි අපේ ම පුංචි උත්සාහයක ඉන්නවා. මේ වෙනකොටත් සමාජ මට්ටමේ ගොඩක් ම බිම් මට්ටමක , අවවරප්‍රසාදිත කෙනෙක් විදියට සමාජය ඇතුළේ හිස ඔසවාගෙන ලස්සන ජීවිතයක ගැන හීන මවන පුංචි ම පුංචි මල් කැකුළක්, තරුණියක් තරුණයෙක් වෙන්නත් පුලුවන්. ඒ වගේ ම වැඩිහිටියෙක් වෙන්නත් පුලුවන්. ඉතින් තමන්ගේ රාමුවෙන් එළියට ඇවිත් ලෝකය දිනන්න නැවත වතාවක් හිතන්න දැන් කාලයක් ඇවිදින්. හිතලා බලන්න මේ පාඩම් තමන් ඇසුරු කරන , අහන, දකින දේවල් ඇතුළෙම නේද හැංගිලා තිබුණේ. එතකොට අපට වැරැද්දක් වුණේ කොතනද? ඒකට උත්තරේ සරලව ම කීවොත් අපි මේ දේවල් ග්‍රහණය කරගත්ත ආකාරයේ තිබුණු පුංචි මදිපාඩුකම් නේද? ඉතින් අපටත් රහසේ ම මේ වටිනා යහපාඩම් අපෙන් ගිලිහිලා ගියා නේද? ඒත් දැන් ……………

තරඟකාරී ලෝකේ පුංචි හුදෙකලාවක.කොරෝනා වසංගතේ ලෝකයට පුංචි ඉසිඹුවක් දීලා. ඒ කියන්නේ ජීවිතේ මග හැරුණු දේවල්, අත ඇරුණු බලාපොරොත්තු ආයෙමත් සුබවාදි සිතුවිලිත් එක්ක අයිති කරගන්න කාලයක් දීලා අපට. කොරෝනාවට මැසිවිලි නොකියා අපි ඉතින් ආයෙමත් හිතමු, හැරෙමු, ආයෙමත් අලුතින් හිතමු.

මතකෙට ගත්තොත් පාසල් කාලෙ මුලින් ම මතකෙට එන්නෙ ජීවිතෙ උගන්නපු "ජීවන නිපුණතා….."විෂය. පෙළපොතේ එක තැනක මෙන්න මෙහෙම වදන් පේළියක් තිබුණා.

"සෑම කලු වළාවක ම රිදී රේඛාවක් ඇත."

සුබවාදි චින්තනය ගැන තිබුණු මේ පාඩම ඇතුළේ මේ වචන කීපය තුළින් අපට පුංචි වචන ටිකක් අපූරු පාඩමක් කීවා. ජීවිතේ වරින්වර අපේ ජීවිතෙට ආව ගුරුවරු, අපි ඇසුරු කළ පොතපත නිහඩව ම උදාරතර කාර්යයක නියැලිලා කියලයි මට හිතෙන්නේ.

රත්න ශ්‍රී විජේසිංහ මහත්මයා තමන්ගේ වස්සානය පැදි පෙළේ මේ අපූරු ජීවිත කතන්දරේ අපට මේ විදියට කියලා දෙනවා.

"දුෂ්කරය කියා හැර යා යුතු ද ජීවිතය

කටු පොකුරු සිපගනිමි හෙට මලක් වනු පිණිස"

පැදි පෙළේ අවසානයේ මුද්‍රිත අවසානේ මේ. ඒත් අපි මේ විරාමෙන් ගැඹුරු ජීවන දර්ශනයක් ගැන හිතමු. එතුමා ස්වකීය අත්දැකීම් අනුසාරයෙන් අපෙන් යම් පැනයක් අහනවා. දුෂ්කර වූ නමුත් ජීවිතේ හැරයන්න ඕනිද? ඇත්තට ම නෑ. අපමණ පිරිපත උසුලන නේක ගැහැට විදි දුක්බර අතීතයක්, ජීවිතේ තමන්ට අවැසිම දේවල් අහිමි ව ගිය තත්ත්වයක් ඒ වගේ ම ඇස්, කන් පවා අහිමි වගිය ජීවිතයක් ඔබට ලැබී තිබෙන්නට පුලුවන්. ඒත් ජීවිතේ සහන් එළියක් දකින්නට, හෙට උදාවෙන සූර්‍යෝදය දකින්නට මේ දේවල් බලනොපාවි.

ජීවිතේ හරියට ගංගාවක් වගේ... මේ අපි නිතර ම අසන්නාවූ උපමාවක්. ඉතින් අපි හැරෙමු කුඩලිගම මහතාගේ "ගංගාවේ සංගීතය"පැදි පෙළ දිහාවට. ගැඹුරු ජීවන දර්ශනයක්,

"සැගවෙමි එබෙමි නිසසල වෙමි සසල වෙමි

ඇඹරෙමි එහෙත් පසු නොබසිමි නොනවතිමි"

ගැහැට දැක ගංගාව පසුබට වෙන්නේ නෑ. ගැහැට අබිමුව නොසැලී, අපූරු ගමනක යෙදෙනවා. ස්වකීය ගමන් මාර්ගයේ තමන් මුහුණදෙන ගැහැටවලට අනුරූප ව සකස් වෙනවා. ගම්භීර ලීලාවෙන් තමන්ගෙ ගමන යනවා. ඉතින් මේ දේ අපිට අදාළ වෙන්නෙ කොහොමද? ඉතින් ජීවිතය පහළට ම ඇද දාන කියමන්, බිදවැටීම්, සිත්රිදීම් මේ පොදු මිනිස් ලක්ෂණ නිසා අපි කොතෙක් නම් වාරයක් අඩපණ වෙන්න ඇතිද? ඒත් දැන් ආයෙමත් ඒ විදියට වෙන්න ඕනිද? ඇත්තට ම නෑ. අපි ශක්තිමත් වෙමු. අලුතින් හිතමු. ගුරු ගීතයේ චිංගීස් අයිත්මාතව් මෙහෙම කියනවා.

 

"ඔව් තද ශීත කුණාටු හමාවි, නපුරු කැට සහිත තද වැසි වැටේවි. නමුදු වසන්තය එනවා සත්තමයි"

ඉතින් මේ නොදුටු වසන්තය දකින්නට, ජීවිතයේ ගිම්හානයට සතුටින් මුහුණ දෙන්නට සැගවුණු විභව ශක්තිය, නිර්මාණශීලීත්වය මේ හැමදේම අඩුවක් නැතුව ඔබට ලැබිලා තියෙනවා. ඔව් දැන් ඔබට හිතේවි එහෙනම් ඇයි මන් මෙහෙම ඉන්නෙ කියලා. ඔව් දැන් ඔබ හරි පාරේ ඔබ ඔබේ ගමනයන්නයි මේ සූදානම…..

01)සැනසිල්ලේ සිතන්න.

02)ඔබේ අරමුණු වෙනුවෙන් අපූරු වැඩ සැලැස්මක් සකසන්න.

03)අරමුණ වෙනුවෙන් හීන දකින්න.

04)ඒ හීනෙ උපරිමයෙන් ම දිනන්න.

ඔබේ උදාවන හෙට දවස බොහොම සුන්දර, පැහැබර, වාසනාවන්ත, සසිරිබර ලස්සන ම ලස්සන අනාගතයක් වේවි!!!!

Top