හැමදාකම මට මැඩම්ගෙන් ඇසුනු වචනය Never give up විතරමයි (678)

post-title

අපි හැමෝම ජිවිතේ මුහුණ දෙන ප්‍රධානතම විභාග දෙකේදී මගේ ළග කවදාවත් මගේ අම්මවත් අපුච්චවත් ඉදලා නැ, මොකද මම මේ විභාග දෙකම ලිව්වේ රත්මලාන අන්ධ විද්‍යාලයේ, ඒ අවුරුදු දෙකටම විභාග කාල සීමා ඇතුළත මහමෙරක් වුනේ ජයලත් මහගමගේ මැඩම්. මැඩම් ඉතිම් අද මට ඒ අතිතය ගොඩක් මතක් වුන නිසා ලියන්න හිතුනා. 

සාමාන්‍ය පෙළ වීභාහයට මේ වසරේ මුහුණ දෙන නංගි කෙනෙක් කතා කලා මට, අක්කේ ඔයා පාඩම් කලේ කොහොමද කියලා අහන්න. මම ලොකු හුස්මක් අරගෙන කිව්වා නංගා මම පාඩම් කලේ නැ හරියට , අක්කේ එහෙනම් ඔයා කොහොමද කැම්පස් ගියේ අක්කේ ඒ නංගි මගෙන් පෙරළා අසා සිටි ප්‍රශ්නයයි ඒ, මම එදිනෙදා දෙන වැඩ එදිනෙදා මම කළා කියලා මම කිව්වා , ඒ විදිහට ඒ නංගිව විනාඩි 15 ක් විතර මෝටීවේට් කරලා, පෝන් එක තිබ්බහම, මට 2012/ 2013 අවුරුදු දෙක මතක් වුනා. 

නමයේ පන්තියෙ දී ඉස්කෝලේ ට්‍රිප් එකක් ග්‍රහලෝකාගාරයට එක්කන් ආවා එදා තමා කොළඹ ආව පළවෙනි දවස. එදායින් පස්සෙ මම 2012 දෙසැම්බර් මාසේ සාමාන්‍ය පෙළ විභාගයට කොළඹ එනවා රත්මලාන අන්ධ විද්‍යාලයට. ඉතින් ඉස්සරලාම අම්මයි නැන්දම්මයි මාව දාල යනකොට ඒ දැනුන දුක කියාගන්න තේරෙන්නෙ නැ තාම. එහෙම ගිය නැන්දම්මට ආය දවස් දෙකකින් කලුබෝවිල ඉස්පිරිතාලේට මාව බලන්න එන්න වුනා. ඒ මට උණ හැදුනු නිසා. මාව හොස්පිට්ල් එකේ මුලු රැයක් තියන් මගේ ළග මගේ ඔලුව මසාජ් කලේ රත්මලාන අන්ධ විද්‍යාලයේ ආදරණීය සිඩ් රූම් මිස්. ඒ ආදරේ තාම දැනෙනවා.

පහුවදා විභාගය ලියන්න ඉන්න මම සේලයින් බෝතලයක් එක්ක කලුබෝවිල ඉස්පිරිතාලේ ඩෙංගු වාට්ටුවේ ඇදක. හැබැයි පහුවදා උදේ දහයට විතර සේලයින් බෝතලෙන් අල්ලගෙන මම ඉතිහාසය පේපර් එකේ දෙවනි කොටස ලිව්වා , දුක නැ මට C එකක් ආවා. මම විභාගයට ලිව්වේ බ්‍රේල් මාද්‍යයෙන්, සේලයින් බෝතලයක් සිඩ් රූම් මිස් අල්ලගෙන ඉන්නවා මම විභාගේ ලියනවා. ඒක මාර වේදනාවක්, ජයලත් මැඩම් වරින් වර ඇවිල්ලා මගේ උණ බලනවා. ඒ මොහොත සිහියට එනකොට ආයෙත් ජිවිතේ වැටෙන ගොඩක් තැන්වලදී ඒ මොහොතම මතක් කරගෙන මම ශක්තිමත් වෙන වාර අනන්තයි. 

හැබැයි ඊළග දවසේ ඉදන් මට විභාගේ ලියන්න බැරි තරමට උණ වැඩිවෙනවා. මට ඩෙංගු නැතත් උණ තිබුනා. ශාලාධිපති මැඩම් මට මෙහෙම කතාවක් කිව්වා.... 

පුතේ ඔයා මාරයි, ටයිලස් එක අල්ලගෙන , සේලන් බෝතලයකුත් අතේ තියාගෙන ඔයා ලිව්ව විදිය , ඔයා ළග තියන ශක්තිය මම දැක්කා පුතේ..... Never give up ... 

අදටත් මම මැඩම් එක්ක කතාබහ කරනවා. එදා ඉතිම් 2012 දී විශයන් තුනක් විතරක් ලිව්වා. මාව අනුරාධපුරේ ඉස්පිරිතාලේට ට්‍රාන්සර් කලා. හිත ගොඩක් අමාරුවෙන් හදාගෙන , ශක්තිමත් වෙලා 2013 දි දෙවනි පාරට මම සාමාන්‍ය පෙළ ලිව්වා. මම ඒ වසරේ හොදින් විභාගයට මුහුන දුන්නා. මේ අතරතුර මට උදව් කරපු ගොඩක් අය ඉන්නවා, ඒ අතර දර්ශනී පෙරේරා මැඩම් තමා මගේ හැමදේම හොයලා බැලුවේ. 2016 උසස්පෙළ ලියනකොටත් කොළඹ ඉන්න තැනක් නැතුව , පාන්දර 3ට මෙහෙන් දර්ශනී මැඩම්ට කෝල් කරලා තමා හැමදේම කරගත්තෙ.  ඒ වගේම මගේ හැමදේම ඒ වසරෙත් බැලුවේ මැඩම්ලා... ජයලත් මැඩම් මට ඒ වසරේ දීත් මුණගැසුනා. ජිවිතේ පළමු වතාවට හැමදාකම මට මැඩම්ගෙන් ඇසුනු වචනය Never give up විතරමයි. 

උසස්පෙල ලියනකොට මාසයක් ගල්කිස්සේ බෝඩිමක තනියම හිටියා. හැමදේටම හිත හදාගෙන විභාගේ ලියනකොට අනුරාධපුරේ ඉදන් මාව බලන්න මිස් ගල්කිස්සට ආවා. ඒ දවස්වල මම මොහාන්රජ් මඩවලගේ ලොවීනත් කියෙව්වා මට මතකයි, ඉනෝකා ගුණවර්ධන මිස් ගොඩක් ස්තුතියි තාමත්. මොකද මම උසස්පෙළට වලිසිංහයට යන කාලේ මට නොකියම මට උදව් කලා. මගේ පංතිබාර මිස් මට අවුරුදු දෙකම කන්න හැමදාම රසම රස කෑම එකක් ගෙනාවා, 2016 කලා සෙක්ෂන් එකෙන්ම පළවෙනියා ගත්ත දවසේ මට මගේ පංතිබාර මිස් දුන්නූ තෑග්ග " සරත් විජේසූරිය සර්ගේ අතිතය ගුරුවරයකි පොතයි, දයාරත්න අතුකෝරල සර්ගේ දිරිය දියණියෝ කියන පොතයි. මේවා කියවල ලැබුනු ශක්තිය අප්‍රමාණයි , 

රෝහණ දිසානායක සර් අමතක නැ මට. මේ වගේ අකුරු කරන්න ගොඩක් දේවල් තියනවා . ඉතින් සාමාන්‍ය පෙළ ලියන නංගිලා මල්ලිලා ඔයාලා ඔයාලම ශක්තිමත් කරගෙන ජිවිතේ එන අභියෝගවලට අභියෝගයක් වෙන්න පුරුදු වෙන්න. ඒකට වැඩ කරන්න. හරි විදියට. අතීතය මතක් කරගෙන තනියම ශක්තිමත් වෙච්ච සිදුවීම් වලින් ආය ශක්තිය ගන්න, එතකොට අපට වරදින ප්‍රමාණය හෝ ප්‍රතිශතය දශමයකින් හරි අඩුවෙයි...කියලා මම හිතනවා. ආදරයෙන්...... 

Top